අභිධර්මාර්ථ ප්‍රදීපිකා

හදය වත්‍ථු රූපය

මනො ධාතු, මනො විඤ්ඤාණ ධාතූන්ට නිශ්‍රයවීම ලක්‍ෂණ කොට ඇති, ඒ ධාතුද්වයට ආධාරවීම කෘත්‍ය කොට ඇති, එය දැරීම පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාරය කොට ඇති යම් රූප ධර්‍මයක් වේද, එය හදයවත්‍ථු රූපය නම් වේ.

යම් රූපයක් කරණ කොට ගෙණ සත්ත්‍වයෝ අර්‍ත්‍ථ හෝ අනර්‍ත්‍ථ හෝ හදත්ද, පුරත්ද, එයට හදය යයි කියනු ලැබේ. චිත්ත චෛතසිකයන්ගේ ඉපදීමට ස්ථානවන බැවින් වත්‍ථු නම් වේ. එබැවින් හදය රූපයම හදය වත්‍ථු නම් වේ.

විඤ්ඤාණ ධාතු අතුරෙන් චක්ඛු විඤ්ඤාණ ධාතුව චක්ඛු ප්‍රසාද වස්තුවෙහිද, සොත විඤ්ඤාණ ධාතුව, සොත ප්‍රසාද වස්තුවෙහිද, ඝාණ විඤ්ඤාණ ධාතුව, ඝාණ ප්‍රසාද වස්තු වෙහිද ජිව්හා විඤ්ඤාණ ධාතුව, ජිව්හා ප්‍රසාද වස්තුවෙහිද, කාය විඤ්ඤාණ ධාතුව, කාය ප්‍රසාද වස්තුවෙහි ද, මනො ධාතු සහ මනො විඤ්ඤාණ ධාතු හදය වස්තුවෙහිද උපදී. පඤ්චවොකාර භවයෙහි මෙසේ ප්‍රසාද වස්තු ඇසුරු කොට ගෙණ සිත් පහළවන නමුත්, චතුවොකාර භවයෙහි හෙවත් සතර අරූප තලයන්හි රූප නැති හෙයින් අවස්තුවකව උපදී. පඤ්චවොකාර භවයෙහි සත්ත්‍වයෙකු උපදනා කල්හි, ප්‍රතිසන්‍ධි චිත්තයත් සමගම එය හා බැඳී එයටම නිශ්‍රය වෙමින් හදය වත්‍ථු රූපයද පහළවේ.

හදය වත්‍ථු රූපය පහළවන කල්හි තනිවම නොව, පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන් හා වර්‍ණ, ගන්‍ධ, රස, ඕජා, ජීවිතෙන්‍ද්‍රිය යන උපාදාය රූපයනුත් සමග වස්තු දසක කලාපයකට ඇතුළත්ව පහළවේ. මනුෂ්‍යාදී සත්ත්‍වයන් කෙරෙහි උපදනා කල්හි, පටිසන්ධික්‍ෂණයේදී වස්තු දසක කලාපය පහළවී, අනතුරුව සැම කුඩා චිත්තක්‍ෂණයක් පාසාම කලාප පරම්පරාවන් ඇති වී ක්‍රමයෙන් ශරීරය වැඩුණු පසු, හෘදය මාංස පිණ්ඩයතුල පවත්නා පිරිසිදු ලෙය ඇසුරු කරමින් පහළවේ. හදය මාංස පිණ්ඩයද, අන්‍යවූ ශරීරාවයවයන් මෙන්, කම්ම, චිත්ත, ඍතු ආහාර යන සතර ප්‍රත්‍යයන් ගෙන් නිපන් රූප කලාපාදී නොයෙක් සම්භාරයන්ගෙන් යුක්තය. මේ වස්තු දසක කලාපයෝ එම හදය මාංස පිණ්ඩයෙහි නොව එහි කොෂයතුල පවත්නා පිරිසිදු ලෙය ඇසුරු කරමින් පවතී. හදය මාංස පිණ්ඩයතුළ, ඇති හදය කොෂයෙහි ලෙය වැඩි වේලාවක් රඳා නොපවත්නේය. බාහිර ශරීරයෙන් පැමිණෙන ලෙය හෘදය කොෂාභ්‍යන්තරයට පැමිණීමත් සමගම එහි තිබුන ලෙය හෘදයෙන් පිටවී ශරීරාවයවයන් කරා ගමන් කරන්නේය. එබැවින් වස්තු දසක කලාපයෝ හදය කොෂාභ්‍යන්තරයෙහි ඉතා ස්වල්ප වේලාවක් පවත්නා ලෙය ඇසුරු කොටගෙනම පවතී. ඒ වස්තු රූප කලාපයන්ට හදය කොෂයෙන් පිටත්ව යන ලෙය සමග ශරීරයෙහි අන් තැනකට යාමට නුපුළුවන. චිත්තක්‍ෂණ සතළොසකින් ඒ රූප කලාපයෝ නිරුද්ධ වන හෙයිනි. එබැවින් ප්‍රතිසන්‍ධික්‍ෂණයේ පටන්ම, මනො ධාතු, මනො විඤ්ඤාණ ධාතු යන සිත් සමූහය මේ හදය වස්තු රූප ඇසුරු කරමින්ම ඉපිද එහිම නිරුද්ධවන බවත්, ශරීරයෙහි අන්තැනෙක්හි මනොධාතු, මනොවිඤ්ඤාණ ධාතු නූපදනා බවත් දතයුතුයි.

නවීන විද්‍යාමතධාරී ඇතැම් අය මේ සිත් හදය වස්තුවෙහි නොව මොළයෙහි උපදනා බව දැක්වීමට ප්‍රයත්න දරති. සියළුම ශරීරාවයවයන්ගේ සම්බන්‍ධයක් ඒකාන්තයෙන්ම පවත්නා බව සත්‍යයකි. ධමනි ශිරා, ස්නායු, පෙශී, අස්ථි පටකාදී නොයෙක් මාර්‍ගයන්ගෙන් මේ සම්බන්‍ධය ඇතිකරණු ලැබේ. ශරීර පෝෂණය පිණිස ලෙය උපකාරවන්නාක් මෙන්ද, කය ඍජුව පිහිටුවා ගැනීමට අස්ථි, මාංශාදිය උපකාර වන්නාක් මෙන්ද, ශරීරාවයවයන්ගේ ප්‍රාණවත් භාවය රැක ගැනීමටත්, ඉරියව් ආදිය පැවැත්වීමටත් මොළය අතිශයින්ම උපකාරී වේ. මව් කුස හෝනා ළදරුවාගේ මොළය සෑදීමට කලලරූප අවස්ථාවේ සිට එක්තරා කාලයක් ගතවන්නේය. ඇතැම් විටෙක, මව් කුසින් බිහිවන්නාවූ ළදරුවන් අතර මොළය ස්වල්පයක්වත් සෑදී නැති, පණ ඇති ළදරුවන් ද දක්නා ලැබේ. නමුත් ඒ ළදරුවෝ වැඩිවේලාවක් මච්කුසින් පිටතදී ජීවත් නොවේ. හෘදය කෝෂය, පෙනහැලි ආදිවූ, ජීවත්වීමට අවශ්‍යවූ ප්‍රධානාඞ්ගයන් ක්‍රියා කරවීමට මොළයේ උපකාරය ලැබිය යුතු බැවින් එය නැති කල්හි මච් කුසින් පිටතදී ජීවත්වීමට නොහැකි වේ. නමුත් එතෙක්කල් එනම් නවමසක් පමණ ඒ ළදරුවා මච්කුස ජීවත්වූ බැවින්, ඒ කාලය තුල භවඞ්ග සිත් ආදිය පහළවූයේ එවකට සෑදී නැති මොළයෙහි නොව පටිසන්‍ධික්‍ෂණයේදී හටගත් හදය වස්තු රූප පරම්පරාව ඇසුරු කොට ගෙන බව සැළකිය යුතුයි. මොළයෙහි කාය විඤ්ඤාණයන් පහළ වෙතත්, මනො ධාතු මනො විඤ්ඤාණධාතු පහළවීමට අවකාශයක් නැත මොළය දුබලවූ කල්හි ශරීරාවයවයන්ද දුබලවීමෙන් ක්‍රියා ශක්තියද හීනවේ. චක්ඛු ප්‍රසාදය දුබලවූ කල්හි චක්ඛු විඤ්ඤාණයන්ගේ ඉපදීමද හීනවේ. එසේම අනිකුත් ප්‍රසාද වස්තූන්ගේ දුබලත්‍වය කරණ කොට ගෙණ ඒ ඒ විඤ්ඤාණයන්ගේ පහළවීමද ක්‍රමයෙන් පිරිහේ. හෘදය මාංස පිණ්ඩය දුබලවීමෙන් මනො ධාතු මනො විඤ්ඤාණ ධාතුන්ගේ පහළවීම ක්‍රමයෙන් පිරිහී හදය මාංස පිණ්ඩය ක්‍රියා විරහිතවීමෙන් මේ භවයට අයත් නාම රූප ධර්‍මයන්ගේ නීරුද්ධවීම හෙවත් මරණය සිදු වන්නේය. එහෙයින්, මොළය, ශරීරාවයවයන් රැකගැනීමට හා ක්‍රියාකරවීමට උපකාරවන අවයවයක් වුවද, මනො ධාතු මනො විඤ්ඤාණ ධාතුන්ගේ පහළවීමට වස්තුවක් නොවන බව සැළකිය යුතුයි.

පිරිසිදු වාතය ආශ්‍රය කරමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නාවූ කල්හි එම පිරිසිදු වාතය පෙනහැලිවලට ඇතුල්වී, එහිදී හමුවන අපිරිසිදු ලෙය හා මිශ්‍රවීමෙන් ලෙය පිරිසිදු කිරීමට උපකාර වන්නේය. පිරිසිදු ලෙය රක්තවර්‍ණය. අපිරිසිදු ලෙය දුර්‍වර්‍ණය. ලෙය පිරිසිදු වීම හෝ අපිරිසිදු වීම හෝ අනුව එහි වර්‍ණයද වෙනස් වන්නේය. ස්වාභාවිකව ක්‍රියා කරන්නාවූ නීරොගී හෘදය මංස පිණ්ඩයත්, පෙනහැලිත් කරණ කොට ගෙන ශරීරයෙහි ලෙය ගමනාගමනය කිරීමද ආශ්වාස ප්‍රශ්වාස කිරීමද වන බැවින් එහි යම්කිසි වරදක් හෝ වෙනසක් හෝ ඇතිවිනම් ඒ වෙනස ලේවලද දක්නා ලැබේ. මේ ප්‍රධාන අවයවයන්ගේ ක්‍රියාවන් පාලනය කරනු ලබන්නේ මොළයෙහි උපකාරයෙනි. සත්ත්‍වයාහට යම් යම් ඉෂ්ටවූ හෝ අනිෂ්ටවූ හෝ අරමුණක් හමුවූ කල්හි රාග, ද්වේෂ, මොහාදී නොයෙක් අකුසල චේතනා හෝ කුසල පක්‍ෂයෙහි ශ්‍රද්ධාදී චේතනා හෝ පහළ වීමට අවකාශ ඇත්තේය. එසේ පහළ වන්නාවූ චේතනා ශක්තිය කරණකොටගෙණ ඒ ඒ සිත්වලින් උපදවනු ලබන චිත්තජ රූපයන්ගේ ශක්තියෙන් ශරීරාවයවයන්හි ක්‍රියා ශක්තියද වෙනස් වන්නේය. චිත්තජ වායෝ ධාතුව බලවත් ලෙස පහළ කිරීමෙන් ක්‍රියා වේගය ද බලවත් වන්නේය. මොළය උපකාර වන්නේ මෙසේ උපදවන ලද චිත්තජ වායො ධාතුවෙන් ප්‍රයෝජනය ගැනීමට ය. ක්‍රෝධයක් හෝ භයක් ඇතිවූ කල්හි ඇතිවන දොම්නස කරණකොටගෙණ ලෙය කලු වර්‍ණ වීමෙන් ශරීරයද දුර්‍වර්‍ණ වේ. ප්‍රීතියත්, ශ්‍රද්ධාවත් ප්‍රේමයත් ඇතිවූ කල්හි රක්තවර්‍ණ පැහැයක් ඇතිවන්නේය. ශෝකයක් ඇතිවූ කල්හි ශරීරය වියලි ස්වභාවයක් දක්වන්නේය. උපෙක්‍ෂා වූ කල්හි පහන් තලතෙලක් බඳු වර්‍ණයක් ඇතිවන්නේත් මේ ක්‍රමයෙන් බව සිතිය යුතුයි.

පරචිත්ත විජානනඥානය උපදවා ගෙන පරසිත් බලන්නාවූ කල්හි හෘදය කොෂාභ්‍යන්තරයෙහි පවත්නා ලේ ධාතුවෙහි වර්‍ණය බලා, ඔහුට උපන් සිත රාග, දෝෂ, මොහ, විතර්‍කාදිය සහිත බව හෝ රහිත බව හෝ දැන ගන්නේය.