අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආසන්න කර්ම

මරණාසන්න කාලයේදී කරණ ලද්දා වූ හෝ රැස්කරණ ලද්දා වූ හෝ සිහිපත් කරණ ලද්දා වූ හෝ කර්මය ආසන්න කර්මය නම් වේ.

ආසන්න කර්මයද, කුසලාසන්න කර්මය, අකුසලාසන්න කර්මය යයි දෙවැදෑරුම් වේ.

මරණාසන්න කාලයෙහි කළාවූ කුසල කර්මද, එයට පූර්වයෙහි නොහොත් මරණයට ස්වල්ප කලකට පෙර කරණ ලද කුසල කර්ම ද, පූර්වයෙහි කරණ ලදුව මරණාසන්න කාලයේදී සිහිපත් කලාවූ කුසල කර්මද කුසලාසන්න කර්ම නම් වේ. දෙවන භවයෙහි පටිසන්ධි දීම පිණිස ගරු කර්මයක් නැත්තේ වී නම්, මේ ආසන්න කර්මය ම ඉදිරිත්වී පටිසන්ධි විපාක දෙන්නේය.

දුටුගැමුණු මහරජ, චුල්ලඞ්ගණිය යුද්ධයෙන් පැරද චුල්ලුපට්ඨාකතිස්ස ඇමැතියා සමග වනයට වැද, අතිශය බඩසයින් පෙළෙන කල්හි, කෑයුත්තක් ඇත්දැයි ඇමැතිගෙන් අසා, ඔහු විසින් ගෙණෙන ලද බත් තලිය දැක්වූ කල්හි එය සතර කොටස කට බෙදන්නට නියම කෙළේය. රජුටත්, ඇමැතිටත්, අස් වෙළඹටත් යයි තුන් කොටසක් වියයුතු තැන සතරවැනි කොටස කුමටදැයි ඇමැති විසින් විචාළ කල්හි, තමා දැනගත් තැන් සිට කිසි කලෙක දනක් නො දී ආහාර අනුභව නොකළ බව කී කල්හි, මේ වනයෙහි දන් පිළිගන්නට කවුරු සිටිනේදැයි ඇමැති ඇසීය. එබස් අසා මහරජ සැදැහැ ඇතොත් ආර්‍ය්‍යයන් දුර්ලභ නොවේ යයි පවසා හුනස්නෙන් නැගිට අහස දෙස බලා “ආර්‍ය්‍යයෝ ඇත්නම් දැන් මේ අන්තරායට පැමිණියාවූ අපගේ දානය පිළිගැණීමට වඩනා සේක්වා යි පැවැසීය. එකල්හි පුවඟු දිවයින දොළොස් දහසක් භික්ෂූන් සමග දන් පිණිස වැඩහුන්නාවූ පිණ්ඩපාතිකතිස්ස මහරහතන් වහන්සේ රජුගේ මේ ආරාධනය දිවැකනින් අසා, අනාගතයෙහි බුදුසසුන් හොබවන රජුගේ ශ්‍රද්ධාව පිරිහී ගියේවීනම් නපුරැයි සිතා, ඒ භික්ෂූන් සිටියදී, පාසිවුරු ගෙන සැනෙකින් අහසින් වැඩ මහරජු ඉදිරියෙහි සිටි කල්හි, අධික ශ්‍රද්ධායෙන් ඉපිලී ගිය සිතැති රජ තෙමේ තම කොටසත් සමග පිණ්ඩපාතයට තැබූ කොටස රහතන් වහන්සේට පිදීය. ඇමැති තෙමේ ද මෙය දැක තම කොටසත් රහතන් වහන්සේට පුදා සිටි කල්හි අස් වෙළඹගේ ද කොටසත් දෙනු කැමැත්ත හැඟවූ බව දැක එම කොටස ද පිදීය. මහරහතන් වහන්සේ ද, වහාම අහසින් වැඩ රජහුගේ කුසලය මහත් වේවායි සිතා දොළොස් දහසක් භික්ෂූන් වහන්සේට එම දානය පිළිගන්වා අවසානයේදී තෙරුන්වහන්සේ මහරජ ක්ෂුධාවෙන් පීඩිතව සිටින බව දැන, පාත්‍රය සෝදා, ප්‍රණීතාහාරයෙන් පුරවා අහසට දැමීය. එකෙණෙහිම බත් පාත්‍රය රජුගේ අතෙහි පිහිටියේය. රජතෙමේ ඉතා සතුටින් ඇමැති හා අස් වෙළඹිත් සමග බත් අනුභව කොට පාත්‍රය සෝදා හිස් පාත්‍රය ආපසු යැවීම නුසුදුසු යයි සිතා, තමා පැළඳි ලක්ෂයක් අගනා කසි සලුව පාත්‍රයෙහි බහා අහසට දැමූ කල්හි තෙරුන් වහන්සේගේ අතෙහි පිහිටියේය.

පසු කාලයෙහි රජ තෙමේ නැවතත් යුද කොට ජය ගෙණ අනුරාධපුරයෙහි රුවන්වැලිසෑය, ලෝහප්‍රාසාදය, නැනවීම් ආදී මහ පින්කම් කොට ක්‍රමයෙන් ආයු ගෙවී මරණමඤ්චකයෙහි හුන්නේ, පින් පොත කියවන්නට නියමකොට චුල්ලඞ්ගණිය යුද්ධයෙන් පැරද වනයෙහි සැඟවී සිටින කල්හි දෙන ලද මේ දානය සිහිකරවන කල්හි අන් හැම පින්කමකටම වඩා ප්‍රීතිය ඉපිද, එයම කර්ම නිමිත්තක් වශයෙන් මරණාසන්න ජවනයන්ට අරමුණුවී කළුරිය කොට තුසිපුරයෙන් ගෙණෙන ලද දිව්‍ය රථයෙහි පහළවී, දෙව් පිරිස් සහිතව මහ සෑය පැදකුණු කොට තුසි පුරය බලා පිටත්විය. මෙසේ පූර්වයෙහි කරණලද මේ කුසල කර්මය මරණයට ආසන්නවූ කල්හි අන් හැම පිංකමකටම පෙරටුව පැමිණ විපාක දීමට අවකාශ ගත්තේය.

තවද, රජගහනුවර වැසි තම්බදාඨික නම් චොර ඝාතක තෙමේ දිවිහිමියෙන් මනුෂ්‍ය ඝාතනය කොට මරණාසන්න කාලයෙහි සැරියුත් මහතෙරුන් වහන්සේ මඟදී හමුවී තම ගෙට වැඩමවා ගෙණගොස් තමා පිණිස පිසූ බත වළඳවා, දහම් අසා, නොබෝ කලකින් කළුරිය කොට ඒ මනුෂ්‍යඝාත අකුසල කර්මය වළක්වා දන් දී බණ ඇසූ කුසල කර්මය ආසන්නයට පැමිණ සුගති පටිසන්ධිය ලබාගත්තේය. මෙය කුසලාසන්න කර්මයාගේ ඵලවිපාකයෝ යි.

යදාසන්න හෙවත් ආසන්න අකුසල කර්මයද, මෙසේම විපාක දෙන්නේය. ලක්දිව අන්තර ගඞ්ගා නම් ගම මහා වාචකාල නම් උපාසකයෙක් බුදුසස්නෙහි පැහැද, දානාදි කුසල් කරමින් සිට, මාර්ගඵල උපදවනු පිණිස ධ්‍යානභාවනා කරමින්, තිස් අවුරුද්දක් මුළුල්ලෙහි උත්සාහ කොට සෝවාන් මාර්ග ඵල තබා ආලෝකයක් වත් නොලැබ, කලකිරුණු සිත් ඇත්තේ, බුද්ධ ශාසනය නෛර්‍ය්‍යානික නොවේය. ශුද්ධවූ ශාසනයක් නම් මෙතෙක් කළ භාවනායෙන් ඵල ලැබියයුතු යයි යනාදි වශයෙන් අනාදර උපදවා තමාගේ නුවණ නුමුහු කළ බව නොසිතා වැරැදි දෘෂ්ටි ගෙණ මරණාසන්න යේදී එයම ආසන්න කර්මය වශයෙන් අරමුණු වී කළුරිය කොට මහවැලි ගඟ මහත් ශරීරයක් ඇති කිඹුලෙක් ව උපන්නේය. දිනක් මේ කිඹුලා ගොදුරු සොයා ඇවිදින්නේ කසාතොටට පැමිණියේය. ගල්ටැම් පිරූ ගැල් සැටක එපමණ බර අදින්නට සුදුසු පමණ ගව සමූහයක් යොදා, ගැල් මෙගොඩ ගෙණෙනු පිණිස කසාතොටට පැමිණ මෙගොඩ එළවූහ. එකල්හි ඒ ටැම් පිරූ ගැල් සැටත් එය අදනා ගව සමූහයත් යන සියල්ලම ඒ කිඹුලා ගිලිමින් ක්ෂුදාව සංසිඳුවා ගත නොහැකි විය. මෙය බුද්ධ ශාසනය පිළිබඳ ව වරදවා සිතා අනාදර කොට ලද්දාවූ අකුසලාසන්න කර්මයාගේ විපාකය වේ.