මුසාවාද අකුසල කර්මය
මුසා යනු අසත්‍යයට නමෙකි. වාද යනු කීමයි. අසත්‍ය වචන හෙවත් බොරු කීම මුසාවාද නමි. යමෙක් ඇසින් දුටු දෙය දැන දැනම නුදුටිමි කියාද, නුදුටු දෙය දුටිමි කියාද, කණින් ඇසූ දෙය නො ඇසුවෙමි කියාද, නො ඇසූ දෙය ඇසුවෙමියි කියාද, දත් දෙය නොදනිමියි කියාද, නොදත් දෙය දනිමියි කියාද, එවැනි කීම් මුසාවාද නම් වේ. මෙසේ අසත්‍යයක් බව දැන දැනම අනුන් රවටන අදහ සින් අසත්‍ය වචන ප්‍රකාශ කරණ කල්හි උපදනා අකුසල ජවන චිත්ත වීථින්හි හටගන්නා ජවන් සිත්හි සම්ප්‍රයුක්ත චේතනාවෝ මුසා වාද අකුසල කර්ම නම් වෙති.
මේ මුසාවාද අකුසල කර්ම, අඞ්ග සතරකින් සම්පූර්ණ වී නම්, අකුසල කර්මපථ බවට පැමිණෙන්නාහ. එම අඞ්ග සතර නම්:—
- අභූත වස්තුවක් වීම හෙවත් බොරුවක් වීම.
- විසංවාදන සිත ඇතිවීම.
- ව්‍යායාමය.
- අන්‍යයන් එය දැන ගැන්ම.
මෙයින් එකක් හෝ අඩුවිනම් කර්මපථ නොවන්නේය. අනුන් රවටන අදහසින් බොරු කියා අනුන්ට අනර්ථය හෙවත් අලාභහානි සිදුකරන්නේ නම් එම අනර්ථයේ හැටියටද අකුසල කර්මය මහා සාවද්‍ය හෝ අල්ප සාවද්‍ය හෝ වන්නේය. එසේම රවටන ලද පුද්ගලයාගේ ගුණ මහත්වයේ හැටියටද මහාසාවද්‍ය හෝ අල්ප සාවද්‍ය හෝ වන්නේය.
මුසාවාද අකුසල කර්මය වචීකර්මයක් වන්නේවී නමුත් පත් පොතෙහි ලිවීමෙන් හා හස්තමුද්රාදියෙන් හැඟවීමෙන්ද කායද්වාරයෙහි පැවති මුසාවාද අකුසල කර්මයක් වන්නේය.
මුසාවාද අකුසල කර්ම කරණ තැනැත්තා මෙලොවදීම නොයෙක් කටුක විපාක විඳ මරණින් මතු සතර අපායෙහි ද ඉපිද ඉතා දිගු කලක් දුක් විඳින්නේය. එයට පසුව යම් හෙයකින් මිනිසත් බවක් ලද්දේවීනම් නොයෙක් අභූත චෝදනා ලබන්නෙක් වන්නේය.
තවද, තමාට යම් ලාභ ප්‍රයෝජනාදියක් ලබා ගැනීමේ ආශාවෙන් මුසාවාද කර්මය කරණ කල්හි ලොභමූල අකුසල සිතකින්ද පළිගැනීමේ අදහසින් හෝ තරහවෙන් හෝ කරණ කල්හි ද්වේෂ මූල අකුසල සිතකින්ද කර්මය සිදුවේ.