අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අහෝසි කර්මය.

විපාක නොදෙන ලද්දාවූද, මතු විපාක නොදෙන්නාවූද කර්ම තෙමේ අහෝසි කර්ම නම් වේ. අහෝසි කර්ම ද, කුසලා කුසල වශයෙන් දෙවැදෑරුම් වේ.

දෙව්දත් තෙරණුවෝ මේ ශාසනයෙහි පැවිදිව, සතර සංවර සීලය රක්ෂා කොට පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති උපදවා මෑත භාග යෙහි සංඝභේද කර්මය කොට අවිචි මහා නරකයෙහි උපන්නේය. ඔහු විසින් රැස්කළාවූ කාමාවචර රූපා වචර, අරූපාවචර ආදී කුසලයන්ගේ දිට්ඨධම්මවෙදනීය, උපපජ්ජවෙදනීය කර්මයෝ අහෝසි කර්ම බවට පැමිණවූහ.

තවද, බොහෝ මනුෂ්‍ය ඝාතන කොට මැත භාගයෙහි මහණව රහත්වූ අඞ්ගුලිමාල තෙරණුවෝ, ඒ අප්‍රමාණඅකුසල කර්මයන් අතුරෙන් උපපජ්ජවෙදනීය අපරාපරිය වෙදනීය අකුසල කර්මයන් අහෝසි බවට පැමිණවූහ. නමුත් ඒ අඞ්ගුලිමාල තෙරණුවන් වාසය කරන්නාවූ ග්‍රාම නගරාදීයෙහි බලු කපුටු ආදීන්ට දමාගසන්නාවූ කැට මුගුරු ආදිය තෙරුන්වහන්සේගේ හිසේ පැහැර, හිසෙන් ගලන්නාවූ ලෙයින් සිවුර තෙමී වෙහෙරට පෙරළා වඩින්නේය. මේ වනාහී මනුෂ්‍ය ඝාතක අකුසලයන්ගේ දිට්ඨධම්ම වෙදනීය විපාක බව දතයුතුයි.