අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කාමාවචර කුසල කර්ම

කාමාවචර කුසල කර්මයෝ අටදෙනා, සප්තකාම සුගතියෙහි නවවිධ ප්‍රතිසන්ධි උපදවත්, නවවිධ ප්‍රතිසන්ධීහු නම් කාමාවචර මහා විපාක අටය, අහේතුක කුසල විපාක සන්තීරණ සිතය යන විපාක සිත් නවයෙන් දෙනු ලබන ප්‍රතිසන්ධිහුයි. එහි ප්‍රවෘත්ති විපාක වශයෙන් කාම සුගති, රූප භූමි යන දෙතැන්හි අහේතුක කුසල විපාක අටය මහා විපාක අටය යන සොළොස් විපාක සිත් ලැබෙත්. කාම භූමියෙහි ඉන්ද්‍රිය විකලත්වයක් නොමැති නම් මේ සොළොස් විපාකයෝ ම ලැබෙන්නාහ. ඉන්ද්‍රිය විකලත්වයක් වී නම් ඒ ඒ ඉන්ද්‍රියයන් නිසා ලැබෙන්නාවූ විඤ්ඤාණයෝ නොලැබෙත්.

කාමාවචර මහා කුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් රූප භූමියෙහි අහේතුක කුසල විපාක චක්ඛු විඤ්ඤාණ, සෝතවිඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ යන සිත් සතර පමණක් ලැබේ. ඉතිරි කුසල විපාක දොළොස එහි නො ලැබේ.

කාමාවචර මහා කුසල් සිත් අතුරෙන් ඤාණසම්ප්‍රයුක්ත කුසලය දෙවැදෑරුම් වේ. එනම්:-

  1. උත්කෘෂ්ඨවූ ඤාණ සම්ප්‍රයුක්ත කුසලය.
  2. ලාමක වූ ඤාණසම්ප්‍රයුක්ත කුසලය.

උත්කෘෂ්ඨ ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් සතර හා සමඟ යෙදුනාවූ චේතනාවෝ සතර දෙනා ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසල කර්ම නම් වෙත්. ලාමකවූ ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත් සතර හා යෙදුනාවූ චේතනාවෝ සතර දෙනා ත්‍රිහේතුක ඕමක කුසල කර්ම නම් වෙත්.

ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල චේතනාව, සප්තකාම සුගති යෙහි මහෙශාක්‍ය මහානුභාව සම්පන්නවූ ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ලබා දෙන්නේය. ප්‍රවෘත්ති විපාක වශයෙන් මහා විපාක අටත්, අහේතුක කුසල විපාක අටත් යන සොළොස් විපාක චිත්තයන් උපදවත්.

ඤාණ විප්‍රයුක්ත කුසලයද දෙවැදෑරුම් වේ. එනම්:-

  1. උත්කෘෂ්ඨ වූ ඤාණ විප්‍රයුක්ත කුසලය
  2. ලාමකවූ ඤාණ විප්‍රයුක්ත කුසලය

උත්කෘෂ්ඨ ඤාණ විප්‍රයුක්ත කුසල් සිත් සතරෙහි යෙදුනාවූ චේතනාවෝ සතර දෙනා දුහේතුක උත්කෘෂ්ඨ කුසල කර්ම නම් වෙත්. ලාමකවූ ඤාණ විප්‍රයුක්ත කුසල් සිත් සතරෙහි යෙදුනාවූ චේතනාවෝ සතර දෙනා දුහේතුක ඕමක කුසල කර්ම නම් වෙත්.

දුහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මය හා ත්‍රිහේතුක ඕමක කුසල කර්මය ද විපාකදීම් වශයෙන් සමානය. මේ දෙවැදෑරුම් වූ කුසල කර්මයෝ සප්තකාම භූමියෙහි ඤාණ විප්‍රයුත්ත මහා විපාක සිත් සතරින් දුහේතුක ප්‍රතිසන්ධිය උපදවත්. ප්‍රවෘත්ති විපාක වශයෙන් ඤාණ විප්‍රයුක්ත විපාක සිත් සතරය, අහේතුක කුසල විපාක අටය යන දොළොස් කුසල විපාක උපදවත්.

දුහේතුක ඕමක කුසල කර්මය මනුෂ්‍ය භූමියෙහි ජාත්‍යාන්ධා දී හීන සත්ත්වයන්ගේද චාතුම්මහාරාජික භූමියෙහි ඤාතිප්‍රේත සඞ්ඛ්‍යාතවූ විනිපාතික අසුරයන්ගේද අහේතුක ප්‍රතිසන්ධිය හෙවත් අහේතුක කුසල විපාක සන්තීරණ සිතින් ප්‍රතිසන්ධිය උපදවයි.

කුසල කර්මයක් කිරීමේදී පූර්ව චේතනාවෝ අකුසල කර්මයන් විසින් පිරිවරා නොගෙන, කුසල කර්මයන් විසින්ම පිරිවරා ගන්නා ලද්දේ වේද, එමෙන්ම අපර චේතනාවෝද පසු තැවිලිවීම් ආදී වශයෙන් උපදනා අකුසල කර්මයන්ගෙන් පිරිවරා නොගෙන පිරිසුදු කාමාවචර කුසල් සිත්වලින් ම පිරිවරාගනු ලබන්නේ වේද, ඒ කර්මය ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයක් වන්නේය.

දානාදි පින්කම් කිරීමේදි, දානානිශංස දනීද, අධර්ම වස්තුවෙන් සංග්‍රහ කෙරේද, දුශ්ශීලාදීන් හට දේද, පූර්වාපර චේතනාවෝ අකුසල කර්මයන්ගෙන්ම පිරිවරණ ලද්දේ වේද, එම කුසලය ත්‍රිහේතුක ඕමක කුසල කර්මයක් වන්නේය.

දැහැමින් ලබන ලද වස්තුවෙන් සීලවන්තයන් විෂයෙහි දානානිශංස නොදැන දෙන්නාවූද, පූර්වාපර චේතනා කුසල කර්මයන්ගෙන් පිරිවරන ලද්දේ වේද, එම දානය දුහේතුක උත්කෘෂ්ඨ දානමය කුසල කර්මයක් වන්නේය.

දානානිශංස නොදැන, අධර්මයෙන් ලබාගත් වස්තුවෙන් දෙන්නාවූද, පූර්වාපර චේතනා අකුසල කර්මයන්ගෙන් පිරි වරන ලද්දේ වේද, එම දානය දුහේතුක ඕමක දානමය කුසල කර්මයක් වන්නේය.

ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයත් ත්‍රිහේතුක ඕමක කුසල කර්මයත්, මධ්‍යයෙහි හෙවත් කර්මය සිද්ධකරන්නාවූ අවස්ථාවෙහි ඤාණ සම්ප්‍රයුක්තවීම නිසා සමාන වෙත්. නමුත් පූර්ව චේතනාවෝ ද අපර චේතනාවෝ ද අසමාන වෙත්.

දුහේතුක උත්කෘෂ්ට කුසල කර්මයත්, දුහේතුක ඕමක කුසල කර්මයත් මධ්‍යයෙහි සමානව, පූර්වාපර චේතනාවෝ අසමාන වෙත්.

ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයත්, දුහේතුක ඕමක කුසල කර්මයත් පූර්වාපර චේතනා වශයෙන් සමාන වෙත්. මධ්‍යයෙහි අසමාන වෙත්.

ත්‍රිහේතුක ඕමක කුසල කර්මත්, දුහේතුක ඕමක කුසල කර්මත් පූර්වාපර චේතනාවන්ගේ වශයෙන් සමාන වෙත්. මධ්‍යයෙහි අසමාන වෙත්.

කාමාවචර ත්‍රිහේතුක උත්කෘෂ්ඨ කුසල කර්මයෙන් ගන්නාවූ ප්‍රතිසන්ධිය, අඩුම ගණනින්, හේතූන් අටෙකින් යුක්ත වන්නේය. ඒ හේතු අට නම්:—

ආයුහණක්ෂණයේදී හෙවත් කුසල කර්මය කරන්නාවූ කාලයේ දී උපදනා කාමාවචර කුසල ජවනයන්හි යෙදුනාවූ අලොභ, අදොෂ, අමොහ යන හේතු තුනය.

නිකාන්තික්ෂණයේදී හෙවත් මරණාසන්න කාලයේදී මරණා සන්න ජවන් වශයෙන් ඤාණවිප්‍රයුක්ත කුසල් සිත් උපන්නේ නම් එහි යෙදුනාවූ අලොභ, අදොෂ යන හේතු දෙකය.

ප්‍රතිසන්ධික්ෂණයේදී හෙවත් ප්‍රතිසන්ධි සිතෙහි ලැබෙන්නාවූ අලොභ, අදොෂ, අමොහ යන හේතු තුනය.

මෙයින් ආයුහණක්ෂණයේදී හා නිකාන්තික්ෂණයේදී ලැබෙන් නාවූ හේතූන් පස් දෙනා කුසල් නම් වෙත්. පටිසන්ධික්ෂණයේදී ලැබෙන්නාවූ හේතූන් තිදෙන අව්‍යාකෘත නම් වෙත්.