අභිධර්මාර්ථ ප්‍රදීපිකා

කටත්තා කර්මය

ගරු කර්ම, ආසන්න කර්ම, ආචීර්ණ කර්ම යන කර්මයන් හැර අවශේෂ වූ ද, එක්වරක් පමණක් කොට සිහියෙන් තුරන් කරන ලද කර්ම කටත්තා කර්ම නම් වන්නේය. මේ කර්ම ඉතා දුර්වලයහ. නමුත් ස්වල්ප වූ කර්මයක් කොට නැවත නැවත සිහිපත් කිරීමෙන් ආසේවන ප්‍රත්‍යය ලද්දේවීනම්, අන්‍ය වූ තුන්වැදෑරුම් කර්ම, මරණාසන්නයේදී, අරමුණු නොවූ කල්හි, ප්‍රතිසන්ධි විපාක දීමට අවකාශ ලබා ගන්නේය. ආසේවන ප්‍රත්‍යය නොලත් කුසලාකුසල කටත්තා කර්මයන්ට ප්‍රතිසන්ධි විපාක ගෙණ දීමේ ශක්තියක් නැත.

මේ සතර විධ කර්මයන් අතුරෙන් ගරු කර්මය පළමුකොට විපාක දෙන්නේය. ගරු කර්ම නැති කල්හි ආසන්න කර්මයක් ප්‍රතිසන්ධි විපාක දෙන්නේය. ගරු කර්ම, ආසන්න කර්ම දෙකම නැති කල්හි ආචීර්ණ කර්මය විපාක දෙන්නේය. මේ තුනම නැති කල්හි ආසේවන ප්‍රත්‍ය ලැබූ කටත්තා කර්මය ප්‍රතිසන්ධි විපාක දෙන්නේය.

ගව ගාලට ඇතුල් කරණු ලබන ගවයන් අතුරෙන් අන්තිමට ඇතුල් කරණ ලද දිරාපත් වූ මහළු ගවයෙක්, අනික් තැනක් නොලැබ ගාල් දොරටුව සමීපයෙහි ලැග සිට, නැවත දෙවන දවස්හි දොර හරනා කල, ඒ දොර සමීපයෙහි හුන් ගවයා දුර්වලයෙක් නමුත් අන් හැමටම පළමුව ගාලෙන් නික්මෙන්නාක් මෙන්, දුර්වල නමුත් ආසන්න ආචීර්ණ කර්මයන්ට පළමුව ප්‍රතිසන්ධි විපාක දීමට අවකාශ ලබා ගන්නේය.