අපාය ප්රතිසන්ධිය
දොළොස් අකුසල ජවනයන්ගේ විපාකය වූ අකුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ සිත සතර අපාය භූමියෙහි උපදනා සත්ත්වයන්ගේ ප්රතිසන්ධි සිත වශයෙන් ඉපිද, එහි වසනතාක් කල් භවඞ්ග සිත් වශයෙන්ද, ඒ භවයෙන් චුත වන කාලයෙහි දී චුති සිත වශයෙන් ද පහළ වන්නේය.
සතර අපායෙහි නොයෙක් ආකාර ඇති සත්ත්වයෝ මේ එකම අකුසල විපාක සන්තීරණ සිතින් ප්රතිසන්ධි ලබන්නාහුය.
කම්බලාස්සතර නාග භවනෙහි හා ගුරුළු භවනෙහි උපදනා සත්ත්වයන්ගේ ප්රතිසන්ධියද මේ සිතින්ම වන්නේය. නමුත් ඔවුන්ගේ ප්රවෘත්ති කාලයෙහි දෙවියන්ට මෙන් දෙව් බොජුන් දෙව් විමන්, දෙව් රුක් ආදී අභිමත වස්තු ලැබ දෙවියන් මෙන් සැප විඳින්නාහු වෙත්. ඔවුන්ගේ ප්රවෘත්ති විපාක පරම්පරාව කාමාවචර කුසල බලයෙන්ම ලැබෙත්. අහේතුක ප්රතිසන්ධිය ඇති බැවින් එම ආත්මභාවයේදීම ධ්‍යාන මාර්ගඵලාදිය නො ලැබෙන්නේය.