අරූපාවචර කුසල කර්ම
අරූපාවචර කුසල කර්මයෝ ආකාසානඤ්චායතනාදී වශයෙන් සතර වැදෑරුම් වෙත්. රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා ගත් පුද්ගල තෙමේ රූප ධර්මයෙහි ආදීනව දැක හෙවත් රූපය ඇති කල්හිම නොයෙක් ශාරීරික දුක්ඛයන්ට භාජන වන බව සලකා එයින් මිදීම පිණිස කසිණුග්ඝාටිමාකාස ප්රඥප්ත්යාදීන් අරමුණු කොට ගෙණ අරූපධ්‍යානයන් උපදවත්. මෙසේ ධ්‍යාන වඩන්නාවූ කර්මවාදී ක්‍රියාවාදී තීර්ථකයෝ ද, සම්යග්දෘෂ්ටිකයෝද මරණින් මතු අරූපාවචර විපාක සිතකින් අරූප තලයෙහි සතර නාමස්කන්ධයෙන් පමණක් ප්රතිසන්ධිය ලබන්නාහ.
මෙකී පුද්ගලයෝ අරූපධ්‍යාන වඩා, ආකාශානඤ්චායතන කුසලය කරණකොටගෙණ මහා කල්ප විසිදහසකට ආයු ඇති ආකාසානඤ්චායතන භූමියෙහි ද, විඤ්ඤාණඤ්චායතන කුසලය හේතුකොටගෙණ මහා කල්ප සතළිස් දහසකට (40000) ආයු ඇති විඤ්ඤාණඤ්චායතන භූමියෙහි ද, ආකිඤ්චඤ්ඤායතන කුසල කර්මය හේතුකොටගෙණ මහා කල්ප සැට දහසකට ආයු ඇති ආකිඤ්චඤ්ඤායතන භූමියෙහි ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන කුසල කර්මය හේතුකොට ගෙණ මහාකල්ප සූවාසූ දහසකට (84000) ආයු ඇති නේවසඤ්ඤානාසඤ්ඤායතන භූමියෙහි ද පටිසන්ධි ගන්නාහ.
රූපාරූප භූමිවල පටිසන්ධි ගත් ආර්‍ය්‍යයෝ යට යට බ්‍රහ්ම ලෝකයන්හි නුපදිත්.
වෙහප්ඵලය, අකණිට්ඨය, නේවසඤ්ඤානාසඤ්ඤායතනය යන බඹතල තුන ආර්‍ය්‍යයන්ගේ භවාග්ර වශයෙන් සළකණු ලැබේ. එකී තලයන්හි උපන් ආර්‍ය්‍යයෝ එහිදීම රහත්ව පිරිනිවන් පානා හෙයිනි.
පඤ්ච සුද්ධාවාසයන්හි අනාගාමි රහත් පුද්ගලයන් හැර අන්‍ය පුද්ගලයෙක් නොදක්නා ලැබේ.