අපරාපරිය වෙදනීය කර්මය
තුන්වන ආත්ම භාවය පටන් අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑම දක්වා මේ අතරෙහි අවකාශ ලත් විටෙක විපාක දෙන කර්මයෝ අපරාපර්‍ය්‍ය වෙදනීය කර්ම නම් වෙත්. පළමුවෙනි සත්වෙනි ජවනයන්ට අතර සිටි පඤ්ච ජවන චිත්තයන්හි සම්ප්‍රයුක්ත චෙතනා චෛතසිකයෝ අපරාපරිය වෙදනීය කර්ම වන්නාහ.
මේ කර්මයෝ ද කුසලාකුසල වශයෙන් දෙවැදෑරුම් වේ. එක් සත්ත්වයෙක් හට ඇත්තාවූ අපරාපර්‍ය්‍ය වෙදනීය කර්මයන්ගේ සඞ්ඛ්‍යාව අනන්තය අප්‍රමාණය. මිනිසුන් දහසක් නැගී ගියාවූ නැවක් මහා සමුද්‍ර මධ්‍යයෙහි විනාශ වී නම්, ඒ දහසක් මිනිසුන් හට අපරාපරිය වේදනීය කර්ම දහසක් ඉදිරිපත් වී ඔවුන්ගේ මරණය සිදු කරන්නේය. එක් කර්මයකින් එක් භවයෙක්හි ප්රතිසන්ධි විපාක දී අප්‍රමාණ ජාතිවල ප්රවෘත්ති විපාක දිය හැකි වේ. එක් සිතකින් එක් වරක් ප්රතිසන්ධි විපාක දුන් කල, එම චේතනාවෙන් හෙවත් එම සිතින් නැවත ප්රතිසන්ධි විපාක නොදිය හැකි වේ. තවද, ප්රතිසන්ධි විපාක නොදී ප්රවෘත්ති විපාක දෙන්නාවූ අපරාපරිය වේදනීය කර්මපථයක් නම් නැත්තේය.
අපරාපරිය වේදනීය කර්මයාගේ ශක්තියෙන්ම විපාක දිය නොහැකි වේ. බොහෝ සෙයින් දිට්ඨ ධම්ම වේදනීය කර්මයන් විසින් බලවත්වූ අපරාපරිය වේදනීය කර්මයට රුකුල් දීමෙන්ම විපාක දෙන්නේ වේ. දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් තොරව ඒ මහානු භාව සම්පන්න අපරාපරිය වේදනීය කර්මයන්ට විපාක නො දිය හැකිය.
දැඩි ගිනි අඟුරු රැසක් මැදට අමු දර දැමූ කල්හි එම අමු දර දැවෙන්නාක් මෙන්, බලවත්වූ අපරාපරිය වේදනීය කර්මයට දුර්වලවූ දිට්ඨ ධම්ම වේදනීය කර්මයකින් රුකුල් ලැබීමෙන් ඒ බලවත් අපරාපරිය වේදනීය කර්මයාගේ මහත්වූ විපාක දෙන්නේය.
දුර්වල ගින්නකට යහපත් වියලි දර දැමූ කල්හි එම දර දැවීමෙන් දැඩි ගිනි හටගන්නාක් මෙන් දුර්වලවූ අපරාපරිය වේදනීය කර්මයට බලවත් දිට්ඨ ධම්ම වේදනීය කර්මයකින් රුකුල් ලැබ මහත්වූ විපාක දෙන්නේ වෙයි.
තවද, දුර්වලවූ ගින්නට වර්ෂා ජලය ලැබුනු කල්හි ගිනි නිවී යන්නාක් මෙන් දුර්වල අපරාපරිය කුසල කර්මයක් බලවත්වූ දිට්ඨ ධම්ම වේදනීය අකුසල කර්මයකින් පෙළෙනලද්දේ වී නම්, කුසල විපාක නොදෙන්නේය.
බියසුලු කෙනෙකුට තනිවම සොහොන් භූමියට යා නොහැකි මෙන් අපරාපරිය වේදනීය කර්මයට තනිවම විපාක දිය නොහැකි වේ. යහළුවෙක් ලදහොත් බියසුලු තැනැත්තාට සොහොනට යා හැකි වන්නාක් මෙන්, දිට්ඨ ධම්ම වෙදනීය කර්මය නම් වූ යාළුවාගේ උපකාරය ලැබූ කල්හි අපරාපරිය වෙදනීය කර්මයට විපාක දිය හැකි වන්නේය.