අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අකුසල කර්ම

දොළොස් අකුසල් සිත් අතුරෙන් උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත හැර ඉතිරි එකොළොස් අකුසල් සිත්හි යෙදුනාවූ චේතනා සඞ්ඛ්‍යාත වූ අකුසල කර්ම තෙමේ එකම අකුසල විපාක සන්තීරණ සිතින් සතර අපායෙහි පටිසන්ධිය උපදවයි.

මේ දොළොස් අකුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් කාම භූමියෙහි හා රූප භූමියෙහි ද සත්වැදෑරුම් වූ අහේතුක අකුසල විපාක ගෙනදෙන්නේය.

යම් හේතුවකින් චක්ඛු, සොත, ඝාණ ප්‍රසාදයෝ නො ලැබුයේ නම් කාම භූමියේදී ඒ ඒ විඤ්ඤාණයෝ නො ලැබෙන්නාහ.

රූප භූමියෙහි අඞ්ග විකලත්වයක් නැත. එසේ නමුත් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ යන අකුසල විපාක සිත් සතර පමණක් ලැබේ. අවශේෂ අකුසල විපාක සිත් තුන නොලැබේ.

චාතුම්මහාරාජිකයෙන් මත්තෙහි ඉෂ්ටවූ රූපාලම්බණ මිස අනිෂ්ට රූපාලම්බණාදියක් නොලැබෙන හෙයින් අකුසල විපාක චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, සම්පටිච්ඡන, සන්තීරණ යන සිත් සතර කෙසේ ලැබෙන්නේ දැයි සැකයක් ඉපදිය හැකියි. බ්‍රහ්මයෝත් චාතුම්මහාරාජිකයෙන් මත්තෙහි වූ පඤ්ච දිව්‍යලොක යන්හි වසන දෙවියෝත් ඒ ඒ භූමි වලින් යට කාම ලෝකය බලන්නාවූ කල්හි හෝ, බුදුන් දැකීම් බණ ඇසීම් ආදිය සඳහා කාම ධාතුවට පැමිණි කල්හි හෝ, අනිෂ්ට වූ රූපාලම්බණයන් දැකීමෙන් හෝ අමිහිරි ශබ්ද ඇසීමෙන් හෝ ඒ ඒ දිව්‍ය බ්‍රහ්මයින්ට අකුසල විපාක චක්ඛු විඤ්ඤාණාදිය උපදී.