අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උපත්ථම්භක කර්මය

කුසලාකුසල ජනක කර්මයට හෝ එම ජනක කර්මයෙන් නිපන් ස්කන්ධසන්තානයට හෝ අනුබල දෙන්නාවූ, අන්‍යවූ, කුසලාකුසල ජවන් චිත්තය හා සම්ප්‍රයුක්ත චෙතනා තොමෝ උපත්ථම්භක කර්මය නම් වන්නේය.

ජනක කර්මය ස්වල්ප වූ විපාක දෙන්නාවූ කල්හි එ ජනක කර්මයාගේ විපාක මහත් බව පිණිස රුකුල් දීමට මේ උපත්ථම්භක කර්මය සමත් වේ.

කුසල උපත්ථම්භක කර්මය, අකුසල උපත්ථම්භක කර්මය යයි උපත්ථම්භක කර්මයෝ දෙදෙනෙකි. මේ උපත්ථම්භක කර්ම ප්‍රතිසන්ධි චිත්තයට අනතුරුවූ පළමුවෙනි භවඞ්ග චිත්තය පටන් චුති චිත්තය දක්වා අතර කාලයෙහි මුත් ප්‍රතිසන්ධි කාලයෙහි විපාක නොදෙන්නේය.

කුසල ජනක කර්මයක් විසින් විපාක වශයෙන් නාමස්කන්ධයන් හා කටත්තාරූපයන් උපදවා, පසු කලෙක ඒ ජනක කර්ම යාගේ ශක්තියෙන් නාමස්කන්ධය හා කටත්තාරූපයන් වර්ධනයකිරීමට අපොහොසත් වූ කල්හි, අන්‍යවූ උපස්ථම්භක කුසල කර්ම යක් ඉදිරිපත් වී ඒ විපාක නාමස්කන්ධයන් වර්ධනය කිරීමටදමහත්වූ භවභොග සම්පත් දීම පිණිසද රුකුල් දෙන්නේය.

එමෙන්ම අකුසල ජනක කර්මයක් හේතුකොටගෙණ ගවයෙක්ව ඉපිද, ඒ සත්ත්වයා වැඩිවිය පැමිණි කල්හි බරගැල් ආදියෙහි යොදවා නොයෙක් වද දෙමින් විෂම මාර්ගයෙක්හි ගමන් කරවීම සඳහා සුදුසුවූ අකුසල උපස්ථම්භක කර්මයක් ඉදිරිපත්ව අකුසල විපාක වර්ධනය කරන්නාක් මෙන්, අකුසල විපාක වර්ධනයට රුකුල් දීම මේ අකුසල උපස්ථම්භක කර්මයාගේ ස්වභාවය වේ.

තවද දුර්වල වූ දුහේතුක කර්මයක විපාක වශයෙන් මිනිස් අත්බැව් ලැබ සිටි කල්හි, එම කුසලය කිරීමේදී පිරිවරාගත් නොයෙක් අකුසල කර්මයෝ නැවත උපස්ථම්භක වශයෙන් ඉදිරිපත් වී සා පිපාසා දෙකින් නොමිදීමටත් වෙනත් නොයෙක් දුක් හිරිහැර විඳිමටත් උපකාර වන්නේය.

තවද මේ උපස්ථම්භක කර්මය, දුර්වලවූ කර්මය බලසම්පන්න කරන්නේය. ඔසුපත් නිරයට යා යුතු කෙනෙක් මහානිරයට යවයි. අල්පෙශාක්‍ය කුලයක ඉපදවිය යුතු කෙනෙක් මහෙශාක්‍ය කෙරෙති.