රූපාවචර භූමි
රූපාවචර ධ්‍යානයෝ චතුෂ්කනයින් ගෙණ එහි පටිසන්ධි විපාක වශයෙන් සොළොස් රූපාවචර භූමි සතර කොටසකට බෙද දක්වනු ලැබේ.
බ්‍රහ්ම පාරිෂද්යය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය යන භූමි ත්‍රය ප්‍රථමධ්‍යාන භූමි නම් වේ.
පරිත්තාභ, අප්පමාණාභ, ආභස්සර යන භූමි ත්‍රය දුතියධ්‍යාන භූමි නම් වේ.
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක යන භූමි ත්‍රය තතියධ්යාන භූමි නම් වේ.
වෙහප්ඵලය, අසංඤසත්වය යන භූමි දෙක හා අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිට්ඨ යන පඤ්ච සුද්ධාවාස භූමි යන භූමි සත චතුර්ථධ්යාන භූමි නම් වේ.
මෙයින් ප්‍රථමධ්‍යාන භූමි ත්‍රය පරනිම්මිත වසවත්ති දිව්යලොක යෙන් මත්තෙහි පණස්පන්ලක්‍ෂ අටදහසක් (5508000) යොදුන් ගිය තන්හි ආකාශයෙහි සමතලයෙහි පිහිටා තිබේ.
දුතියධ්‍යාන භූමි ත්‍රය ප්‍රථමධ්‍යාන භූමිය මත්තෙහි පණස්පන් ලක්ෂ අටදහසක් (5508000) යොදුන් ගිය තන්හි ආකාශයෙහි සමතලයෙහි පිහිටියේය.
තතියධ්යාන භූමි ත්‍රය දුතියධ්‍යාන භූමිය මත්තෙහි පණස් පන්ලක්ෂ අට දහසක් (5508000) යොදුන් ගිය තන්හි ආකාශයෙහි සමතලයෙහි පිහිටියේය.
තතියධ්යාන භූමි ත්‍රයෙන් මත්තෙහි පණස්පන්ලක්‍ෂ අටදහසක් (5508000) යොදුන් ගියතන්හි වෙහප්ඵලය, අසංඤසත්වය යන භූමිද්වය සමතල ආකාශයෙහි පිහිටා සිටියේය.
වෙහප්ඵලය මත්තෙහි පණස්පන්ලක්‍ෂ අටදහසක් (5508000) යොදුන් ගිය තන්හි අවිහ භූමියද, අවිහ භූමියෙන් එපමණ මත්තෙහි අතප්ප භූමියද, අතප්ප භූමියෙන් එපමණ මත්තෙහි සුදස්ස භූමියද, සුදස්ස භූමියෙන් එපමණ මත්තෙහි සුදස්සී භූමියද, සුදස්සී භූමියෙන් එපමණ මත්තෙහි අකනිටා භූමියද පිහිටියේ වෙයි.
මේ සොළොස් රූපාවචර භූමියෙහි වාසය කරන්නාවූ සත්ත්වයන් අතුරෙන් මහාබ්‍රහ්මයන්ගේ උපස්ථායක පිරිසෙහි හටගත් බැවින් බ්රහමපාරිසජ්ජ නම් බ්‍රහ්මයන්ගේ වාස භූමිය බ්රහ්මපාරිෂද්යය නම් වේ.
ඒ මහා බ්‍රහ්මයන්ගේ අමාත්යස්ථානයෙහි සිටින පුරොහිත බ්‍රහ්මයන්ගේ වාසස්ථානය බ්‍රහ්ම පුරොහිත නම් වේ.
ධ්‍යානාදි ගුණ කරණකොටගෙණ අභිවෘද්ධියටත්, වර්ණවත් බවටත්, දීර්ඝායුෂ්ක බවටත් පත්ව, බ්රහ්මපාරිෂද්යාදීන්ට වඩා මහත්වූ බැවින් මහාබ්‍රහ්ම යයි නම් ලත් බ්‍රහ්මයන්ගේ වාසස්ථානය මහා- බ්‍රහ්ම නම් වේ.
මොවුන් අතුරෙන් මනුෂ්‍ය ලෝකයේදී ප්‍රථමධ්‍යාන මාත්‍රයක් ලබා දැහැනින් නොපිරිහී ගොස් උපදින පුද්ගලයෝ බ්‍රහ්මපාරිෂද්‍ය- යෙහි ද, ප්‍රථමධ්‍යානය ආවර්ජනාදී කීප ආකාරයකින් වසීභූත කොට ගත් පුද්ගලයෝ බ්‍රහ්ම පුරොහිතයෙහි ද, ප්‍රථමධ්‍යානය පඤ්චවසිතාවෙන් පුරුදු කළාවූ පුද්ගලයෝ මහාබ්‍රහ්ම තලයෙහි ද උපදිත්.
මේ තුන් තලයෙහි උපදනා බ්‍රහ්මයෝ එකම රූපාවචර ප්‍රථම ධ්‍යාන විපාක සිතින් ප්රතිසන්ධිය ගෙණ එම සිතම ඔවුන්ට භවඞ්ග, චුති චිත්තයන් වශයෙන් එම භවයේදී පහළ වන්නේය.
මෙසේ ස්වල්ප වූ ආලෝකය ඇති බ්‍රහ්මයෝ පරිත්තාහ නම් බඹලොවද, ප්‍රමාණ රහිත ආලොක ඇති බ්‍රහ්මයෝ අප්පමාණාහ බඹලොවෙහි ද, වලාපටලයකින් නික්මෙන්නාවූ විදුලියක්මෙන් සප්ප්රීතික ධ්‍යානයෙන් හටගත්තාවූ ස්කන්ධයන් ඇතිව, ශරීරප්රභාවය ඔබිමොබ නික්මෙන්නාවූ බ්‍රහ්මයෝ ආභස්සර බඹලොවෙහි ද උපදනාහු වෙත්. මේ සමාන තලත්රය උතුම් ආලොකයෙන් බබලන්නේය. දුතියධ්‍යාන චිත්තය සහ තතියධ්යාන චිත්තයද, පරිත්ත, මධ්‍යම උත්කෘෂ්ට වශයෙන් උපදවා ගත්තාවූ ධ්‍යාන ලාභී පුද්ගලයන් හට මේ බ්‍රහ්ම ලොක තුනෙහි සයාකාරයකින් දුතිය, තතිය ධ්‍යාන විපාක චිත්තයන් පටිසන්ධි, භවඞ්ග, චුති වශයෙන් හටගනිත්.
තතිය ධ්‍යාන භූමි අතුරෙන් පරිත්ත සුභ නම් බඹලොව, සුභ සඞ්ඛ්‍යාත ශරීර ස්වභාවය පරිත්ත වශයෙන් ඇති බ්‍රහ්මයන්ගේ භූමිය වශයෙන් ද, එම ශරීර ස්වභාවය අප්‍රමාණ වශයෙන් ඇති බ්‍රහ්මයන්ගේ වාසස්ථානය අප්පමාණ සුභ යයි ද, ප්‍රභා සමූහය සඞ්ඛ්‍යාත ශෝභාවෙන් ගැවසීගත් හෙයින් සුභ කිණ්හ නම් වූ බ්‍රහ්මයන්ගේ වාසස්ථානය සුභ කිණ්හ යයි ද ව්‍යවහාර වේ. මේ බ්‍රහ්මයන්ගේ ශරීරය උතුම් වූ ප්‍රභාවෙන් බබලන්නේය. චතුර්ථධ්යාන චිත්තය හීන, මධ්‍යම, උත්කෘෂ්ට වශයෙන් වැඩුවාවූ බ්‍රහ්මයෝ මේ සමාන තලයන්හි හෙවත් තතිය ධ්‍යාන භූමිත්‍රයෙහි චතුර්ථධ්යාන විපාක සිතින් පටිසන්ධි ගෙන ඒ සිතම ඔවුන්ගේ භවඞ්ග, චුති චිත්තයන් වශයෙන් පහළ වන්නේය.
ධ්‍යානානුභාවයෙන් හටගත්තාවූ, අනෙකප්‍රකාර විපාක ඵල ඇති බ්‍රහ්මයන්ගේ භූමිය වේහප්ඵල නම් වේ.
සංඥා විරාග භාවනා වශයෙන් හටගත්තාවූ රූපකලාප මාත්‍රයක් ඇති බැවින්ද, සතර අරූප හෙවත් සතර නාමස්කන්ධයක් නැති හෙයින්ද අසංඥසත්ත නම් වේ.
වේහප්ඵලය වනාහි ආර්‍ය්‍ය වූ ද, අනාර්‍ය්‍ය වූ ද, පඤ්චම ධ්‍යාන ලාභී පුද්ගලයන් උපදින භූමියකි. එහි පටිසන්ධි, භවඞ්ග චුති වශයෙන් උපදින්නේ පඤ්චමධ්‍යාන විපාක සිතමය. මෙයින් අසංඥසත්‍වයෙහි උපදනා සත්ත්වයෝ සංඥාවෙහි නො ඇලී වායෝ කසිණය වඩා පඤ්චමධ්‍යානය ලබා එහි විපාක ශක්තියෙන් උපදවන ලද්දාවූ ජීවිත නවක රූපකලාප සමූහයක් වශයෙන් මහාකල්ප පන්සියයක් මුළුල්ලෙහි සන්තතිය නො සිඳී පැවත නිරුද්ධ වන්නාහ.
පඤ්ච සුද්ධාවාස භූමි අතුරෙන් අවිහ යනු මද කලෙකින් අත්නොහරින භූමියක්ය යන අර්ථ ඇති ප්‍රථම සුද්ධාවාස භූමිය වේ.
දෙවෙනි සුද්ධාවාස භූමිය නම්, යම් කිසිවකින් නො තැවෙන යන අර්ථ ඇති අතප්ප නම් භූමිය යි.
තුන්වන තලය වැසි බ්‍රහ්මයෝ අතිශයින් සිත්කලු රූප ඇති බැවින් ද, සුවසේ දැක්කයුතු බැවින් ද සුදස්ස නම් වෙත්.
සතරවන තලය වැසි බ්‍රහ්මයෝ වනාහී අතිශයින් පවිත්‍රවූ චක්ෂුර්විඥාන ඇති හෙයින්ද, රූපාලම්බණය සුවසේ දක්නාසුළු හෙයින්ද, සුදස්සි නම් වෙත්.
පස්වන තලයෙහි වැසි බ්‍රහ්මයෝ අතිශයින් උත්කෘෂ්ට සම්පත්ති ඇති හෙයින් ද, අන්‍ය බ්‍රහ්මයින්ට බාල බවෙක් නැති හෙයින්ද අකණිට්ඨ නම් වෙත්.
මේ භූමි පස, කෙළෙසුන් කෙරෙන් පවිත්‍ර වූ අනාගාමි රහතුන් ගේ වාසභූමි වන හෙයින් සුද්ධාවාස නම් වේ. අනාගාමි ආර්ය්යයෝම පඤ්චමධ්‍යාන විපාක සිතින් මේ පඤ්ච සුද්ධාවාසයන්හි උපදනා හෙයින්, ඒ බ්‍රහ්මයන්ගේ භවඞ්ගසිතත්, චුති සිතත් එයම වන්නේය. මේ ආර්‍ය්‍ය පුද්ගලයන් හට සුද්ධාවාස භූමියෙන් පිටත වාසයක් නැත්තේය. එහිදීම රහත්ව පිරිනිවන් පානාහු වෙති.
රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ත්‍රිහේතුක පෘථග්ජනයා සහ ආර්‍ය්‍ය පුද්ගලයෝ අටදෙනා ද යන පුද්ගලයන් නවදෙනෙක් දක්නා ලැබේ. එයින් ත්‍රිහේතුක පෘථග්ජනයා හට සිත් තෙසාළිසක් (43) ද, සොවාන්, සකෘදාගාමී, අනාගාමි පුද්ගලයන් හට එකුන්සාළිස් (39) සිත් කෙනෙක් ද, රහතන් වහන්සේට පන්තිස් (35) සිත් කෙනෙක් ද පහළ වෙත්.
අසංඥ තලයෙහි එකම සිතක්වත් නැත. එහි කම්ම සමුට්ඨාන ජීවිත නවක කලාපයෙන් පටිසන්ධි ගෙන, ඍතු සමුට්ඨාන සුද්ධාෂ්ඨක කලාපයෙන් හා ලහුතාදී ඒකාදසක කලාප යන රූප කලාප තුන්දෙන සන්තති වශයෙන් මහා කල්ප පන්සියයක් පවත්නාහ.
පඤ්ච සුද්ධාවාසයන්හි අනාගාමි ඵලස්ථයා ය, අර්හත් මාර්ගස්ථ- යා ය අර්හත් ඵලස්ථයා ය යන පුද්ගලයන් තුන් දෙනා දක්නා ලැබේ.