කාම සුගති ප්‍රතිසන්ධිය
දුර්වල දුහේතුක කාමාවචර කුසල කර්මයාගේ විපාකය වූ කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් කාම සුගතියෙහි ජාත්‍යන්ධ, ජාති බධිර, ජාති නපුංසකාදීවූ අඞ්ග විකල සත්ත්වයන්ගේ හා බොහෝ සෙයින් අනුන්ට බැලමෙහෙ කරන්නාවූ නුවණ මද සත්ත්වයන්ගේද ප්‍රතිසන්ධිය හා භූමිනිශ්‍රිත වූ විනිපාතික අසුර නම් වූ ඥාතිප්‍රේතාදීන්ගේ ද ප්‍රතිසන්ධිය ඇති වන්නේය.
මොවුන් අතුරෙන් ළාමක මනුෂ්‍යයෝ මනුෂ්‍ය භූමියෙහිද, විනිපාතික අසුරයෝ චාතුම්මහාරාජික භූමියෙහි ද ඇතුළත්වන බැවින් චාතුම්මහාරාජිකයෙහිද අහේතුක ප්‍රතිසන්ධියක් ඇත්තේ යයි කියන ලදී.
ත්‍රිහේතුක කුසලයාගේ හා දුහේතුක උත්කෘෂ්ට කුසලයාගේ විපාක වශයෙන් ත්‍රිහේතුක, දුහේතුක විපාක සිත් අටෙන් දෙව් මිනිස් දෙගතියෙහි උත්පත්තිය ගෙණ දෙන්නේය. ෂට් දිව්‍යලෝකයන්හි මහේශාක්‍ය මහානුභාව සම්පන්න දෙවියන්ගේ ප්‍රතිසන්ධිය ත්‍රීහේතුක විපාක සතරෙන්ද, ගාන්ධර්වලොක, අසුර භවන යන දෙතන්හිද, අල්පෙශාක්‍ය දෙවියන්ගේද ප්‍රතිසන්ධිය දුහේතුක විපාක සතරෙන්ද සිදු වන්නේය. එබැවින් අසුර, ගාන්ධර්වාදීන්ට එම ආත්මභාවයේදීම ධ්‍යාන මාර්ග ඵලාදිය නොලැබිය හැක.