අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ලහුතා රූපය

යම් රූපයක්හුගේ හෙවත් රූපයක් පිළිබඳව සැහැල්ලු බවක්, සැහැල්ලු බව දැනීමක්, නො බර බවක් වේද එය රූපයාගේ ලහුතා බව හෙවත් ලහුතා රූපය නම් වේ.

ස්වාභාවිකව සමවූ ඍතු, චිත්ත, ආහාරාදිය සෙවුන කල ශරීරය නීරෝගීව පවත්නා බව දැනේ. නමුත් නොමනා හැසිරීම, ශරීරය වෙහෙසීම, සිත් තැවීම, නිදි අඩු බව, ශරීරය විෂ වීම, ශීතෝෂ්ණ දෙකින් පෙළීම, ආහාර නොගැනීම හෝ ගැනීම නොමනා අපථ්‍ය ආහාර ගැනීම හෝ පමණට වඩා ආහාර ගැනීම හෝ ඇතිකල්හි ශරීරයේ ස්වභාවික නීරෝගී බව නැතිවී බර බව දැනේ එයට පිළියම් වශයෙන් සුදුසු ආහාර පානාදිය හෝ ඖෂධාදිය හෝ ගැනීමෙන් එම බර බව දුරුකොට ශරීරයෙහි සැහැල්ලු බවක් හෙවත් නීරෝගී බවක් ඇතිකර ගැනීමට හැකිවේ. ශරීරයෙහි බර බව ඇතිවන්නේ අසප්පාය සේවනය නිසා හටගත් පඨවි ආපො ආදී ධාතූන්ගේ උත්සන්න වීම හේතුකොටගෙනය. සප්පාය සෙවුන කල්හි බර බව දුරු කිරීමට උපකාර වන සේ ලහුතා රූප සහිත වූ රූප කලාපයන් පහළවීමෙන් සැහැල්ලු බවත්, අනලස බවත් ක්‍රියාකරවීමට පහසු බවත් දැනේ. ශරීරයෙහි සැහැල්ලු බව වැටහෙන්නේ මේ ලහුතා රූප අධික රූප කලාපයන්ගේ පහළවීමෙනි.