අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූපාවචර කුසල කර්ම

රූපාවචර කුසල කර්මයෝ ප්‍රථමධ්‍යානාදි වශයෙන් පඤ්ච විධ වෙත්. ධ්‍යාන වඩන්නාවූ පුද්ගලයෝ පරිත්ත, මධ්‍යම, ප්‍රණීත, යන ත්‍රිවිධාකාරයෙන් ධ්‍යාන වඩති.

මතු මතු ධ්‍යාන සඳහා ප්‍රත්‍ය වන්නට අසමර්ථවූද, හීනවූ ඡන්ද, චිත්ත විරිය විමංසාදියෙන් යුක්තවූද, ධ්‍යාන මාත්‍රයක් පමණක් වැඩීම පරිත්ත වශයෙන් ධ්‍යානය වැඩීම නම් වේ.

මධ්‍යමවූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාදියෙන් යුක්තව වැඩීම මධ්‍යම වශයෙන් ධ්‍යානය වැඩීම නම් වේ.

ප්‍රණීතවූ ඡන්ද, චිත්ත, විරිය, වීමංසාදියෙන් යුක්තව පඤ්ච වසිතාවෙන් පුරුදු කොට වැඩීම ප්‍රණීත වශයෙන් ධ්‍යානය වැඩීම නම් වේ.

පරිත්ත වශයෙන් ප්‍රථමධ්‍යානය වඩනලද පුද්ගල තෙමේ ධ්‍යානයෙන් නොපිරිහී කාලක්‍රියා කෙළේ වී නම්, අසඞ්ඛ්‍ය කල්පයක් හුගේ තුනෙන් කොටසකට ආයු ඇති බ්‍රහ්ම පාරිෂද්‍ය නම් බඹ ලොව පටිසන්ධි ගන්නේය.

ප්‍රථමධ්‍යානය මධ්‍යම වශයෙන් වැඩු පුද්ගල තෙමේ මරණින් මතු අර්ධ අසඞ්ඛ්‍ය කල්පයකට ආයු ඇති බ්‍රහ්ම පුරෝහිත භූමියෙහි පටිසන්ධි ගන්නේය.

ප්‍රණීත වශයෙන් ප්‍රථමධ්‍යානය වැඩු පුද්ගල තෙමේ අසඞ්ඛ්‍ය කල්පයකට ආයුෂ ඇති මහා බ්‍රහ්ම භූමියෙහි පටිසන්ධි ගන්නේය.

ද්විතීය තෘතීය ධ්‍යානයන් පරිත්ත වශයෙන් වැඩු පුද්ගලයෝ මර ණින් මතු මහා කල්ප දෙකකට ආයු ඇති පරිත්තාභයෙහිද, මධ්‍යම වශ යෙන් වැඩු පුද්ගලයෝ මහා කල්ප සතරකට ආයු ඇති අප්පමාණාභ යෙහිද, ප්‍රණීත වශයෙන් වැඩු පුද්ගලයෝ මහා කල්ප සතකුත් එක් අසංඛ්‍ය කල්පයකට ආයු ඇති ආභස්සරයෙහිද උපදින්නාහ.

චතුර්ථධ්‍යානය පරිත්ත වශයෙන් වැඩීමෙන් මහා කල්ප සොළොසකට ආයු ඇති පරිත්ත සුභයෙහි ද, මධ්‍යම වශයෙන් වැඩීමෙන් මහා කල්ප දෙතිසකට (32) ආයු ඇති අප්පමාණසුභයෙහි ද, ප්‍රණීත වශයෙන් වැඩීමෙන් තෙසැට (63) මහා කල්පයකුත් එක් අසඞ්ඛ්‍ය කල්පයකට ආයු ඇති සුභකිණ්හයෙහි ද උපදින්නේය.

පඤ්චමධ්‍යානය පරිත්තව හෝ මධ්‍යමව හෝ ප්‍රණීතව හෝ වැඩීමෙන් පඤ්චමධ්‍යාන තලයන්හි උපදිත්. පඤ්චමධ්‍යාන භූමි වනාහි රූප භූමි, අරූප භූමි වශයෙන් ද්විධ වේ. එයින් රූපාවචර පඤ්චමධ්‍යාන භූමි සතෙකි. එනම් වෙහප්ඵලය, අසඤ්ඤ සත්තය සහ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකණිට්ඨ නම් වූ සුද්ධා වාස පසය. ආකාශානඤ්චායතනාදී භූමි සතර පඤ්චමධ්‍යාන අරූප භූමි නම් වෙත්.

ත්‍රිහේතුක පෘථග්ජනයන් හා සොවාන් සකෘදාගාමි යන ආර්‍ය්‍ය පුද්ගලයන් විසින් රූපාවචර පඤ්චමධ්‍යානය උපදවන ලද්දේ නම්, මහා කල්ප පන්සියයකට ආයු ඇති වෙහප්ඵලයෙහි උපදින්නාහ.

කර්‍මවාදී, ක්‍රියාවාදී තීර්ථකාදීන් විසින් සංඥා විරාග වශයෙන් පඤ්චමධ්‍යානය වඩන ලද්දේවී නම්, මහා කල්ප පන්සියයකට ආයු ඇති අසඤ්ඤසත්තයෙහි රූපස්කන්ධයකින් පමණක් පහළ වන්නේය. යම් ඉරියව්වකින් මිනිස් ලොවදී වායොකසිණය හෝ ආකාශ කසිණය හෝ වඩා පඤ්චමධ්‍යානය උපදවන ලද්දේ ද, එම ඉරියව් වෙන්ම ප්‍රතිමා රූපයක් මෙන් නාමස්කන්ධයෙන් තොරවූ රූප ප්‍රතිසන්ධිය ලබන්නේය.

අනාගාමි පුද්ගලයන් අතුරෙන් ශ්‍රද්ධෙන්‍ද්‍රිය අධිකවූ පුද්ගල තෙමේ මහා කල්ප දහසකට ආයු ඇති අවිහ නම් සුද්ධාවාස භූමියෙහි ද වීර්‍ය්‍යෙන්ද්‍රිය අධික වී නම් මහා කල්ප දෙදහසකට ආයුෂ ඇති අතප්ප නම් සුද්ධාවාස භූමියෙහි ද, සතින්‍ද්‍රිය අධිකවී නම්, මහා කල්ප සාරදහසකට ආයු ඇති සුදස්ස නම් සුද්ධාවාසයෙහි ද සමාධින්‍ද්‍රිය අධික වී නම් මහා කල්ප අට දහසකට ආයු ඇති සුදස්සි නම් සුද්ධාවාස භූමියෙහි ද, ප්‍රඥෙන්‍ද්‍රිය අධික වී නම් මහා කල්ප සොළොස් දහසකට ආයු ඇති අකණිට්ඨ නම් සුද්ධාවාස භූමියෙහි ද ප්‍රතිසන්ධිය ලබන්නේය.

ශුෂ්ක විදර්ශක අනාගාමි පුද්ගලයෝ ද මරණ කාලයෙහිදී ඒකාන්තයෙන්ම ධ්‍යාන උපදවන බැවින් බ්‍රහ්මලෝක ප්‍රතිසන්ධියම ලබන්නාහ. ශ්‍රද්ධාදී පඤ්චෙන්ද්‍රියයන්ගේ සමානත්වය ඇති කල්හි අනාගාමි පුද්ගලයෝ වෙහප්ඵලයෙහි උපදනා බවද දක්වා ඇත.

ධ්‍යානලාභී ස්ත්‍රීහු ද, පළමුකොට බ්‍රහ්ම පාරිෂද්‍යාදියෙහි ඉපිද පසුව මතු මතු බ්‍රහ්මලෝකයන්හි උපදින්නාහුය.