සප්තකාම භූමියෙහි ආයු පරිච්ඡේදය
මනුෂ්‍යයන් හට ඇතැම් කලෙක්හි උත්කෘෂ්ට වශයෙන් ආයු අසඞ්ඛ්‍යයක් ද, යටත්පිරිසෙයින් දස වසක්ද වන හෙයින් මනුෂ්‍යයන් හට නියම වූ ආයු පරිච්ඡේදයක් නැත්තේමය.
භූමාට දෙවියන්ද කුසල කර්මය නොගෙවෙන තාක් කල් ඒ දිව්‍ය ආත්මයෙන් චුතවීමක් නැත්තේය. ඇතැම් භූමාට දෙවියෝ සත් දවසක් පමණද, ඇතැම් දෙවියෝ කල්පයක් පමණද ජීවත් වන හෙයින් භූමාට දෙවියන්ට ද නියම ආයු පරිච්ඡේදයක් නැත්තේය.
චාතුම්මහාරාජිකයට දිව්‍ය ආයු ප්‍රමාණයෙන් අවුරුදු පන්සියයකි. මිනිස් ගණනින් අවුරුදු පනසක් එහි එක් දවසෙකි. තිස්දිනක් එක මසෙකි. දොළොස් මසක් එක් හවුරුද්දෙකි. එවිට චාතුම්මහාරාජික දෙවියන්ට මිනිස් ගණනින් අවුරුදු අනූ (90) ලක්ෂයක් ආයු වන්නේය.
තව්තිසා දෙව්ලොව වැසි දෙවියන් හට මිනිස් ගණනින් අවුරුදු සියයක් එහි එක් දිනයකි. මේ ගණනින් අවුරුදු දහසක් එහි ආයුෂ වේ. එවිට මිනිස් ගණනින් තුන්කෝටි සැට ලක්ෂයක් අවුරුදු තව්තිසා වැසි දෙවියන්ට ආයු වන්නේය.
යාම දෙව්ලොව වාසි දෙවියන් හට මිනිස් ගණනින් දෙසිය වසක් එහි එක් දිනයකි. ඒ ගණනින් අවුරුදු දෙදහසක් එහි ආයුෂ වේ. එවිට මිනිස් ගණනින් තුදුස්කොටි (14 කෝටි) සතළිස් (40) ලක්ෂයක් අවුරුදු එහි ආයුෂ වන්නේය.
තුසිත දිව්‍ය ලෝකයෙහි වැසි දෙවියන්හට මිනිස් ගණනින් අවුරුදු සාරසියයක් (400) එහි එක් දවසකි. ඒ ගණනින් සාරදහසක් (4000) අවුරුදු එහි ආයුෂ වේ. මිනිස් ගණනින් අවුරුදු සත්පණස් (57) කොටි සැට ලක්ෂයකි.
නිම්මාණරතී නම් දිව්‍යලෝක වාසී දෙවියන්හට මනුෂ්‍ය ගණනින් අටසියයක් අවුරුදු එහි එක් දිනයකි. එම ගණනින් අට දහසක් අවුරුදු නිම්මාණරතී දෙවියන්ගේ ආයුෂ වන්නේය. එය මනුෂ්‍ය ගණනින් අවුරුදු දෙසිය තිස්කෝටි (230 කෝටි) සතළිස් (40) ලක්ෂයක් වේ.
පරනිම්මිත වසවත්ති දෙව්ලොව වැසි දෙවියනට මිනිස් ගණනින් අවුරුදු එක්දහස් සසියයක් (1600) එහි එක් දවසකි. එම ගණනින් පරනිම්මිත වසවත්ති දෙවියන්ගේ ආයුෂ අවුරුදු සොළොස් දහසකි. මනුෂ්‍ය ගණනින් එය නවසිය එක්විසි (921) කෙළ සැටලක්ෂයක් අවුරුදු වෙත්.