අසුර භූමිය
ඓශ්වර්‍ය්‍ය ක්‍රීඩා ආදියෙන් බැබැළීමක් නැති, සුර නොවූවෝ අසුර නම් වෙති. අසුරයෝ කොටස් පසෙකි. එනම්:—දේව අසුර, විනිපාතික අසුර, වේමානික අසුර, ලෝකාන්තරික අසුර, සහ ප්‍රේත අසුරයෝ යි. මෙයින් ප්‍රේත අසුරයෝ පමණක් සතර අපායට ඇතුළත් වෙති. සම්පත්තියෙන් දෙවියන් හා සමාන වූ වේපචිත්ති, පහාරාදී අසුරයෝ දේව අසුර සඞ්ඛ්‍යාවට ගැණෙත්. මොව්හු දෙවියන්ට සතුරුය. මේ දේව අසුරයෝ දුහේතුක කාමාවචර මහා විපාක සිතකින් පටිසන්ධිය ලැබූයේ වීනමුත්, ප්රවෘත්ති කාලයේ දී ත්‍රිහේතුක මහා විපාක ලබන්නාවූ දෙවියන්ට බඳු පස්කම් සැප අනුභව කරණ හෙයින් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි ඇතුළත් වෙති. නමුත් ඔවුන්ට, ත්‍රිහේතුක පටිසන්ධිය ලැබූ දෙවියන්ට මෙන් ධ්‍යාන මාර්ග ඵලාදිය නොලැබේ.
පියඞ්කර මාතු, උත්තර මාතු ආදීහු විනිපාතික අසුරයෝයි. යමරජු ආදීහු වේමානික අසුරයෝ යි. ලෝකාන්තරික නරකයෙහි වසන අසුරයෝ ලෝකාන්තරික අසුරයෝ යි. ප්‍රේත අසුරයෝ නම් කාලකඤ්ජික ප්රේතයෝමය. මේ අසුරයෝද අපායට ඇතුළත් වෙති. මෙයින් විනිපාතික සහ වේමානික අසුරයන් චාතුම්මහාරාජි කයට ද ලෝකාන්තරික අසුරයන් නිරයටද ගැණෙත්.
මේ අපාය සතර අතුරෙන්, තිරිසන්, ප්‍රේත සහ අසුරයින්ට නියම භූමි නැත. ඔවුන්ගේ ස්කන්ධයෝම, ඔවුන්ට භූමි වෙත්. එබැවින් මේ තිරිසන්, ප්‍රේත සහ අසුරයෝ වාසය කරන්නාවූ ස්ථාන කෙසේ වෙතත් ඔවුන්ගේ පඤ්චස්කන්ධයෝම තිරිසන් භූමි ප්‍රේත භූමි සහ අසුර භූමියයි සළකනු ලැබේ. අපාය පටිසන්ධිය ලැබූ මේ තිරිසන් ආදී සතුන් රජ මාලිගය ආදින්හි හෝ වෘක්ෂ, වන, පර්වත, ගඞ්ගා මහා සමුද්රාදීන්හි හෝ, කුණු කසල, අසූචියෙහි හෝ වෙසෙතත්, එකම අහේතුක අකුසල විපාක ප්රතිසන්ධියකින්ම පිළිසිඳ ගත් සත්ත්වයෝ මය.
සතර අපාය භූමියෙහි වාසය කරන්නාවූ සත්ත්ව ජාතින්ගේ සඞ්ඛ්‍යාව අනන්තය, අප්‍රමාණය, අචින්තිය. උද්ධච්ච සම්ප්‍රයුක්ත අකුසල චිත්තය හැර සෙසු එකොළොස් අකුසල කර්මයන්ගේ ශක්තියෙන්ම අපායෙහි පහළ වන්නාවූ අනෙකප්‍රකාර ශරීර සටහන් ඇත්තා වූ මේ සත්ත්වයන් අතර, සත්සියයක් යොදුන් දිග ඇත්තාවූ ආනන්ද නම් මත්ස්යාදී මහත් ආත්මභාව ඇත්තාවූ සත්ත්වයෝද, මසැසට නොපෙනෙන්නාවූ කුඩා සත්ත්වයෝද, අපාද, ද්විපාද, චතුප්පාද, බහුප්පාද සත්ත්වයෝ ද, ඒ ඒ යොනියට සුදුසු පරිදි උපදනාහුය. එ සත්ත්වයන්ගේ නාම කාය, උපෙක්ඛා සහගත සන්තීරණ සිතින් ද, රූප කාය යෝනියෙන් ද හටගන්නා බැවින් ඒ ඒ යොනියෙහි ඇත්තාවූ ස්වභාවයෙන් ම ඒ ඒ සත්ත්වයන් ගේ ශරීර සටහන් ආදිය හටගන්නේය. මොවුන්ගේ භවඞ්ග චුති චිත්තයෝ ද එම උපෙක්ඛා සන්තීරණ සිත ම ය. මොවුන් ට ලැබෙන්නා වූ සිත් සත්තිසකි (37) එනම්:—
- අකුසල් සිත් 12 හසිතුප්පාදය හැර අහේතුක සිත් 17 මහා කුසල් සිත් 8 37
තවද යම් යම් අපායයන්හි ආයු ප්‍රමාණය සඳහන්වී ඇතත්, එහි උපන්නාවූ සත්ත්වයන්ගේ අකුසල කර්මය යම්තාක් නොගෙවේ නම්, ඒතාක් අපායයෙන් චුත නොවන බව දත යුතුයි. තිරිසන් ආත්මයෙහි උපන්නාවූ සත්ත්වයන් අතර කල්පායුෂ්ක වූ මහා නාගරාජයෝ ද, වැසිකිළි, කුණු කසළ ආදියෙහි උපන්නාවූ සත් දිනකට වඩා ආයුෂ නැත්තා වූ පණු ආදී සත්ත්ව වර්ගයෝ ද ඇත්තාහ.
තවද, සතර අපායෙහි උපදනා සත්ත්වයන් අතුරෙන් නරකයන්හි පහළ වන්නා වූ සත්ත්වයෝ ඕපපාතිකවම පහළ වන්නාහුය. ඔවුන්ගේ ඕපපාතික ප්රතිසන්ධික්ෂණයේදී ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණය හා සමගම චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, භාව වස්තු සඞ්ඛ්‍යාත සප්ත දශක රූප කලාප පහළ වෙත්. එයින් ඇතැම් සත්ත්වයන්ට ඇතැම් විටෙක චක්ඛු, සෝත, භාව දශක පහළ නොවෙත්. ඝාණ ප්‍රසාදය නැත්තා වූ නරකවාසි සත්ත්වයෙක් නම් නැත්තේය.
තිරිසන් යෝනියෙහි උපදනා සත්ත්වයන් කෙරෙහි අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ, ඕපපාතික යන සතර යෝනියටම ඇතුළත් සත්ත්වයෝ ඇත්තාහ.
ප්‍රේතයන් අතර නිජ්ඣාමතණ්හික නම් ප්‍රේත යෝනියෙහි එකම ඕපපාතික ප්‍රතිසන්ධියක් ම ලැබෙන්නේය. සෙසු ප්‍රේතයන් අතර සතර යෝනියටම අයත් සත්ත්වයෝ ඇත්තාහ.
නරකයෙහි උපදනා සත්ත්වයන්ගේ කර්මජ තේජෝ ධාතුව අධික හෙයින්, ඕපපාතිකවම මිස, අණ්ඩජ, ජලාබුජ, සංසෙදජ යන යොනිත්රය නොලැබෙන්නේය.