සොළොස් රූපාවචර භූමියෙහි ආයු පරිච්ඡේදය
| 1. ප්‍රථමධ්‍යාන භූමි | |
|---|---|
| බ්‍රහ්ම පාරිෂද්යය | අසඞ්ඛ්‍ය කල්ප ⅓ |
| බ්‍රහ්ම පුරෝහිතය | අසඞ්ඛ්‍ය කල්ප ½ |
| මහාබ්‍රහ්මය | අසඞ්ඛ්‍ය කල්ප 1 |
| 2. දුතියධ්‍යාන භූමි | |
| පරිත්තාභ | මහා කල්ප 2 |
| අප්පමාණාභ | මහා කල්ප 4 |
| ආභස්සර | මහාකල්ප 7 + අසඞ්ඛ්‍ය කල්ප 4 |
| 3. තතියධ්යාන භූමි | |
| පරිත්ත සුභ | මහාකල්ප 16 |
| අප්පමාණ සුභ | මහා කල්ප 32 |
| සුභ කිණ්හ | මහාකල්ප 63 + අසඞ්ඛ්‍ය කල්ප 4 |
| 4. චතුර්ථ ධ්‍යාන භූමි | |
| වෙහප්ඵලය | මහා කල්ප 500 |
| අසංඥසත්තය | මහා කල්ප 500 |
| 5. පඤ්ච සුද්ධාවාස භූමි | |
| අවිහ | මහා කල්ප 1000 |
| අතප්ප | මහා කල්ප 2000 |
| සුදස්ස | මහා කල්ප 4000 |
| සුදස්සී | මහා කල්ප 8000 |
| අකණිට්ඨ | මහා කල්ප 16000 |
මෙහි දක්වන ලද අසඞ්ඛ්‍ය කල්ප මහා කල්පාදීන්ගේ විස්තර පෙර සේ දත යුතුයි.
දිගින් යොදුනක් ද, පුලුලින් යොදුනක්ද, ඝනයෙන් යොදුනක්ද, පමණ ඇති කොටුවෙක්හි අබ ඇට පුරවා අවුරුදු සියයකට වරක් එක් අබ ඇටය බැගින් ඉවත් කිරීමෙන්, යම් කලෙක ඒ කොටුව හිස් වන්නේවී නමුත්, අවුරුදු ගණන නොගෙවෙන්නාවූ කල්පය එක් අසඞ්ඛ්‍ය කල්පයක් නම් වෙයි. මෙවැනි අසඞ්ඛ්‍ය කල්ප සත රක් එක් මහා කල්පයෙකි.
තවද, අන්තර කල්ප සූ සැටක් (64) එක් අසඞ්ඛ්‍ය කල්පයෙකි. මේ මිනිස් ලොව කලින් කල විනාශයට පත් වන්නේය. එසේ ලෝක විනාශ වීමේදී අවි ආයුධ වලින් විනාශ වන අන්තර කල්පයට සත්ථන්තර කල්පය යයිද, දුර්භික්ෂයෙන් විනාශවන අන්තර කල්පයට දුබ්භික්ඛන්තර කල්පය යයිද, රෝගයෙන් විනාශ වන අන්තර කල්පයට රෝගාන්තර කල්පය යයි ද අන්තර කල්ප තුන් ආකාරයෙකි. මෙසේ ලෝක විනාශය වන කල්හි මිනිස් ලොව පරමායුෂය අවුරුදු (10) දසයක් පමණ වන්නේය. ලෝක විනාශය ගැන කලින් අසා දැන, එයින් මිදෙනු කැමැති පිනැතියන් ගල් ගුහා ආදියෙහි සැඟවී සිට, ලෝක විනාශයෙන් පසු නැවත ලොව බලනුයේ, විනාශයට පත්වූ නෑ මිතුරු ආදී සත්ත්වයන් දැක, අකුසල කර්ම විපාක සිහි කරමින් සංවේගයට පත්ව, පාපයට භයවී එයින් වැළකීම සඳහා ගුණදම් වැඩීමට පටන් ගන්නේය. මෙසේ ගුණදම් වැඩීමේ හේතුවෙන් ක්‍රමයෙන් ආයු වැඩෙමින් විසි අවුරුදු තිස් අවුරුදු සතළිස් (40) අවුරුදු යනාදී වශයෙන් සියය, දහස, ලක්ෂය, කෝටිය, අසඞ්ඛ්‍යය දක්වා වැඩෙන්නේය. මෙසේ දීර්ඝායු වළඳමින්, සම්පත්තියෙන් මත්වූ සත්ත්වයන්ට ජරා මරණාදිය නොදැනීම හේතුකොට ගෙන අධර්ම සමාදානයෙන් හැසිරීමට පටන් ගත් තැන් පටන් ආයුෂය ක්‍රමයෙන් පිරිහෙන්නට පටන් ගන්නේය. මෙසේ ආයු පිරිහෙමින් බොහෝ දීර්ඝ කාලයක් ගතවී පළමු කී පරිදි දස වර්ෂායුෂ්ක බවට පත්වූ කල්හි නැවතත් ලෝක විනාශයක් ඇති වන්නේය. එම ලෝක විනාශයට පසු නැවතත් ඉහත දැක්වූ පරිද්දෙන් ආයුෂය ක්‍රමයෙන් අසඞ්ඛ්‍යය දක්වා වැඩෙන්නේය. මෙසේ දස අවුරුද්ද සිට අසඞ්ඛ්‍යය දක්වාද, අසඞ්ඛ්‍යය සිට නැවතත් දස අවුරුද්ද දක්වාද ආයු වැඩීම සහ පිරිහීම ඇති වේ. මෙහි දක්වන ලද දස වර්ෂායුෂ්ක සත්ත්වයන්ගේ විනාශ දෙකකට අතර කාලය එක් අන්තර කල්පයකි. එවැනි අන්තර කල්ප සූ සැටක් (64) එක් අසඞ්ඛ්‍ය කල්පයකි. මෙවැනි අසඞ්ඛ්‍ය කල්ප සතරක් එක් මහා කල්පයකි. මේ අසඞ්ඛ්‍ය කල්ප සතරට සංවට්ට කල්පය, සංවට්ටට්ඨායි කල්පය, විවට්ට කල්පය, විවට්ටට්ඨායි කල්පය යයි නම් කරනු ලැබේ.
මොවුන් අතුරෙන් කල්ප විනාශක මහා මේඝය පටන් කල්ප විනාශක මහා ගින්න නිවීම දක්වා ලොව විනාශ වෙමින් පවත්නා කාලය සංවට්ට අසඞ්ඛ්‍ය කල්ප නමි. කල්ප විනාශක මහා ගින්න නිවීම පටන් කෙළ ලක්ෂයක් සක්වල ඇතිවන සම්පත්තිකර මහා මේඝය දක්වා විනාශ වී පවත්නා කාලය සංවට්ටට්ඨායි අසඞ්ඛ්‍ය කල්ප නමි. සම්පත්ති කර මහා මේඝය පටන් චන්ද්‍ර සූර්ය්යාදීන්ගේ උදාවීම දක්වා ලොකය නැවතත් සෑදෙමින් පවත්නා කාලය විවට්ට අසඞ්ඛ්‍ය කල්ප නමි. සූර්ය්ය චන්ද්රාදීන්ගේ පහළවීම පටන් නැවතත් කල්ප විනාශක මහා මේඝය දක්වා පවත්නා කාලය විවට්ටට්ඨායි අසඞ්ඛ්‍ය කල්ප නමි.
මෙයින් සංවට්ටයෝ තිදෙනෙකි. එනම් ආපො සංවට්ටය, තෙජො සංවට්ටය සහ වායො සංවට්ටය යන තුනයි. සංවට්ට සීමාවෝ ද තිදෙනෙකි. ගින්නෙන් කල්පය නස්නා කල්හි, ආහස්සර බඹලොවින් යට ද, ජලයෙන් නස්නා කල්හි සුභ කිණ්හ බඹලොවින් යට ද, වාතයෙන් නස්නා කල්හි, වෙහප්ඵලයෙන් යට ද නස්නේය.
තව ද, කල්ප විනාශය වන කල්හි, ජාතික්ෂේත්රය, ආඥාක්ෂේත්රය, විෂය ක්ෂේත්රය යන ත්‍රිවිධ ක්ෂේත්රයන් අතුරෙන් ආඥා ක්ෂේත්රයම විනාශ වන්නේය. මෙයින් ජාතික්ෂේත්රය නම් තථාගතයන් වහන්සේගේ ලොව පහළවීම ආදී අවස්ථා වන්හිදී කම්පාවන ප්‍රදේශය වූ දස දහසක් පමණ සක්වළය. රතන සූත්රාදීන්ගේ ආනුභාවය පැතිරෙන තරම් ප්‍රදේශය වූ කොටි ලක්ෂයක් සක්වල ආඥාක්ෂේත්රය නම් වේ.
බුද්ධ ඥානයට විෂය වූ අනන්තාපරිමාණ සක්වල විෂයක්ෂේත්ර නම් වේ. ආඥාක්ෂේත්රය නස්නා කල්හි ජාතික්ෂේත්රයද නස්නේය.
ගින්නෙන් කල්ප විනාශය වන කල්හි, පළමුකොටම කල්ප විනාශක මහා වැසි කෙළ ලක්ෂයක් සක්වල එකවිටම වසී. එවිට මනුෂ්‍යයෝ සතුටුව බීජ වැපිරීම් ආදිය කරති. මෙසේ බීජ වපුරා වර්ධනය කොට ශස්‍යය ගවයන් කන පමණ වැඩුණු පසු, වැසි පොදයක් වත් නොමැතිව මේඝ ගර්ජනා පමණක් ඇති වන්නේය. මෙසේ නතර වූ වැසි, සදහටම නැවතුණේම වේ. එකල්හි වැස්සෙන් ජීවත්වන සත්ත්වයෝ දිවි පවත්වා ගත නොහැකිව, මියගොස් දෙව්ලොව ඉපිද ක්‍රමයෙන් ධ්‍යානාදිය වඩා බඹලොව උපදින්නාහුය. මල් ඵලයන්හි ඕජාවෙන් ජීවත් වන සත්ත්වයෝ ද, එසේ චුතවී ක්‍රමයෙන් ඔබලොව පහළ වන්නාහුය. මෙසේ දීර්ඝ කාලයක් වැසි නැතිවීමෙන් ජලය වියලි ගොස්, මත්ස්‍යාදි වූ දියෙහි උපදනා සත්ත්වයෝ ද මැරී, දෙව්ලොව ඉපිද, පෙර සසරදී කළ පින් බෙලෙන් භාවනා වඩා බඹලොව උපදී. එකල්හි ලොකබ්යුහ නම් දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙණ හඬමින්, අතින් කඳුළු පිසමින්, රතුවත් හැඳ, ඉතා විරූප වෙස් ගෙණ, මිනිස් ලොව හැසිරෙමින් හවුරුදු ලක්ෂයකින් කල්ප විනාශය වන්නේය, මේ මහා පොළොවද වැනසෙන්නේය. මහ මුහුදු පවා වියළෙන්නේය, මහාමේරු පර්වතයද දා විනාශ වන්නේය, බඹලොව තෙක් සියල්ල වැනසෙන්නේය. එබැවින් මෙත් වඩව්, කරුණා - මුදිතා - උපෙක්ෂා වඩව්, මව්පිය උවටැන් කරව්, කුල දෙටුවන් පුදව් යනාදිය පවසමින් කල්ප විනාශය වන බව හඟවන්නේය. මෙබස් අසා මනුෂ්‍යයෝද භූමාටු දෙවියෝද, පින්කම් කොට දෙව්ලොව ඉපිද, එහිදී වායො කසිණ භාවනාදිය කොට, ධ්‍යාන උපදවාගෙණ ක්‍රමයෙන් බඹලොව උපදිති. අන්‍යයෝ අපරාපර්‍ය්‍ය වෙදනීය කුසල කර්ම බලයෙන් දෙව්ලොව ඉපිද, ධ්‍යාන වඩා බඹලොව උපදිත්. අපරාපර්‍ය්‍ය වෙදනීය කර්ම විරහිත, සසර සැරිසරණ සත්ත්වයෙක් නම් නැත්තේය.
වැසි නැවතී බොහෝ කලක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයෙක් පහළ වන්නේය. එකල්හි රෑ දාවල්හි වෙනසක් නො පෙනේ. එකක් උදාවූ කල්හි අනික් සූර්‍ය්‍යයා බසී. මුලුලෝකය නිරතුරුවම සූර්ය්යාලෝකයෙන්ම ආලෝකමත් වේ. මේ සූර්ය්යයන් දෙදෙනාගේ තේජස කරණකොට ගෙණ හිමාල පර්වතයෙන් ගලා බස්නා පඤ්ච මහා ගඞ්ගාවන් හැර සෙසු ගංගා, ඇල, දොල සියල්ලම වියළේ. මෙසේ බොහෝ දීර්ඝ කාලයක් ගතවූ කල්හි තුන්වෙනි සූර්ය්යයෙක්ද පහළ වී පස් මහා ගංගාවෝ පවා වියළි යති. එයටද බොහෝ කලකට පසු සිව්වැනි සූර්‍ය්‍යයෙක් ද පහළ වීමෙන් හිමවත මහා ගංගාවන් හට ගන්නාවූ සීහපතාකය, හංසපතාකය කර්ණමුණ්ඩකය, රථකාරය, අනවතප්තය, ඡද්දන්තය, කුණාලය යන සප්ත මහා විල් සම්පූර්ණයෙන්ම වියළේ. ඉන් බොහෝ කලකට පසු, පස්වැනි සූර්‍ය්‍යයෙක් උදාවීමෙන් මහා සාගර ජලයද වියළේ. එයටත් පසු ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් සවැනි සූර්ය්යයෙක්ද පහළවී. කෙළ ලක්ෂයක් සක්වල වියලන දුමින් සෑම තැනම පිරී පවතින්නේය. ඉනිදු බොහෝ කලකට පසු සත්වැනි සූර්‍ය්‍යයෙක් ද පහළ වේ. එවිට කෙළ ලක්ෂයක් සක්වල එකම ගිනි ජාලාවක් වී සියක් යොදුන් පමණ මහත් කඳු පර්වත පැලී අහසෙහි ද විනාශ වෙමින් චාතුම්මහාරාජිකය තෙක් පැතිරේ. මේ ක්‍රමයෙන් සදිව්‍ය ලෝකයන් දවා, ප්‍රථමධ්‍යාන භූමිය දක්වා ගින්න පැතිරෙන්නේය. මෙසේ පැතිර පවත්නා මහා ගින්න ආහස්සර ඔඹ ලොව හැර එයට යටින් පිහිටි සියලුම ප්‍රථම ධ්‍යාන භූමිද, කාම භූමිද ද විනාශ කරන්නේය. එයට ඇතුළත් සියලුම ද්‍රව්‍ය යන් අලු පමණවත් ඉතිරි නොකොට දැවී ගිය පසු ක්‍රමයෙන් ගින්න නිවී යයි. මේ විනාශයට ගතවන කාලයට සංවට්ට කල්පය යයි කියනු ලැබේ. එය අන්තර කල්ප සූ සැටක් (64) පමණ දීර්ඝ කාලයකි.
මෙතැන් පටන්, ප්‍රථමධ්‍යාන භූමින්ගෙන් හා කාමභූමින්ගෙන්ද ශූන්‍යව, අන්තර කල්ප සූසැටක් (64) පමණ දීර්ඝ කාලයක් ගතවන්නේය එයට සංවට්ඨායි අසඞ්ඛ්‍ය කල්පය යයි කියනු ලැබේ.
මෙසේ සංවට්ඨායි අසඞ්ඛ්‍ය කල්පය ගෙවී යාමෙන් පසු මහා මේඝයක් නැගී පළමුකොට සියුම් පොද වැසි වැස, පිළිවෙලින් මහත්ව, තල්කඳ පමණ වැසිධාරා වැස, කෙළ ලක්ෂයක් සක්වල සියලු දැගිය තැන දියෙන් පිරී යයි. ඒ ජලය හාත්පසින්ම, උඩ, යට සරස වාතය නැගී, ජලය ඝන කොට, නොවිසිරී යන සේ පිඬු කොට තබන්නේය. මේසා මහත් ජලස්කන්ධය අතර වාතය ගමන් කළ හැකි සේ විවර සෑදෙමින් ඝනවී වට ආකාර වූ පසු ක්‍රමයෙන් තව තවත් ඝනවීමෙන් යටටම බසින්නේය. මෙසේ ක්‍රමයෙන් බසිත්ම පෙර ප්‍රථමධ්‍යාන බඹලොව පිහිටි තන්හි ඒකී ප්‍රථමධ්‍යාන බ්‍රහ්ම ලෝකය ද, එයට යටින් පරනිම්මිත වසවර්තිය, නිම්මාණ රතිය, තුසිතය, යාමය යන සතර දිව්යලෝකයන් පැවැති තන්හි එම දිව්යලොකයන් ද පහළ වන්නේය. තාවතිංසය චාතුම්මහා- රාජිකය යන දෙදෙව්ලොව, මේ මහා පොළොව හා සම්බන්ධ හෙයින්, ඝණ වූ ජල පොළොව පෙර මේ පොළොව පැවැති තැන් දක්වා බට කල්හි බලවත් වාතයක් හටගෙණ ජලය පොළොව වටකොට සිටී. මිහිරිවූ මේ ජලය ක්‍රමයෙන් ක්ෂය වෙමින්, යම්සේ උණු කරණ ලද කිරි නිවෙන කල්හි මතුයෙහි යොදයක් සෑදේද, එපරිද්දෙන්ම, ඉතා වර්ණවත් වූ ද, රසවත් වූ ද, රස පොළොව හටගන්නේය.
මෙසේ ඇති කල්හි, ආභස්සර ඔඹලොව වැසි බ්‍රහ්මයන් අතුරෙන් ඇතැම් බ්‍රහ්මයන්ගේ ආයු ගෙවීමෙන් එයින් චුතව මේ පොළොවෙහි ඕපපාතිකව පහළ වන්නාහුය. ඔව්හු ප්‍රීතියම ආහාර කොට ගෙණ ඇත්තේ ශරීරාලොකයෙන් බැබලෙමින්, අහස්හි හැසිරෙමින්, මනොඥ ස්වභාව ඇතිව ඉතා දීර්ඝ කාලයක් සිටිති. එකල සඳ හිරු ග්‍රහ තාරකාදිය නොපෙණේ. රෑ දවල් ද සෘතු භෙද ආදියක් ද විද්‍යාමාන නොවේ. එකල්හි ආශාව අධික එක්තරා සත්ත්වයෙක්, මේ කුමක්දැයි බලනු පිණිස රස පොළොවෙහි ඇඟිල්ල ඔබා එම ඇඟිල්ල දිව ගා රස බැලූ කල්හි ආශාව වැඩි ගියේය. අනික් සත්ත්වයෝ ද එසේම පොළෝ රස බලා ආශාව වැඩි ගිය කල්හි එම පස් ගුලි කොටගෙණ අනුභව කරන්නට පටන්ගත්තේය. මේ හේතුවෙන් ඔවුන්ගේ ශරීරාලෝකයද ක්‍රමයෙන් පහවී අන්ධකාරය පැතිරෙන්නට විය. එකල්හි සඳ හිරු දෙදෙනා ද, අනතුරුව තාරකා ආදියද පහළ විය. මෙසේ ඔව්හු එලිය ලදුම්හයි සතුටුව, අන්ධකාරය නිසා බියපත් වූ අය සනසා සුර බැව් උපදවමින් පහළවූයේ යයි යන අදහසින් සූර්‍ය්‍යයා යයි නම් කළෝය. දවල් කාලයේදි සූර්‍ය්‍යයා ලොව ආලෝක කොට අස්ත වූ කල්හි, නැවත අන්ධකාරය ඇතිවීමෙන් බියපත්වූ ඔව්හු රාත්‍රියෙහි ආලෝකයක් ලදහොත් යෙහෙකැයි සිතත්ම සඳමඬල පහළවිය. එය දැක සතුටුවූ ඔව්හු, එයට චන්ද්‍ර යයි නම් කළාහුය. මෙයට අනතුරුව නැකැත් තරු ආදිය පහළවීමද, රෑ දවල්, මාස අඩමස, සෘතු, සංවත්සර ආදියද ඇතිවිය. සඳ හිරු පහළවූද ම මහමෙර, සක්වලගල හිමවත් පර්වතය පහළවූහ. මේ සියල්ලම පහළවූ දින මැදින් මස පුරපසළොස්වක් පොහෝ දින විය
පොළොව සැදීමේදී ඇතැම් පෙදෙස් ස්ථූපයන් මෙන් උස්ව පිහිටියේය. එය කඳු පර්වත යයි ව්‍යවහාර විය. ඇතැම් පෙදෙස් ප්රපාතයන් මෙන් සෑදී සමුද්‍ර බවට පත්විය. ඇතැම් පෙදෙස් සමතැන්ව පිහිටි හෙයින් ද්වීප යයි නම් කරණ ලදී.
රස පොළොව අනුභව කරන්නාවූ සත්ත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් දුර්වර්ණ විය. එවිට වර්ණවත් වූවෝ දුර්වර්ණ යන් හෙළා දකින්නට පටන්ගත්හ. ඔවුන්ගේ ඒ මානය කරණ කොටගෙණ රස පොළොව ද ක්‍රමයෙන් පිරිහී ගොස් එහි රසය අතුරුදන් විය.
රස පොළොව නැතිව ගිය කල්හි ඔව්හු එකතුව “අහෝ රසය අහෝ රසය” යයි කියන්නට වන. ඉක්බිති බිම්හතු නම් වූ ඕජා සහිත මොළොක් පසක් පහළවිය. එය වර්ණවත් වූද සුවඳවූද, රසවූද, ගිතෙල් පැහැයෙන් යුක්තවූද, පසක් විය. එවිට ඔව්හු භූමිපට්ටක නම් වූ බිම්පතුරු හෙවත් බිම්හතු අනුභව කරන්නට පටන් ගත්හ. මෙසේ බොහෝ කලක් බිම්හතු අනුභව කරන්නාවූ සත්ත්වයන්ගේ ශරීරය රළු බවටද, වර්ණයෙන් හීන බවටද පත්විය. එවිට ඇතැම් වර්ණවත්වූ කෙනෙක් දුර්වර්ණයන් දැක ඔවුන්හෙළා දකින්නට වන් කල්හි බිම්හතුද ක්‍රමයෙන් අතුරදහන් විය. එයට පසුව බදාලතානම් වැල් ජාතියක් පහළ විය. එයද මේ ක්‍රමයෙන්ම අතුරුදන් විය. අනතුරුව නොසානාලද භූමියෙහි හටගත්තාවූ පොතු නැති සුවඳ හැල් පහළ විය. බඳුනක සුවඳහැල් බහා ගලක් මත තුබූ කල්හි ගිනි නැග තුමූම බත පිසයයි. ව්‍යඤ්ජන නො මැතිව අනුභව කළ හැකි මේ බත ඉතා රසය. සුවඳහැල්ල අඩුවීමක් නැත. මෙසේ රළුවූ මේ ආහාර අනුභව කරන්නාවූ සත්ත්වයන්ට මල මුත්‍ර හටගෙණ ඒවා නික්මෙන මාර්ග හෙවත් ද්වාර පහළවිය. පෙර යමෙක් ස්ත්‍රී වූවාද, ඇයට ස්ත්‍රී ලකුණු ද, පෙර යමෙක් පුරුෂ වීද, ඕහට පුරුෂ ලකුණුද පහළ විය. ඉදින් ස්ත්‍රී තොමෝ ද බොහෝ වේලා පුරුෂයා දෙස ද, පුරුෂ තෙමේ ස්ත්‍රී දෙසද බලා සිටීමෙන් කාම රාගය වැඩී මෙවුන්දම් සේවනය කළහ. මෙය දුටු අන්‍ය සත්ත්වයෝ ඔවුන් පිළිකුල් කොට ගල්, පස්, කුණු ආදියෙන් ගසා එළවන්නට විය. මොව්හු ද, ඇත්ව ගොස් අනුන්ට නොපෙණි බොහෝ කල් මෙවුන්දම් සේවනය කරන්නේ, සැඟ වෙනු පිණිස ආවරණ ස්ථාන හෙවත් ගෙවල් සාදාගත්හ. බත පිණිස වරින්වර ගෙන්වා ගත් සුවඳ හාල් එකවරම කීප දිනකට සෑහෙන පමණ ගෙණ රැස්කොට තබා පිස අනුභව කරන්ට වන් බැවින් හැල් නරක් නොවෙනු පිණිස සහල් වසා පොතු ඇතිවිය. කපන ලද ධාන්‍යද නැවත නොවැඩුනේය. ඇල්වී පඳුරු පඳුරුව සිටියාහුය. එවිට ඔව්හු රැස්වී මෙසේ කථා කළහ.
“සත්ත්වයන් අතර පවිටු ගති පහළවිය. ආ විට තිබූ සම්පත් සෘද්ධි ආලෝක ආදිය ක්‍රමයෙන් පිරිහී ගියහ. දැන් හැල් වී පඳුරු වෙන් වී පිහිටියාහුය. අප අතර මේ ඇල් වී බෙදා ගන්නෙමු නම් යහපතැයි” ගිවිස ඇල් වී බෙදා මායිම් කර ගත්හ. කල්යාමෙන් එක්තරා කෙනෙක් තමන්ට අයිති නොවූ බිමින් නොකියාම හැල් වී ගෙණ ගියහ. මෙසේ සොරකම උපන් කල්හි අන් අය ඕහට අවවාද කොට හික්මවන්ටනොහැකිව ගල් මුල්වලින් ගසා ඔහු නෙරපා දැමූහ. මෙසේ ක්‍රමයෙන් සොරකම, අනුන්ට අපහාස කිරීම බොරු කීම, හිංසා පිණිස දඬු ගැණීම යනාදිය පහළ විය.
මෙසේ ඇති කල්හි ඔවුනොවුන් ගිවිස ගෙණ වරද කරන්නවුන් හට නිසි සේ අවවාද දඬුවම් දෙනු පිණිස එක් පුද්ගලයෙක් සම්මත කරගැණීම සුදුසුයයි නිශ්චය කොට ගෙණ, ඒ පිරිස් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වේද, බොහෝ ලක්ෂණවීද, බොහෝ පැහැදීම ගෙණ දෙන්නේ වීද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වීද, ඔහු කරා පැමිණ “පින්වත එව, හොඳින් ප්‍රකාශ කටයුත්ත ප්‍රකාශ කරව, ගර්හා කටයුත්තහුට හොඳින් ගර්හා කරව, නෙරපිය යුත්තහු හොඳින් නෙරපව, අපි තොපට ඇල්වී වලින් කොටසක් දෙන් නෙමුයයි” බෝසත් හට කීහ. ඔහු ද එය පිළිගෙණ හොඳින් යුක්තිය ඉටු කෙළේය. මේ බොධිසත්ත්ව තෙම මහජන සම්මත යෙන් පත්වූ හෙයින් මහා සම්මතනම් විය. එසේම හෙතෙමේ ක්ෂෙත්රයන්ට හෙවත් ඉඩම්වලට අධිපති වන හෙයින් ක්ෂත්රිය යයි ද, ධර්මයෙන් අන්‍ය සත්ත්වයන් පිණවයි යන අර්ථයෙන් රජ යයි ද ප්‍රකට විය. මෙය ක්ෂත්රිය වංශයාගේ හට ගැණීම වේ.
තවද, මෙකල්හි විසූ ඇතැම් සත්ත්වයෝ මෙසේ ද සිතූහ. “ඒකාන්තයෙන්ම පාප ධර්ම සත්ත්වයන් කෙරෙහි පහළ බූහ. එබැවින් සොරකම් කිරීම් ආදීවූ, ළාමකවූ අකුසල ධර්ම යන් නසන්නෙමු නම් ඉතා යෙහෙකැයි කියායි. මෙසේ සිතා ළාමකවූ අකුසල ධර්මයන් දුරු කෙරෙතියි යන අර්ථයෙන් ඔවුන් බ්‍රාහ්මණ යන නාමයෙන් ව්‍යවහාර විය. ඔව්හු වන ප්‍රදේශයෙහි කොල සෙවිලි කළ පන්සල්හි වසමීන් ධ්‍යාන උපදවති. බත සඳහා පිඩු සිහීම් වශයෙන් ගම් නියම්ගම් රාජධානිවලට ඇතුල්ව, ආහාර ලබාගෙණ, නැවතද වන පන්සල්වලට වැද ධ්‍යාන කෙරෙති. මිනිස්සු මොවුන්ගේ මේ ක්‍රියා දැක ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායක යන නමද ඔවුන්ට කීහ.
තවද ඇතැම් කෙනෙක් වන පෙදෙස්හි පන්සල්වල හිඳ ධ්‍යාන වඩා ගත නොහැකිව, ගම් නියම්ගම්වලට පැමිණ ත්‍රිවෙදය සකස් කරමින්ද, උගන්වමින්ද වෙසෙති. මිනිස්සු මොවුන් දැක මොව්හු ධ්‍යාන නොකෙරෙතියි යන අර්ථ ඇති අජ්ඣායකයෝ යයි නම් කළේය.
තවද, ඇතැම් සත්ත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා ගවයන් රැකීම, වෙළඳාම් කිරීම, ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුනාහ. මොවුන්ට වෛශ්‍යයෝ යයි නම් කළෝය.
තවද, ඉහතකී තුන් පිරිසට අයත් නොවූ නපුරු පැවතුම් ඇති පිරිසද විය. ඔවුන්ට නපුරු, නින්දිත ක්‍රියා ඇත්තේය යන අර්ථ යෙන් ශුද්‍රයෝ යන නාමය ව්‍යවහාර කළහ.
මෙසේ කල්ප විනාශ මහා මේඝයේ පටන් ගින්නෙන් ද විනාශවී යන කාලය දක්වා සංවට්ට අසඞ්ඛ්‍ය කල්පය යයිද, එතැන් පටන් සම්පත්තිකර මහා මේඝය දක්වා සංවට්ටට්ඨායි අසඞ්ඛ්‍ය කල්පය යයි ද සම්පත්තිකර මහා මේඝය පටන් සඳ හිරු පහළවීම තෙක් විවට්ට අසඞ්ඛ්‍ය කල්පය ද, සඳ හිරු පහළවීමේ සිට නැවත කල්ප විනාශක මහා මේඝය දක්වා කාලය විවට්ටට්ඨායි අසඞ්ඛ්‍ය කල්පය යයි ද දතයුතුයි. මේ සතර අසඞ්ඛ්‍ය කල්පය එක්කොට ගත් කල්හි එක් මහා කල්පයකි. මෙය ගින්නෙන් කල්පය නස්නා පරිදිය.
ජලයෙන් කල්පය විනාශ වීමේදී පළමුකොට කල්ප විනාශක මහා මේඝය වසී. මුලදී සියුම් සියුම් වැසි වැස පසුව පිළිවෙලින් මහා වැසි ධාරාවෝ කෙළ ලක්ෂයක් සක්වළ පුරා වසිති. මෙසේ ක්‍රමයෙන් වැස මහා පොළොව, පර්වත ආදිය දියවී ගොස් හාත් පසින්ම දුතියධ්‍යාන භූමි සමගම දියවී යන්නේය. මෙසේ ලොව දියවූ ජලය හාත්පසින්ම සුළඟ දරයි. සියල්ල දියවූ පසු ජලය වියලී යයි. මෙතෙක් කාලය සංවට්ට අසඞ්ඛ්‍ය කල්ප නම් වේ. සෙසු සංවට්ඨායි, විවට්ට විවට්ඨායි කල්පද පෙරසේම දතයුතුයි.
වාතයෙන් කල්පය විනාශ වීමේදී පළමුවෙන් කල්ප විනාශක මහා වැස්සක් වසී. පසුව දෙවෙනි සූර්ය්යා පහළ වූවාක් මෙන් කල්ප විනාශය පිණිස වාතය හටගනී. පළමු වෙන් මහා ධූලි නංවා, අනතුරුව සියුම් ධූලි සියුම් වැලි, මහාවැලි, කැටගල්, මහ ගල් යනාදිය නංවයි. එමෙන්ම පර්වත මහා රුක් ආදියද අභසට නංවා බිමට වැටිය නොදී අභසෙහිම සුණුවි සුණු වී යයි. අනතුරුව යටින් වාතය නැග ගස් මුල් සහිත වූ මහා පොළොව බිඳ අභසට නංවා, විනාශ කොට යවති. මෙසේ සක්වළ පච්චද, මහමෙර පච්චද, භූමස්ථ ආකාශස්ථ, විමානයන් ද ෂට් කාමාවචර දිව්‍ය ලෝකයන් ද, වේහප්ඵලයට යටින් පිහිටි සියළු ම ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තතියධ්යාන භූමි ද වාතයෙන් සුණු විසුණු වී යන්නේය. මේ විනාශයේ දී ක්‍රමයෙන් සත්ත්වයෝ සුභකිණ්හ බඹලොව ඉපිද එතැනින් චුතව වේහප්ඵල යෙහි පහළ වන්නාහ. කෙළ ලක්ෂයක් සක්වළ මෙසේ වාතයෙන් විනාශවී යති. මෙහිදී ද කල්ප විනාශ මහා මේඝය පටන් කල්ප විනාශක මහා වාතය නැවතීම තෙක් එක් සංවට්ට අසඞ්ඛ්‍ය කල්පයෙකි. වාතය නැවතීම සිට සම්පත්තිකර මහා මේඝය තෙක් එක් සංවට්ඨායි අසඞ්ඛ්‍ය කල්පයකි.
මෙසේ සත්ත්ව ලෝකය මෙන් අවකාශ ලෝකයද වැනසෙන්නේ අකුසල මූල හේතුවෙන් බව දත යුතුයි. රාගය අධික වූ කල්හි ගින්නෙන්ද, ද්වේෂය අධික වූ කල්හි ජලයෙන්ද මෝහය අධික වූ කල්හි වාතයෙන් ද වැනසෙන බව දක්වන ලදි.
මෙසේ වැනසෙන්නාවූ සක්වලවල් පිළිවෙලින් සත්වරක් ගින්නෙන් ද, අටවැනි වර ජලයෙන්ද විනාශ වන්නේය. මේ ක්‍රමයෙන් ගින් නෙන් සපණස් (56) වරක් සහ ජලයෙන් සත් වරක් ය යි තෙසැට (63) වරක් විනාශ වූ පසු සූසැට (64) වන වර වාතයෙන් විනාශ වන්නේය.