ආයුක්ෂය මරණය
ඒ ඒ සත්ත්ව නිකායට හෙවත් ඒ ඒ ලෝකවල උපන් සත්ත්ව යන් හට ජීවත් විය හැකි ඉතාම ඉහළ කාල පරිච්ඡේදයට ආයුෂ යයි කියනු ලැබේ. මනුෂ්‍යයන්ගේ පරමායුෂය ද ඒ ඒ කාලයන්හි සෘතු ආහාරාදීන්ගේ වෙනස්වීම අනුවම අඩු වැඩි වන්නේය. පටිසන්ධිය ලත් තැන් පටන් හෙවත් ප්රතිසන්ධි චිත්තයාගේ උත්පාදක්ෂණයේ පටන් හැම චිත්තක්ෂණයක් පාසාම උපදිමින් සතළොස් (17) චිත්තක්ෂණයකින් නිරුද්ධ වෙමින් පවත්නාවූ ද, කම්ම, චිත්ත, සෘතු, ආහාර, යන සතර ප්‍රත්‍යයන් විසින් උපදවන ලද රූප සන්තතිය, ආයුෂයාගේ පිරිහීමත්, සමඟම පිරිහෙන්නේය. ආයුෂයාගේ කෙළවරදී කම්ම, චිත්ත, ආහාර යන ප්රත්යයන්ගෙන් හට ගන්නා රූප සමූහය එම ප්‍රත්‍යයන්ගේ අභාවය කරණකොට ගෙන හට නොගනී. ඒ නිසාම දුබලවූ වස්තු ද්වාරයන් හේතු කොටගෙණ එම සන්තානයෙහි උපදනා චිත්ත පරම්පරාවද දුබලවී චුති චිත්තයාගේ භඞ්ගක්ෂණය හා සමඟ භවය කෙළවර වන්නේය. මෙසේ නාම රූප දෙදෙනාගේ බිඳිමෙන් මරණය සිදුවී රූපස්කන්ධය මෘත ශරීර බවට පැමිණ සෘතුජ රූපයන්ගේ උපකාරයෙන් ටික කලක් පව තින්නේය.
ප්රතිසන්ධි ජනක කර්මයාගේ ශක්තියෙන් අවුරුදු දහස් ගණන් වුවත් ජීවත් වන්නට හැකි නමුත්, ආයුෂයාගේ පිරිහීමෙන් ම සිදු වන්නාවූ මරණයට ආයුක්ෂය මරණය යයි කියනු ලැබේ. ඒ සත්ත්ව නිකායයට අයත් ආයුෂයාගේ ගෙවීමට කාලය පැමිණිමෙන් සිදු වන්නාවූ මේ මරණය කාල මරණයට ඇතුළත් වේ.