අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාම සුගති භූමි

කාම සුගති භූමි සත් වැදෑරුම් වේ. එනම්:-

මනුෂ්‍ය භූමිය

චාතුම්මහාරාජිකය

තාවතිංසය

යාමය

තුසිතය

නිම්මාණරතිය

පරනිම්මිත වසවර්තිය

මනුෂ්‍ය භූමි: පන්සියයක් පමණ කුඩා දිවයින් පිරිවර කොට ඇත්තාවූ පූර්ව විදේහය, අපරගොයානය, උතුරුකුරු දිවයින, ජම්බුද්වීපය යන සතර මහාද්වීපයෝ මනුෂ්‍ය භූමි නම් වේ. දිව්‍ය භූමියෙහි වසන්නාවූ දේව සමූහයාට පමණ ප්‍රණීත වූ, විශිෂ්ට වූ පඤ්චකාම සම්පතක් නැතත්, උපසම්පදා ආදී ශ්‍රේෂ්ඨ ශීලයන් රැකීමට අවකාශ ඇති හෙයින්ද, නොයෙක් ගුණයෙන් උතුම් වන හෙයින් ද, අතිශයින් උත්තම වූ සති, ප්‍රඥා ආදී අනන්ත ගුණයන්ට පැමිණියාවූ සම්මා සම්බුද්ධ, පච්චෙකබුද්ධ, අග්‍රශ්‍රාවක, මහා ශ්‍රාවකයන් වහන්සේ ලා ඇතිවන හෙයින් ද, උත්සන්න වූ සිතක් ඇත්තේය යන අර්ථ යෙන් ද මනුෂ්‍ය නම් වන්නේය.

චාතුම්මහාරාජික භූමිය: මෙය මනුෂ්‍ය භූමියට දෙසාළිස් (42) දහසක් යොදුන් උස්ව පිහිටා ඇත. එහි නොයෙක් ආකාරයෙන් නොයෙක් තන්හි පිහිටියාවූ නොයෙක් විමානයන්ද ඇත්තාහ. BB නොයෙක් පර්වත, ගඞ්ගා, සමුද්‍ර, වෘක්ෂාදිය ආශ්‍රය කොටගෙණ වසන්නා වූ සියළු භූමස්ථ දෙවියෝ ද මේ චාතුම්මහාරාජිකයටම ඇතුළත් වෙති. දුර්වල දුහේතුක කාමාවචර කුසල කර්මයාගේ බලයෙන් අහේතුක කුසල විපාක සන්තීරණ සිතින් පටිසන්ධිය ගත්තා වූ භූමිනිශ්‍රිත විනිපාතික අසුර යයි කියන ලද්දා වූ ඤාති ප්‍රේත සමූහයා ද, කුසල කර්මානුභාවයෙන්ම උපන් හෙයින් අපායෙහි ඇතුළත් නො කොට හැකි වේ. මනුෂ්‍ය යෝනියෙහි නූපන් හෙයින් මනුෂ්‍ය භූමියටද ඇතුළත් විය නොහැකියි. ඒ හෙයින් ඔවුන් චාතුම්ම හාරාජිකයටම ඇතුළත් කරනු ලැබේ.

තවද, සතරවරම් රජදරුවන්ට ගෞරව කටයුතු හෙයින් ද, සතරවරම් රජදරුවන්ගේ වාසස්ථාන වූ හෙයින් ද චාතුම්මහාරාජික නම් වේ.

තාවතිංසය: මඝමානවකයා ප්‍රධානකොට ඇත්තා වූ, එක්ව පින් කම් කළා වූ තෙතිස් දෙනාගේ උත්පත්තිස්ථාන වූ හෙයින් තෙත්තිංස යයි ද, තාවතිංස යයි ද, තව්තිසා යයි ද ව්‍යවහාර කරණු ලබන මේ දිව්‍ය භූමිය චාතුම්මහාරාජිකයට යොදුන් දෙසාළිස් දහසක් (42000) උසින් පිහිටා ඇත.

යාමය: දුකින් පහවූ ස්ථානය යන අර්ථයෙන් යාමය නම් වූ මේ දෙව්ලොව තාවතිංසයට යොදුන් දෙසාළිස් දහසක් (42000) උසින් පිහිටා තිබේ.

තුසිතය: තමන්ගේ ශ්‍රී සම්පත්තිය කරණකොට ගෙණ ප්‍රීතියට පැමිණියා වූ දෙවියන්ගේ වාසස්ථානය යන අර්ථ ඇති මේ දෙව් ලොව යාමයට දෙසාළිස් දහසක් (42000) යොදුන් මතුයෙහි පිහිටා තිබේ.

නිම්මාණරතිය: තමන් විසින් නිර්මිත කරගන්නා ලද්දා වූ ශ්‍රී සම්පත්තියෙහි ඇලෙන හෙයින් එහි වසන දෙවියෝ නිම්මාණරති නම් වෙත්. මේ නිම්මාණරතිය නම් දෙව්ලොව තුසිතයට යොදුන් දෙසාළිස් දහසක් (42000) මතුයෙහි පිහිටා ඇත.

පරනිම්මිත වසවත්තිය: අනුන් විසින් නිර්මිත කරණ ලද්දා වූ ශ්‍රී සම්පත්තිය තමාගේ වසඟයට පමුණුවාගෙණ වසන හෙයින් පරනිම්මිත වසවත්ති නම් වේ.

මේ මනුෂ්‍ය ලොකයත්, සදෙව්ලොවත් යන සප්ත භූමීහු, නොයෙක් සම්පත්තියට ආධාර ස්ථාන වූ හෙයින් ද, සෝභන නම් වූ කාමාවචර මහා කුසල කර්මයන්ගේ හේතුවෙන් පැමිණිය යුතු හෙවත් පටිසන්ධිය ලැබිය යුතු හෙයින් ද, කාම සුගතිය යයි නම් ලැබේ.

මේ සප්ත කාම සුගති භූමි අතුරෙන් මනුෂ්‍ය භූමිය සහ චාතුම්ම හාරාජික භූමිය යන භූමි දෙකෙහි දුගති අහේතුක පුද්ගලයා හැර අන්‍යවූ එකොළොස් පුද්ගල කෙනෙක් පහළ වන්නාහ. එනම්:සුගති අහේතුක, දුහේතුක, ත්‍රිහේතුක පෘථග්ජන යන තිදෙනා ද, ආර්‍ය්‍ය පුද්ගල අටදෙනා ද වෙත්.

ජාත්‍යන්ධාදී අඞ්ග විකලත්වය ඇතිව උපදනා සත්ත්වයන්ට ද, විනිපාතික අසුරයන්ට ද, අහේතුක කුසල විපාක උපෙක්ඛා සහගත සන්තීරණ චිත්තය පටිසන්ධි, භවඞ්ග, චුති වශයෙන් එම භවයේදීම හටගන්නේ ය. කාමාවචර මහා කුසල් සිත් අටේ හේතුවෙන් ලබන්නාවූ මහා විපාකයෝ අටදෙනා, සප්ත කාම භූමියෙහිම පටිසන්ධි භවඞ්ග චුති වශයෙන් පහළ වී නොයෙක් සැප සම්පත් සාදා දෙන්නාහ.

කාම සුගතියෙහි උපදින්නාවූ පළමු කියන ලද පුද්ගලයන් එකොළොස්දෙනා අතුරෙන් සුගති අහේතුක පුද්ගලයාහට, දොළොස් අකුසල චිත්තය, හසිතුප්පාද ය හැර ඉතිරි අහේතුක සතොළොසය (17), මහා කුසල් අටය, ඤාණවිප්‍රයුක්ත මහා විපාක සතරය යන එක්සාළිස් (41) සිත් ලැබෙන්නාහ.

දුහේතුක පුද්ගලයා හට ද එම සිත් එක්සාළිසම (41) ලැබේ.

ත්‍රිහේතුක පුද්ගලයන් අතුරෙන් ධ්‍යාන නොලැබූ ත්‍රිහේතුක පෘථග්ජන පුද්ගලයා හට, දොළොස් අකුසල් සිත්ය, හසිතුප්පාදය හැර ඉතිරි අහේතුක සතොළොසය (17), මහා කුසල් අටය, මහා විපාක අටය යන පන්සාළිස් (45) සිත් ලැබෙන්නාහ.

ධ්‍යාන ලාභී ත්‍රිහේතුක පෘථග්ජන පුද්ගලයා හට වනාහි ඉහත සඳහන් පන්සාළිස් (45) චිත්තයන් හා මහග්ගත කුසල් නවයද යන සිත් සූපනස (51) ලැබේ.

මේ ක්‍රමයෙන් ශුෂ්ක විදර්ශක සෝතාපත්ති ඵලස්ථ පුද්ගලයා හට සිත් එක්සාළිසක් (41) ද, සමථයානික සෝතාපත්ති පුද්ගලයාහට සිත් පනසක්ද, ශුෂ්ක විදර්ශක සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා හට එක්සාළිස් (41) සිත් කෙනෙක් ද, සමථයානික සකෘදාගාමි පුද්ගලයා හට පනස් සිත් කෙනෙක් ද, ශුෂ්ක විදර්ශක අනාගාමි ඵලස්ථ පුද්ගලයා හට එකුන්සාළිස් (39) සිත් කෙනෙක් ද සමථයානික අනාගාමි ඵලස්ථ පුද්ගලයා හට අටසාළිස් (48) සිත් කෙනෙක් ද, ශුෂ්ක විදර්ශක අර්හත් ඵලස්ථ පුද්ගලයාහට පන්තිස් (35) චිත්තයෙක් ද, සමථයානික අර්හත් ඵලස්ථ පුද්ගලයාහට සූසාළිස් (44) සිත් කෙනෙක්ද ලැබෙන්නාහ.

මේ දොළොස් පුද්ගලයන් අතුරෙන් සතර මාර්ගස්ථ පුද්ගලයන් හට තම තමන්ගේ මාර්ග සිත පමණක් ලැබෙන බව දත යුතුයි. මාර්ගස්ථ පුද්ගලයා යයි කී කල්හි මාර්ගක්ෂණයෙහි සිටි පුද්ගලයා ගතයුතුයි. මාර්ගක්ෂණයට අනතුරුව අතරක් නැතිව ඵල සිත පහළවන බැවින්, මාර්ගස්ථ පුද්ගලයෙක් ඇසට හමු නොවේ. ඇසට හමුවන්නේ ඵලස්ථයා ම ය.

මාර්ගස්ථ පුද්ගලයා හට දන් දෙනු කැමැත්තේ නම් මාර්ගයටය පැමිණි අවස්ථාවේදි දන් දිය නොහැකි වේ. නමුත් යමෙක් මස්තකප්‍රාප්ත විදර්ශනා ඇති යෝගාවචරයා හට නිරන්තරයෙන් දන් දෙන්නේවී නම් ඔහුගේ දානය වළඳා භාවනා වඩන්නාවූ කල්හි මාර්ගය ප්‍රත්‍යක්ෂ කෙළේවී නම් ඒ මාර්ගස්ථයා හට දන් දුන්නේ නම් වන්නේය.

තවද මේ මාර්ග ඵලස්ථ පුද්ගලයන් අතුරෙන් සමථයානික සෝවාන් පුද්ගල තෙමේ, ඉදින් මේ භවයේදීම ඉතිරි මාර්ගඵල නොලබන්නේ නම් කාම භවයෙහි එක් වරක්වත් පටිසන්ධි නො ගෙණ රූපාරූප භූමියෙහි හෝ රහත්ව හෝ නිවන් දක්නේය. එසේ හෙයින් සමථයානික සෝවන් පුද්ගලයාගේ ප්‍රභේද නැත්තේය. ශුෂ්ක විදර්ශක සොවාන් පුද්ගලයෝ වනාහි ත්‍රිවිධාකාර වෙත්.

එනම්:-

  1. ඒකබීජ සොතාපන්න පුද්ගලයා ය.
  2. කොලංකොල සොතාපන්න පුද්ගලයා ය.
  3. සත්තක්ඛත්තු පරම සොතාපන්න පුද්ගලයා ය.

සොවාන් වීමට අනතුරුව මේ මනුෂ්‍ය ලොකයෙහි හෝ දිව්‍ය ලොකයෙහි හෝ එක්වරක්ම පටිසන්ධි ගෙන ඒ අනතුරු අත් බැව්හිම රහත්ව නිවන් දක්නා පුද්ගලතෙමේ එකම ප්‍රතිසන්ධි බීජයක් ඇති පුද්ගලයෙක් හෙයින් ඒකබීජ සොතාපන්න පුද්ගලයා නම් වන්නේය.

සොවාන් වීමට අනතුරුව මේ මනුෂ්‍ය භූමියෙහි හෝ දිව්‍ය ලොකයන්හි හෝ දෙව් මිනිස් දෙගතියෙහි හෝ සයවර දක්වා පටිසන්ධි ගෙන, සවෙනි ආත්මභාවයේදී අර්හත් ඵලය ලබා නිවන් දක්නා පුද්ගලතෙමේ කොලංකොල සොතාපන්න පුද්ගලයා නම් වන්නේය.

සොවාන් ඵලයට පැමිණීමට අනතුරුව දෙව් මිනිස් දෙගතියෙහි සත්වරක් පටිසන්ධි ගෙන, සත්වෙනි අත්බැව්හි රහත්ව නිවන් දක්නා පුද්ගල තෙමේ සත්තක්ඛත්තු පරම සොතාපන්න පුද්ගලයා නම් වන්නේය. සොවාන් ඵලස්ථ පුද්ගලයා හට කාම භවයෙහි අට වැනි උත්පත්තියක් නම් නැත්තේය. නමුත් මනුෂ්‍ය ලොකයෙහි සොවාන් ඵලයට පැමිණ ප්‍රථමධ්‍යානය උපදවාගෙන බ්‍රහ්මපාරිෂද්‍ය නම් බඹලොව ඉපිද, ක්‍රමයෙන් ඉතිරි බ්‍රහ්ම ලෝක වලද උත්පත්තිය ලබා අනාගාමීව, පඤ්චසුද්ධාවාස බ්‍රහ්ම ලෝක යන්හි ක්‍රමයෙන් ඉපිද, අකණිට්ඨ බඹලොව දී රහත්ව පිරිනිවන් පානට ද හැකි වේ.

සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයන් අතුරෙන් සමථයානික පුද්ගල තෙමේ මනුෂ්‍ය ලොකයෙහි හෝ දිව්‍ය ලොකයෙහි හෝ එක්වරක්වත් පිළිසිඳ නොගෙන, කැමැතිනම් ඒ භවයේදී රහත්ව නිවන් දැකීමට හෝ රූපාරූප භූමියෙහි හෝ ඉපිද එහිදී රහත් වන්නට හෝ සමත් වේ. එබැවින් මේ පුද්ගලයාගේ ප්‍රභේදයක් නම් නැත්තේය.

ශුෂ්කවිදර්ශක සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයන් අතුරෙන්—

  1. මේ මනුෂ්‍ය භූමියේදීම සකෘදාගාමි ඵලයට පැමිණ මෙහිදීම අර්හත් ඵලය ලබන්නාවූ එක් පුද්ගලයෙක් ද,
  2. දිව්‍යලෝකයේදී සකෘදාගාමීව දිව්‍ය ලෝකයෙහිදීම රහත්ව නිවන් දක්නා එක් පුද්ගලයෙක් ද,
  3. මනුෂ්‍ය ලෝකයේදී සකෘදාගාමි ඵලයට පැමිණ එක් වරක් දිව්‍යලෝකයෙහි පටිසන්ධි ගෙණ එහිදී රහත්ව නිවන් දක්නා එක් පුද්ගලයෙක් ද,
  4. දෙව්ලොවදී සකෘදාගාමි ඵලයට පැමිණ නැවත එක් වරක් මිනිස් ලොව ඉපිද රහත්ව නිවන් දක්නා එක් පුද්ගලයෙක් ද,
  5. මිනිස් ලොවදී සකෘදාගාමි ඵලයට පැමිණ, දෙව්ලොවෙහි එක්වරක් ඉපිද, එයින් චුතව නැවත මිනිස් ලොව ඉපිද රහත්ව නිවන් දක්නා එක් පුද්ගලයෙක්දැ යි ශුෂ්කවිදර්ශක සකෘදාගාමි පුද්ගලයෝ පස්දෙනෙක්ම වන්නාහ.

අනාගාමි ඵලස්ථ පුද්ගලයන් අතුරෙන් සමථයානික අනාගාමි පුද්ගලතෙමේ දෙව් මිනිස් ලොව එක් වරක් වත් ප්‍රතිසන්ධි නො ගෙණ මේ භවයේදී රහත්ව නිවන් දැකීම හෝ රූපාරූප භූමියට පැමිණ රහත්වීම හෝ සිදුකර ගන්නේය. එහෙයින් මේ පුද්ගල යාගේ ප්‍රභේදයක් නම් නැත්තේය.

ශුෂ්ක විදර්ශක අනාගාමි පුද්ගලයන් අතුරෙන්—

  1. අන්තර පරිනිබ්බායි නම් පුද්ගලතෙමේ, පඤ්ච සුද්ධාවාස යන් අතුරෙන් යම් භූමියක පිළිසිඳගෙණ එහි නියමිත ආයු නො වළඳා පූර්වභාගයේදීම රහත්ව නිවන් දක්නේය.
  2. උපහච්චපරිනිබ්බායී නම් පුද්ගලතෙමේ, සුද්ධාවාසයෙක්හි ඉපිද එහි ආයු කෙළවරදී රහත්ව නිවන් දක්නේය.
  3. අසංඛාර පරිනිබ්බායි නම් පුද්ගල තෙමේ, සුද්ධාවාස යෙක්හි ඉපිද විදසුන් වැඩීමෙහි උත්සාහවත් නොවී රහත්ව නිවන් දක්නේය.
  4. සසංඛාර පරිනිබ්බායි නම් පුද්ගල තෙමේ, සුද්ධාවාසයෙක්හි ඉපිද විදසුන් වැඩීමෙහි උත්සාහවත්වී රහත් බැව් ලබා නිවන් දක්නේය.
  5. උද්ධංසෝත අකණිට්ඨගාමී පුද්ගල තෙමේ, කාම භවයෙන් එතරව අවිහ නම් සුද්ධාවාස භූමියෙහි ඉපිද එහි කැමැතිතාක් කල් වැස, අතප්ප, සුදස්ස, සුදස්සි, අකණිට්ඨ යන සතර සුද්ධාවාස තලයන් හිද ක්‍රමයෙන් ඉපිද, අකණිට්ඨ බඹලෙව්හිදී රහත්ව නිවන් දක්නේය.

මෙසේ ශුෂ්කවිදර්ශක අනාගාමී පුද්ගලයෝ පස්දෙනෙක් වෙති.

අර්හත් ඵලස්ථ පුද්ගලයෝ සමථයානික, ශුෂ්කවිදර්ශක යයි දෙවැදෑරුම් වුවත්, සියළු කෙලෙසුන් නැසූ හෙයින් එම භවයෙන් චුතව අන් භවයක ප්‍රතිසන්ධි ගැණීමක් නැති හෙයින් ඒ දෙදෙනා වහන්සේගේ විශේෂයක් නම් නැත්තේය.