අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උපපජ්ජ වෙදනිය කර්මය

අනතුරු අත්බැව්හි හෙවත් දෙවන ජාතියෙහි ප්‍රතිසන්ධි විපාක දෙන කර්මතෙමේ උපපජ්ජ වෙදනිය කර්ම නම් වේ. අර්ථසාධක ජවන් උපදනා චිත්ත වීථීන්හි සත්වන ජවන් සිත්හි යෙදෙන චෙතනා චෛතසිකයට උපපජ්ජවෙදනීය කර්මය යයි කියනු ලැබේ මෙය ජනක කර්මය හා සමානය. ප්‍රථම ජවනාදී ජවන් සය විසින් රුකුල් දෙන ලද සත්වන ජවනය විසින් දෙවෙනි අත් බැව්හි පටිසන්ධි විපාකය හා ප්‍රවෘත්ති විපාකද උපදවනු ලැබේ.

උපපජ්ජවෙදනීය කර්මයද කුසලාකුසල වශයෙන් දෙවැදෑරුම් වේ. ඔවුන් අතුරෙන් කුසල උපපජ්ජවෙදනීය කර්මයෝ තුමූ එක් සත්ත්වයෙකු කෙරෙහි අනන්ත අප්‍රමාණ වෙත්. ඒ අප්‍රමාණ උපපජ්ජවෙදනීය කර්මයන් අතුරෙන් අතිශයින් බලවත් වූ උපපජ්ජ වෙදනීය කර්මයකින් ප්‍රතිසන්ධිය ගෙණදුන් කල්හි, අවශෙෂ සත්වන චෙතනා කුසල කර්මයෝ අහෝසි කර්ම නම් වෙත්. නියම කාලය ඉක්මීම හේතුකොට ගෙන පැල නොවෙන්නාවූ ධාන්‍ය බීජ මෙන් අභාවයට පත්වන්නේය. කුසල උපපජ්ජවෙදනීය කර්ම අතුරෙන් යම් රූපාවචර අරූපාවචර ධ්‍යාන කුසල කර්මයෝ වෙත් නම්, ඔව්හු අන් හැමටම පළමු පටිසන්ධි විපාක දෙවමින් බඹ ලෙව්හි පහළ කරවන්නාහුය.

අකුසල උපපජ්ජ වෙදනීය කර්ම අතුරෙන් පඤ්චානන්තරිය කර්‍ම හා නියත මිථ්‍යාදෘෂ්ටිය බලවත් හෙයින් අන් හැම අකුසල උපපජ්ජවෙදනීය කර්මයන් වළක්වා එහි පටිසන්ධි විපාක ලබා දෙන්නේය. එවිට අවශෙෂ අකුසල උපපජ්ජ වෙදනීය කර්මයෝ අභාව කර්ම හෙවත් අහෝසි කර්ම බවට පැමිණෙන්නාහ.