ජීවිතෙන්ද්රිය රූපය
කම්මජ වූ සහජාත රූපයන් හෙවත් තමා හා එක්ව උපන් රූපයන් පිළිබඳ වූ, නැවැතිය නොදී ඉදිරියට යවන, වඩන ස්වභාවය වූ ආයුව ද, ස්ථාපන ස්වභාවය හෙවත් මැලවිය නොදී නගා සිටුවන ස්වභාවය වූ ඨිතිය ද, යැපීම සළසන ස්වභාවය ද, මතුමත්තෙහි පවත්වන ස්වභාවය ද, රක්නා ස්වභාවය ද, පණපොවන ස්වභාවය ද, පණගැන් විමෙහි අධිපති හෙවත් ඉන්ද්රිය භාවය දක්වන ස්වභාවය ද ඇති යම් රූප ධර්මයක් වේ ද, එය ජීවිතෙන්ද්රිය රූප නම් වේ.
මේ රූප ජීවිතෙන්ද්රිය, ඒ ඒ කර්මජ රූපකලාපයන්හි තමා හා එක්ව උපන් භූත රූප හා උපාදාය රූපයනුත් පාලනය කිරීම ලක්ෂණ කොට ඇත්තේය. සහජාත රූපයන් පැවැත්වීම කෘත්‍යය කොට ඇත්තේය. ඔවුන් මැළවිය නොදී නගා සිටුවීම වැටහෙන ආකාරය හෙවත් පච්චුපට්ඨානය වේ. තමා විසින් පැවැත්විය යුතු සහජාත රූපයන්ම පදට්ඨාන හෙවත් ආසන්න කාරණය කොට ඇත්තේය.
තවද, සෑම කර්මජ රූපකලාපයක් පාසාම, උපාදාය රූපයක් වශයෙන් සහජව බැඳී, මහා භූත රූපයන් හා වර්ණ ගන්ධාදි අනෙක් උපාදාය රූපයනුත් පණපොවමින්, එයට සම්බන්ධය ඇති චිත්තජ, සෘතුජ, ආහාරජ වූ අන්‍ය කලාපයන්ට අයත් රූපයන් ද මැළවිය නොදී නගාසිටුවමින්, තෙමේත් රැකෙමින් රූපසන්තතිය මතු මතුයෙහි පරම්පරා වශයෙන් මේ ආත්ම භාවයෙහි ච්‍යුතිය දක්වාත් වැටෙන්නට නොදී පවත්වාගෙන යාමෙහිද, මැළවිය නොදී නගා සිටුවීමෙහිද, පාලනය කිරීමෙහිද, අධිපති භාවය උසුලන රූප ධර්මයක් බවද සැලකිය යුතුයි. අන්‍ය මවක් ප්‍රසව කළ දරුවන් කිරි මවක් විසින් කිරිපොවා ඇති දැඩි කරන්නා සේ, කර්ම ප්‍රත්‍යයෙන් පහළවන රූප කලාපයන්හි පමණක් ලැබෙමින්, එම රූප කලාපයට අයත් රූපයනුත් පාලනය කරමින්, ජීවත් කරවමින් මරණය දක්වා සන්තති වශයෙන් කර්මජ රූප කලාපයන් පවත්වා ගෙනයාමට උපකාර වන්නේය. කර්මය නම් අතීතයෙහි කරනලද ප්රතිසන්ධි ජනක කුසලා කුසල කර්මය යි. මේ භවයෙහිදී කර්මජ රූපකලාපයන් ඉපැද්මට හේතුවූ පූර්වජාතියෙහි කරන ලද කර්මය ඒ භවයේදීම නිරුද්ධ විය. එබැවින් කර්මජ රූපයන්ගේ ජනක ප්‍රත්‍යය නැතිවූ හෙයින් එයින්ම නිපදවන ලද ජීවිතෙන්ද්රියයාගේ ශක්තියෙන් ඒ රූපයෝ පවත්නාහු වෙත්.
චිත්ත, ඍතු, ආහාර යන ත්‍රිවිධ ප්‍රත්‍යයෙන් උපදවන ලද රූප කලාපයන්ගේ ජනක ප්‍රත්‍ය වූ චිත්ත, ඍතු ආහාරයන් විද්‍යමාන බැවින් ඒ රූපයන්ගේ ජීවත් වීමට අන්‍ය වූ ජීවිතෙන්ද්රියකින් ප්‍රයෝජනයක් නැත්තේය.
ජනක කර්මයාගේ ශක්තිය පවත්නා තාක් කල් මේ ජීවිතෙන්ද්රිය රූපයද සෑම කර්මජ රූප කලාපයකටම ඇතුළත්ව උපදිමින්, ඒ කර්මජ රූපයන් පාලනය කරමින්, චුතිය දක්වාම සන්තති වශයෙන් පවත්නා බව දතයුතුයි.
මේ ජීවිතෙන්ද්‍රියයද, සහජ වූ රූපයන්ගේ නිරුද්ධයත් සමගම නිරුද්ධ වන්නේ වී නමුත්, කර්මජ රූප පරම්පරාව රැකීමය, යැපීමය, ජීවත් වීමය, සිටුවීමය, පිහිටුවීමය යනාදී කෘත්‍ය සිද්ධ කිරීමට සමත් වේ.
එහෙයින් චුතිය දක්වා කර්මජ රූපකලාපයන් සන්තති වශයෙන් නොසිඳ පවත්නා බව සැලකිය යුතුයි.