දිට්ඨධම්ම වෙදනීය කර්මය
මේ ආත්මභාවයේදීම, කර්මය කළාවූ ස්කන්ධයන්ටම විපාක දෙන කර්මය දිට්ඨධම්ම වෙදනීය කර්ම නම් වේ. කුසලාකුසල ජවන් උපදනා චිත්ත වීථීන්හි ජවන් සිත් සත අතුරෙන් පළමුවෙනි ජවන් සිතෙහි යෙදුනාවූ චෙතනා චෛතසිකය දිට්ඨධර්ම වෙදනීය කර්මය වන්නේය. මේ කර්මය හෙවත් පළමු වෙනි ජවන් සිත, අන්‍ය ජවනයන්ගෙන් ආසේවන ප්‍රත්‍ය නො ලැබූ හෙයින්, ප්රතිසන්ධි විපාක ගෙණදීමට ශක්තියක් නැත. මේ කර්මයාගේ ශක්තියෙන් ප්රවෘත්ති විපාක ඉහාත්මයෙහිදීම ගෙණ නුදුනහොත් එය අහෝසි කර්මයක් හෙවත් අභාවයට පත්, විපාක නොදෙන කර්මයක් බවට පැමිණෙන්නේය.
දිට්ඨධම්ම වෙදනීය කර්මය, කුසල දිට්ඨධම්ම වෙදනීය කර්මය, අකුසල දිට්ඨධම්ම වෙදනීය කර්මය යයි දෙවැදෑරුම් වේ. මේ දෙවැදෑරුම් කර්ම අතුරෙන් දිට්ඨධම්ම වෙදනීය දානමය කුසල කර්මය අතිශයින් මහත් වූ විපාක දීමේ ශක්තියක් ඇති කර්මයක් වීමට ප්‍රධානකොට කරුණු සතරක් සම්පූර්ණ විය යුතුය. එනම්:—
- සම්පූර්ණ ධ්යානාභිඥාලාහි බුදු පසේබුදු මහරහතන් වහන්සේ කෙනෙක් ලැබීමය.
- ධාර්මික වූ දාන වස්තුවක් ලැබීමය.
- ප්‍රතිග්‍රාහක තෙමේ එදවස්හි නිරෝධ සමවතින් නැගී සිටින බවය.
- දායක තෙමේද පූර්ව චෙතනා, මුඤ්චන චෙතනා, අපර චෙතනාවන්ගෙන් පිරිසුදු වූ, සම්පූර්ණ වූ ශ්‍රද්ධා, වීර්‍ය්‍ය, ප්‍රඥාවන් ගෙන් යුක්ත වන බවය.
මේ සතරාඞ්ගයන් ගෙන් සම්පූර්ණ වූ දිට්ඨධම්ම වෙදනීය කුසල කර්මය, එම භවයෙහි එම දවස්හි වුවත් අප්‍රමාණ සම්පත් ලබාදීමට පොහොසත් වන්නේය. ආසේවන ප්‍රත්‍යය නො ලැබීමෙන් දුර්වල වූ හෙයින් ප්රතිසන්ධි විපාක නොදියහැකි නමුත්, එම කර්මය කළාවූ පඤ්චස්කන්ධයටම සහේතුක කුසල විපාක මාත්‍රයක් දියහැකි වේ.
මුව දඩයම පිණිස වනයට වැදි පුරුෂයෙකු විසින් මුවන් එන මග බලා මුවකු මරණ අදහසින් වෙඩි පහරක් යැවූ කල්හි ඒ වෙඩි පහර ඒ මුවාට වැදුනේවීනම් මුවා බිම වැටෙන්නේය. පහර වැරදුනහොත් මුවා පැනගොස් නැවත ඒ පුරුෂයා හට සොයා ගත හැකි නොවන්නේය. දිට්ඨධම්මවෙදනීය කර්මයද එසේමය අවකාශ ලද හොත් එම ආත්මභාවයේදී ම විපාක දෙන්නේය. නැතහොත් වෙනත් ආත්මයක දී විපාක දීමට නොහැකිවේ.
පෙර රජගහනුවර බිම්සර රජු දවස කාකවලිය නම් දුගියෙක් බැළමෙහෙයට ගිය කල ඔහුගේ භාර්‍ය්‍යාතොමෝ ආහාර පිණිස කිසිවක් නොලදින් ඇඹුල් කැඳක් පමණක් පිස තම සැමියා එනතෙක් මග බලා සිටි කල්හි, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ නිරෝධ සමවතින් නැගිට ලොව බලනුයේ කාකවලිය නම් මහ දුගියා හට වැඩ සිදුකරණු කැමැතිව ඔහුගේ ගෙදොර පිඬු සිහා වැඩි සේක. එකල්හි දුගි භාර්‍ය්‍යාතොමෝ රහතන් වහන්සේ කෙරෙහි පැහැදී දනක් දෙනු කැමැතිව පාත්‍රය ගෙණ ඇඹුල් කැඳ එහි බහා පිළිගැන් වූවාය, මහාකාශ්‍යප මහරහතන් වහන්සේද කැඳ පාත්‍රය පිළිගෙණ වෙහෙරට වැඩ ලොවුතුරා බුදුන් වහන්සේට පිළිගැන්වූ කල්හි, බුදුරජාණන් වහන්සේ අනිකුත් පන්සියයක් දෙනා වහන්සේට ද ස්වල්ප වශයෙන් බෙදා තමන් වහන්සේ ද වැළඳූ සේක. කාකවලිය තෙමේද, බැළමෙහෙ ගන්නවුන් සොයමින් ක්‍රමයෙන් දෙව්රම් වෙහෙර දෙසට ගියේ කැඳ ස්වල්පයක් ලැබ, එය අනුභව කොට සිටි කල්හි, මේ යාගු දානයෙහි අනුසස් මහකසුප් තෙරුන් විසින් විචාරණ ලදුව, මෙයින් සත්වන දවස කාකවලිය නම් දුගී තෙම මහත් ඓශ්වර්‍ය්‍ය ලැබ කාකවලිය මහා සිටානෝ යයි ප්‍රසිද්ධ වන්නේ යයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙබස් ඇසූ දුගී තෙමේ ඉතා සතුටුව වහා තම නිවසට ගොස් මෙපවත් භාර්‍ය්‍යා වට දැන්වීය. මෙදවස්හි බිම්සර රජතෙමේ ද නුවර ප්රදක්ෂිණා කරනුයේ නගරාසන්න අමු සොහොනෙහි දිවස් හුල නැගූ පුරුෂ යෙකු දැක, රාජභොජනයෙන් බත් අනුභව කරන්නට කැමැති බව ඔහු විසින් හඬනගා කියනු අසා, නැවත රජගෙට පැමිණ රජ බොජුන් ඔහු වෙත යවන ලෙස නියෝග කෙළේය. රාජපුරුෂයෝද එය ගෙනයාමට සමර්ථ කෙනෙකු නොලැබ, රාජ නියෝගයෙන්ම දහසක් බැඳි පියල්ලක්වත් ගෙණ මෙය දෙවන්නට කෙනෙකු සොයා යන්නේ, කාකවලිය නම් දුගියාගේ භාර්‍ය්‍යා තොමෝ මෙපවත් අසා, එම කාර්ය්ය ඉටුකර දීමට කැමැති බව දැක්වූ හෙයින්, ඈ රජු ඉදිරියට පමුණුවා, ඇගේ ඉල්ලීම පරිදි පුරුෂ වෙෂයෙන් පංචායුධ සන්නද්ධව සරසවාගෙණ බත් තලිය ගෙණ අමු සොහොන දෙසට පිටත්විය. අතරමග තල් ගසක් සමීපයෙන් ඈ යන කල එහි වසන දීඝතඵල නම් එක්තරා යක්ෂයෙක් ඈ ගොදුරු කොට ගන්නා අදහසින් ඈ විචාළ කල්හි, තමා රාජ දූතයෙක් බව දන්වා සිටි හෙයින්, තමා ගෙනුත් අස්නක් ගෙණයාහැකි දැයි අසා, හැකි දෙයක් නම් කරමි කී කල්හි “දීඝතඵල නම් යක්ෂයාගේ භාර්‍ය්‍යාව වූ සුමන දෙව්රජුගේ ද කාලි තොමෝ පුතෙකු වැදුවාහයි කියමින් යව, එයට පඬුරු පිණිස මේ තල් ගස මුල තිබෙන නිධාන සත ගනුවයි” යක්ෂයා විසින් කියන ලදුව ඈ එසේම හඬනගා කියමින් ගියාය. මෙසේ එදක් දුර කියමින් යන්නාවූ ඇගේ මේ වචනය ඇසූ සුමන දෙව්රජ තෙමේ සතුටුව ඈ ගෙන්වා තමන් වසන වෘක්ෂ මූලයෙහි තිබෙන බොහෝ නිධානයන් දක්වා එය ගනුවයි කීය. දෙවියන්ගෙන්ද බොහෝ සත්කාර ලැබ මෙසේ යන්නා වූ ඈ සොහොනට ගොස් දිවස්හුල හුන් පුරුෂයාහට බත දී, එය අනුභව කරවා, මුඛය පිටත වැකුණු ඉඳුල් පිස දමන්නට කී කල, ඈ ලංවී අතින් මුඛය පිස දැමීය. ඇගේ මොළොක් අත ස්පර්ශ වූ කෙණෙහිම ස්ත්‍රියක් බව වැටහී අනුරාග චිත්තයෙන් ඇගේ හිසකෙස් වැටිය තම කටින් ඩැහැගත්තේය. ඈ ද එය ගලවා ගත නොහී කඩුවෙන් කෙස් වැටිය කපා, ඔහුගේ මුඛයෙහි එය තිබිය දී ආපසු රජු වෙත ගොස් මෙපවත් සියල්ලම දන්වා යක්ෂයන් විසින් පවරණලද වස්තුව ද ගෙන්වා රජු ඉදිරියෙහි තැබීය. රජතෙමේ ද ඉතාසතුටුවී, කාකවලිය නම් දුගියා ගෙන්වා ඔවුන්ගේ පිනින්ම ලත් ඒ සියලු ධනය ඔවුන්ටම පවරා සිටු තනතුරෙහි පිහිටවූහ. එතැන් සිට ඔහු කාකවලිය මහා සිටානෝ යයි ප්‍රසිද්ධ විය. මෙය දිට්ඨධම්මවේදනීය කුසල කර්ම විපාකයාගේ ස්වභාවයයි.
තවද, පූර්ණික නම් දුගියා සහ ඔහුගේ භාර්‍ය්‍යාතොමෝ ද, සැරියුත් මහ තෙරුන්ට දැවටූ දඬු සහ පැනින්ද බත් පාත්රයකින්ද පුදා, එහි ආනිශංස වශයෙන් එදිනම තමා සී සෑ තැන් සියල්ලක්ම කිහිරි මල් පිඩක් සේ රත්රන් පිඩවලු ගැසී තිබෙනු දැක රජුට දන්වා රජු විසින් දෙන ලද සිටු තනතුරු ලබා බහුධන සිටානන් යයි ප්‍රසිද්ධ වී, ඔහු සහ ඔහුගේ භාර්ය්යාවත් උත්තරා නම් දියණියත් බුදු පාමොක් මහ සඟනට දන් දී දහම් අසා සොවොන් මාර්ගඵලයෙහි පිහිටි සැටියෙනුත් දිට්ඨධම්මවේදනීය කර්ම විපාකය මැනවින් අවබෝධ කරගත හැකි වේ.
දිට්ඨධම්මවේදනීය කුසල කර්මය මෙන්ම දිට්ඨධම්ම වේදනීය අකුසල කර්මය ද, එම අත්බැව්හිම විපාක නුදුනහොත් අහෝසි කර්ම බවට පත් වන්නේය.
අප බුදුන් වහන්සේ සද්ධර්මාමෘත වර්ෂා වස්වමින් බුදුසසුන් හොබ්වමින් වැඩවසන කල්හි, තීර්ථකයන් හට ලාභ සත්කාර නැතිවීමෙන් කෝපයට පත්ව, සැවැත්නුවර චිංචාමානවිකා නම් පරිබ්‍රාජිකාවට උගන්වා, බුදුන් වහන්සේට අවමන් කරුණු සඳහා යෙදවීය. ඕතොමෝ ගැබිණියක් ලෙස සැරසී දෙව්රම් වෙහෙර අසල හැසිරෙමින් මහජනයා හට සැක උපදනා පරිද්දෙන් නව මසක් පමණ කල් ගෙවා, බුදුරදුන් සිව්වණක් පිරිස් මැද බුද්ධාසනාරූඪව වැඩහිඳ දහම් දෙසනා කල්හි, තමාගේ බඩ, දර දඬු මිටියක් බැඳගෙණ දෙවුරත් බඩත් වසා පලසක් පෙරෙවගෙණ අතුල් පතුල් උදුම්වා ගෙණ, පිරිස් මැදට විත් නොයෙක් මුසා බස් බැණ සිටියාය. එකල්හි සක්දෙව්රජු තම අසුන් හුණුවූ බව දැන, ලොව බලනුයේ චිංචාමාණ විකාවන් දැක මහ පිරිස් මැද සත්‍ය හෙළිකළ යුතු යයි සිතා මූෂික වෙස් ගත් දෙවියන් සතර දෙනෙකු ලවා එකවර දර මිටිය බැඳ තිබූ වැල් කපවා බිම හෙළා සිටි කල්හි රැස්ව හුන් පිරිස් විසින් ඇ තලා පෙලා පන්නා දැමීය. මදක් තැන් ගිය කල්හි පොළොව පළා ආ අවීචිමහ නිරය ගිනිදැල් වෙලාගෙණ ගොස් අවීචියෙහි හෙළීය. මේ කථාවෙන් ද දිට්ඨධම්මවෙදනීය අකුසල කර්මයාගේ අනිෂ්ට විපාක එම අත්බැව්හි ලැබෙන සැටි දතහැකිවේ.
තවද, යසෝධරා දෙවින්ගේ පියා වූ සුප්රබුද්ධ ශාක්‍ය රජතෙම බුදුන් කෙරෙහි නිකරුණේ කීපෙමින්, ආරාධනා ලත් තැනකට දන් වළඳනු පිණිස මහ සංඝයා වහන්සේ සමඟ බුදුන් වඩනා දැක යා නොදෙමියි කියා වඩනා මග අවුරාගෙණ හිඳගත් කල්හි බුදුහු කරුණායෙන්ම ගමන් වළකා ආපසු වැඩ, අතරමඟදී සිනහ පහළ කොට අනඳ මහ තෙරුන් විසින් එයට කාරණා විචාළ කල්හි සුප්රබුද්ධ ශාක්‍යයෝ අප ඇමට පිඬු සිඟා යන්නට අවසර නොකළ අකුසලයෙන් අදට සත්වන දවස තමන්ගේ මාලිගාවෙහි යටමාලේ හිණිපාමුලදී පොළොව පළා වැද නිරයෙහි හෙන්නාහු වේදැයි වදාළසේක. සුප්රබුද්ධ ශාක්‍යයන්ගේ සහචරයෙකු මෙබස් අසා ඔහුට දන්වා සිටි කල බුද්ධ වචනය බොරු කරණු සඳහා තම මාලිගයෙහි උඩුමාලෙවැද, රැකවල් ලා සත්වන දවස වනතෙක් මෙහිම වසමියි ඉටාගෙණ සිටියේය. සත්වන දිනයෙහි දී සුප්රබුද්ධ ශාක්‍යයන්ගේ මංගල අශ්වයා උන්මත්තව ගැසෙන්නේයයි අසා, ඔහු සංහිඳවනු පිණිස උන් තැනින් නැගිට අකුසලානුභාවයෙන් හරනා ලද දොරටු වලින් බැස, යට මාලේ හිණි පාමුලට පැමිණ සිටිසඳ, මහ පොළොව විවරව සුප්‍රබුද්ධයන් ඇදගෙන ගොස් අවීචියෙහි හෙළීය. මෙයද දිට්ඨධම්මවෙදනීය අකුසල කර්මයාගේ විපාකයෙකි.
තවද, දෙව්දත් තෙරුන් විසින් බුද්ධානත්තිය උගුලුවා සංඝ භෙද කොට බුදුන්ට අපරාධ ලෙස බොහෝ ප්‍රයෝග කරමින් වධ කළ අකුසලානුභාවයෙන් ඕ හට මේ ආත්ම භාවයෙහි විපාක දීමෙන් භූමිය විවරකොට ගෙණගොස් අවීචීමහා නිරයෙහි හෙළිමත් දිට්ඨධම්මවෙදනිය අකුසල කර්ම විපාකයෙකි.
තවද, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් බිණුවාවූ අකුසල විපාකයෙන් දෙව්දත්හුගේ ශ්‍රාවක වූ කොකාලික මහණතෙම එම ආත්මභාවයෙහිම පොළොව පළාගෙණ ගොස් පදුම නම් නිරයෙහි පතිත කෙළේත් මේ දිට්ඨධම්මවෙදනිය අකුසල කර්ම විපාක ශක්තියෙනි.
තවද, නන්ද නම් ගොඝාතක තෙමේ, පණස් අවුරුද්දක් ගවයන් මරා ජීවත්වනුයේ දිනක් බත් අනුභව කරන්නට ගොස් මස් නැතිව පට්ටියෙහි හුන් ගොනෙකුගේ දිව කපා පුලුස්සා ගෙණවුත් බත් අනුභව කරන්නට තැත්කළ විට තමන්ගේ දිව මුලින්ම කැඩි බත් ගොඩෙහි වැටී මහ හඬින් හඬ හඬා කාල ක්‍රියා කොට නිරාගත වූයේත් දිට්ඨධම්මවෙදනිය අකුසල විපාකයකිනි.
තවද, නන්ද නම් යක්ෂයෙක් සැරියුත් මහ තෙරුන් වහන්සේට නීකරුණේ හිසට පහරක් ගැසූ අකුසලයෙන් එවිටම පොළොව පළාගෙණ අවීචියෙන් මහත් ගිනිකඳක් දිවවුත් හඬව හඬවා ඕහු වෙළා ඇදගෙන ගොස් අවීචියෙහි හෙළිය. මෙයද දිට්ඨධම්මවෙදනිය කර්ම විපාකයකි.
තවද, උත්පලවර්ණා මහා ස්ථවිරින්ගේ මයිලනුවන්ගේ පුත්‍ර වූ නන්ද මානවක තෙමේ අන්ධ වනයෙහි වැඩ විසූ උත්පලවර්ණා මෙහෙණින් වහන්සේට අපරාධකොට එකෙණෙහිම මහා පොළොව විවරවී ගිනිදැල් අවුත් නන්ද මානවකයා වෙලා ගෙණ ගොස් අවීචියෙහි හෙළිමත් මේ දිට්ඨධම්මවෙදනිය අකුසල කර්ම විපාක යෙකි.