උප ඝාතක කර්මය
ජනක කර්මයාගේ විපාක ශක්තිය සිඳ, තමාගේ විපාකය දීමට අවකාශ ගන්නාවූ කර්මය උප ඝාතක කර්මය නම් වේ. උප- ඝාතක කර්මයද, කුසල උපඝාතක කර්මය, අකුසල උපඝාතක කර්මය යයි දෙවැදෑරුම් වේ. ඒ දෙවැදෑරුම් උපඝාතක කර්ම, ප්රතිසන්ධි විපාක හා ප්රවෘත්ති විපාක ද දෙති.
කුසල උපඝාතක කර්මය, අකුසල ජනක කර්මයද, කුසල ජනක කර්මය ද නසා තමාගේ විපාකය ගෙන දෙන්නේය. ආහාර දානමය කුසල කර්මයකින් ප්රතිසන්ධි විපාක ගෙන දීම පිණිස මරණාසන්නයේදී එය කර්ම අරමුණක් වශයෙන් ඉදිරිපත් වූ කල්හි වස්ත්රදානමයවූ කුසල කර්මය, උපඝාතක කුසල කර්මයක් වශයෙන් ඉදිරිපත්ව ආහාර දානමය ජනක කුසල කර්මයාගේ විපාක ශක්තිය නසා තමාගේ විපාකය ගෙන දීම, කුසල උපඝාතක කර්මයෙන් ජනක කුසල කර්මය, නැසීම නම් වේ.
ප්‍රාණඝාත අකුසල ජනක කර්මයක් ප්රතිසන්ධි විපාක ගෙන දීමට ඉදිරිපත් වූ කල්හි විහාරදානමය කුසල උපඝාතක කර්මයක් පැමිණ, ප්‍රාණඝාත අකුසල විපාක ශක්තිය නසා තමාගේ ප්රතිසන්ධි විපාකය ගෙනදීම කුසල කර්මයෙන් අකුසල ජනක කර්මය නැසීම නම් වේ.
සුනඛයෙක් මැරූ ප්‍රාණඝාත අකුසල ජනක කර්මය ප්රතිසන්ධි විපාක දීම පිණිස ඉදිරිපත් වූ කල්හි, ගවයෙකු මැරූ ගව ඝාතක අකුසල කර්මය පැමිණ සුනඛ ඝාතක අකුසල ජනක කර්මයාගේ ප්රතිසන්ධි විපාක ශක්තිය නසා තමාගේ ප්රතිසන්ධි විපාකය ගෙන දීම අකුසල උපඝාතක කර්මයෙන් අකුසල ජනක කර්ම ශක්තිය නැසීම නම් වන්නේය.
ජලය දන්දීම නම්වූ උදකපූජා සඞ්ඛ්‍යාත කුසලජනක කර්මයක්, ප්රතිසන්ධි විපාක දීමට ඉදිරිපත් වූ කල්හි, පක්ෂියෙකු මැරූ උපඝාතක අකුසල කර්මය පැමිණ පළමු කුසල ජනකකර්මයෙහි විපාක ශක්තිය නසා තමාගේ අකුසල විපාක ශක්තියෙන් ප්රතිසන්ධිය ගෙනදීම අකුසල උපඝාතක කර්මයෙන් කුසලජනක කර්මය නැසීම නම් වන්නේය. ප්රවෘත්ති විපාක දෙන්නාවූ කාලයෙහිද, මෙසේම කුසලා කුසල උපඝාතක කර්ම, පළමුව ප්රවෘත්ති විපාක දෙන්නට ඉදිරිපත්වූ කුසලාකුසල විපාක ශක්තිය නසා තමාගේ විපාකය දෙන බව දත යුතුයි.
මේ හැම අවස්ථාවේදීම බලවත්වූ උපඝාතක කර්මය දුර්වල වූ ජනක කර්ම ශක්තිය නැසීම මිස දුර්වල උපඝාතක කර්මය විසින් බලවත් ජනක කර්ම ශක්තිය නැසීමට අසමර්ථ වේ.
ගොවියෙකු විසින් තමාට හාර ක්ෂේත්රය මැනවින් පිළියෙල කොට ධාන්‍ය බීජ වපුරා, එම ශෂ්යයට උපකාර පිණිස දිය බැඳීම්, පොහොර දැමීම්, රැකවල් ලීම්, නෙලීම් ආදිය කොට සිටිනා කල්හි, අධික සූර්ය්ය සන්තාපය කරණකොට ගෙණ දිය සිඳීමෙන් ශෂ්‍ය, මලානිකවී ස්වල්ප කලකට පසු ලැව්ගින්නක් හටගෙන ඒ ශෂ්‍ය යන් දවා විනාශවී ගියාක් මෙන්, කෙතෙහි බීජ වැපිරීම නැමැති ජනක කර්මයාගේ ශක්තියෙන් ප්රතිසන්ධිය ලබාගෙණ ශෂ්‍ය රැකීම නම්වූ උපස්ථම්භක කර්මයාගේ උපකාරයෙන් වර්ධනය වන කල්හි දිය වියලි යාමෙන් ශෂ්‍ය මලානික වීම වැනි වූ උපපීළක කර්මයෙන් හිංසා ලැබ අනතුරුව ලැව්ගින්නෙන් විනාශ වන්නාක් මෙන් උපඝාතක හෙවත් උපච්ඡේදක කර්මයෙන් ජන්ම කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම මැඩලන්නේය.
තවද, දෙව්දත් තෙරනුවන්, ජනක කුසල කර්මයාගේ ශක්ති යෙන් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා ගත්තේය. එමෙන්ම උපත්ථම්භක කුසල කර්මයාගේ උපකාරයෙන් සස්නෙහි පැවිදිව අෂ්ට සමාපත්ති උපදවා ගත්තේය. පසුව බුදුන්වහන්සේට අනතුරු කරන්නට යාමෙන් අකුසල උපපීළක කර්ම රැස්කොට එයින් ජනක කර්මයට හිංසා පමුණුවා ගත්තේය. අවසානයේදී, සංඝ භේදය කොට ඒ උපඝාතක කර්මයේ බලයෙන් ජනක කර්ම ශක්තිය විනාශ කොට එම ආත්මයෙන්ම අවීචිමහා නිරයට යැවීය.