අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරූපාවචර භූමි

අරූපාවචර භූමි සතරෙකි. එනම්:- ආකාශානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ් ඤායතනය යන භූමි සතරය.

අකණිට්ඨ නම් සුද්ධාවාස බඹතලයට යොදුන් පනස් පන්ලක්ෂ අසූදහසක් උසින් ආකාශානඤ්චායතනයද, එයින් මත්තෙහි එකිනෙකට එපමණම දුරින් සෙසු අරූප භූමිද පිහිටා තිබේ.

ආකාශානඤ්චායතන භූමියෙහි උපදනා පුද්ගලයෝ නොපිරිහුන් ආකාශානඤ්චායතන ධ්‍යාන කුසල කර්මයාගේ විපාකස් කන්ධයකින් පමණක් ප්‍රතිසන්ධි ගන්නාහුය. මේ භූමියෙහි වසන පුද්ගලයන් අතර, ත්‍රිහේතුක පෘථග්ජනයාය, සොතාපත්ති ඵලස්ථයාය, සකෘදාගාමි මාර්ගස්ථයාය, සකෘදාගාමි ඵලස්ථයාය, අනා ගාමි මාර්ගස්ථයාය, අනාගාමි ඵලස්ථයාය, අර්හත් මාර්ගස්ථයාය, අර්හත් ඵලස්ථයාය යන පුද්ගලයන් අටදෙනා දක්නා ලැබේ. මේ පුද්ගලයන් අතුරෙන් ත්‍රිහේතුක පෘථග්ජනයා හට ද්වේෂ මූල සිත් දෙක හැර, ඉතිරි අකුසල් සිත් දසය, මනොද්වාරාවජ්ජන සිතය, මහා කුසල් අටය, අරූපාවචර කුසල් සතරය, ආකාශානඤ්චායතන විපාක සිතය යන සිත් සූවිස්ස (24) ලැබෙත්.

විඤ්ඤාණඤ්චායතන භූමියෙහි වසන ත්‍රිහේතුක පෘථග්ජනයා හට, යටකී සූවිසි චිත්තයන් අතුරෙන් ආකාශානඤ්චායතන කුසල හා විපාක චිත්තයන් වෙනුවට විඤ්ඤාණඤ්චායතන විපාක සිත පමණක් යොදා ගත් කල්හි තෙවිසි (23) සිත් කෙනෙක් ලැබෙති.

ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි වසන ත්‍රිහේතුක පෘථග්ජනයා හට, යටකී තෙවිසි චිත්තයන් අතුරෙන් විඤ්ඤාණඤ්චායතන කුසල් හා විපාක සිත් දෙක වෙනුවට ආකිඤ්චඤ්ඤායතන විපාක සිත පමණක් යොදාගත් කල්හි දෙවිසි (22) සිත් කෙනෙක් ලැබෙත්.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහි වසන ත්‍රිහේතුක පෘථග්ජනයාහට යටකී දෙවිසි චිත්තයන් අතුරෙන් ආකිඤ්චඤ්ඤායතන කුසල් හා විපාක සිත් දෙක වෙනුවට නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිත පමණක් යොදගත් කල්හි එක්විසි සිත් (21) කෙනෙක් ලැබෙති.

ආකාශානඤ්චායතන භූමියෙහි වසන සෝතාපත්ති ඵලස්ථයා හට දිට්ඨිගත විප්පයුත්ත සිත් සතරය, උද්ධච්ච සම්ප්‍රයුත්ත සිතය, මනොද්වාරාවජ්ජන සිතය, මහා කුසල් සිත් අටය, අරූප කුසල් සතරය, ආකාශානඤ්චායතන විපාක සිතය, සෝතාපත්ති ඵල සිතය යන විසි චිත්තයන් (20) ලැබෙත්.

විඤ්ඤාණඤ්චායතන භූමියෙහි වසන සෝතාපත්ති ඵලස්ථයා හට යටකී විසි චිත්තයන් අතුරෙන් ආකාශානඤ්චායතන කුසල විපාක සිත් දෙක හැර, විඤ්ඤාණඤ්චායතන විපාක චිත්තය ඇතුළත් කොට ගත් කල්හි එකුන්විසි (19) සිත් කෙනෙක් ලැබෙත්.

ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි වසන සෝතාපත්ති ඵලස්ථයා හට යටකී එකුන්විසි චිත්තයන් අතුරෙන් විඤ්ඤාණඤ්චායතන කුසල විපාක සිත් දෙක හැර ආකිඤ්චඤ්ඤා යතන විපාක සිත ඇතුළත් කළ කල්හි අටළොස් (18) සිත් කෙනෙක් ලැබෙත්.

නෙවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහි වසන සෝතාපත්ති ඵලස්ථයාහට යටකී අටළොස් චිත්තයන් අතුරෙන් ආකිඤ්චඤ්ඤා යතන කුසල විපාක සිත් දෙක හැර නෙවසඤ්ඤානාසඤ්ඤායතන විපාකසිත ඇතුළත් කළ කල්හි සතළොස් (17) සිත් කෙනෙක් ලැබෙත්.

ආකාශානඤ්ඤායතන භූමියෙහි වසන සකෘදාගාමී ඵලස්ථයාහට එහි සෝතාපන්න පුද්ගලයාහට ලැබෙන විසි චිත්තයන් අතුරෙන් සෝතාපත්ති ඵල සිත වෙනුවට සකෘදාගාමී ඵල සිත ඇතුළත් කළ කල්හි විසි (20) චිත්තයන්ම ලැබෙති. මේ ක්‍රමයෙන් සෝතාපත්ති පුද්ගලයන් කෙරෙහි ඇතිවන සෝතාපත්ති ඵල සිත වෙනුවට සකෘදාගාමී, අනාගාමී ඵල සිත් යොදගත් කල්හි ඒ ඒ පුද්ගලයන්ට සතර අරූප භූමියෙහි ලැබෙන සිත් දතහැකි වේ.

ආකාශානඤ්චායතන භූමියෙහි වසන අර්හත් ඵලස්ථයාහට මනොද්වාරාවජ්ජන සිතය, මහා ක්‍රියා සිත් අටය, අරූප ක්‍රියා සිත් සතරය, ආකාශානඤ්චායතන විපාක සිතය, අර්හත් ඵල සිතය යන සිත් පසළොස (15) ලැබෙත්.

විඤ්ඤාණඤ්චායතන භූමියෙහි වසන අර්හත් ඵලස්ථයාහට යට කියන ලද පසළොස් චිත්තයන් අතුරෙන් ආකාශානඤ්චායතන විපාක ක්‍රියා සිත් දෙක හැර විඤ්ඤාණඤ්චායතන විපාක සිත ඇතුළත් කළ කල්හි තුදුස් (14) සිත් කෙනෙක් ලැබෙති.

ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි වසන අර්හත් ඵලස්ථයාහට යටකී තුදුස් චිත්තයන් අතුරෙන් විඤ්ඤාණඤ්චායතන විපාක ක්‍රියා සිත් දෙක හැර ආකිඤ්චඤ්ඤායතන විපාක සිත ඇතුළත් කළ කල්හි තෙළෙස් (13) සිත් කෙනෙක් ලැබෙත්.

නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි වසන අර්හත් ඵලස්ථයාහට යටකී තෙළෙස් චිත්තයන් අතුරෙන් ආකාශානඤ්චායතන විපාක ක්‍රියා සිත් දෙක හැර නේවසඤ්ඤානාසඤ්ඤායතන විපාක සිත ඇතුළත් කළ කල්හි දොළොස් (12) සිත් කෙනෙක් ලැබෙත්.