උපපීළක කර්මය
ජනක කර්මයාගේ පරම්පරාවන් නොසිඳ, ජන්ම කර්මයන් නොසිඳ, ජනක කර්මයට හිංසා කරන්නාවූ කර්මය උපපීළක කර්මය නම් වේ.
උපපීළක කර්මයද, කුසල උපපීළක කර්මය, අකුසල උපපීළක කර්මය, යයි දෙවැදෑරුම් වේ. ඒ කර්මද ප්රවෘත්ති කාලයෙහි මිස ප්රතිසන්ධි කාලයෙහි විපාක නොදෙති. නමුත් උපපීළක කුසල කර්මය, ජනක අකුසල කර්මයටද, උපපීළක අකුසල කර්මය, ජනක කුසල කර්මයට ද හිංසා කරයි.
කුසල ජනක කර්මය විපාක දෙන්නාවූ කල්හි, නොහොත් මහත් වූ සම්පත්තියෙන් පිරි කුලයෙක්හි ඉපිද, ඒ සම්පත් අනුභව නොකළහැකිවනු පිණිස රෝගාතුරයෙක් හෝ උමතුවෙක් හෝ කිරීම, අකුසල උපපීළක කර්මයෙන් කුසල ජනක කර්මයට හිංසා කිරීම නම් වේ.
එමෙන්ම අකුසල ජනක කර්මයක් කරණකොට ගෙණ හස්ති යෝනියෙහි හෝ අශ්ව යෝනියෙහි හෝ ගව යෝනියෙහි හෝ උපන් කල්හි, ඔවුන් රාජවාහන පිණිස යෙදූ කල්හි අවශෙෂ මනුෂ්‍යයන්ට වඩා මහත්වූ සැප ඔවුන්ට ලැබෙන්නේය.
දිනක් මහමුගලන් මහරහතන් වහන්සේ ලොකවිවරණ නම් ප්‍රාතිහාර්‍ය්‍යයක් දක්වා අවීචිමහ නිරයෙහි ගිනි නිවා මොහොතක් කල් ධර්ම දේශනා කළ සේක. එකල්හි ඒ නරකයෙහි උපන්නාවූ ඒ සත්ත්වයන්ගේ ජනක අකුසල කර්මයට හිංසා කොට උප පීළක කුසල කර්මය විපාක දීම් වශයෙන් යහපත් වූ ආර්‍ය්‍යයන් වහන්සේ ගේ රූපය දැකීමද, ධර්ම ශබ්දය ඇසීමද, කුසල විපාක වශයෙන් සිදු වූ බව දතයුතුයි.