ජනක කර්මය
අසූනවයක් (89) ප්‍රභේද ඇති චිත්ත පරමාර්ථයන් අතුරෙන් ජවන කෘත්‍ය සිද්ධ කරන්නාවූද, විපාක උපදවන්නාවූද, කුසලාකුසල චිත්තයන්හි සම්ප්‍රයුක්ත වූ චෙතනා චෛතසිකය කර්ම නම් වන්නේය.
අසූඑකක් (81) වූ ලෞකික සිත් අතුරෙන් අකුසල් සිත් දොළොසය (12), කාමාවචර කුසල් සිත් අටය (8), රූපාවචර කුසල් සිත් පසය (5), අරූපාවචර කුසල සිත් සතරය (4) යන විසිනවයක් (29) සිත් කර්ම සිත් වශයෙන් සළකනු ලැබේ. මේ කර්මයෝ ද, මහත් බවට සම්පූර්ණ බවට පැමිණි කල්හි කර්මපථ යයි කියනු ලැබේ.
කර්මයන් විසින් උපදවන්නාවූ විපාක ද්විධ වේ. එනම් ප්රවෘත්ති විපාකය, ප්රතිසන්ධි විපාකය යන දෙකය. කර්මපථ බවට පැමිණියාවූ කර්මයන්ගේ විපාක වශයෙන් පටිසන්ධි ප්රවෘත්ති විපාකද්වයම ලැබේ. කර්මපථ බවට නොපැමිණියාවූ කර්මයෝ ප්රවෘත්ති විපාක පමණක් උපදවන්නාහුය. ප්රවෘත්ති විපාකය නම්, උපන්නාවූ සත්ත්වයන්ට, එම භවයේදීම; පූර්ව කර්මයාගේ ශක්තියෙන් උපදවනු ලබන්නාවූ කුසලාකුසල විපාක චිත්තයන්ගේ පහළ වීමෙන් සුඛ, දුක්ඛ, උපෙක්ඛාදී වශයෙන් ලැබෙන්නාවූ විඳිමය. කරණලද කුසලාකුසල කර්මයා ගේ ශක්තිය හේතුකොට ගෙණ එක් භවයෙ කින් චුතවී අතරක් නොමැතිව දෙවෙනි භවයෙහි, විපාක නාමස් කන්ධයෝ ය, ප්රතිසන්ධිය හා එක්ව පහළවන්නාවූ කර්මජ රූප සඞ්ඛ්‍යාත කටත්තාරූපයෝ ය යන මේ නාමරූපද්වය ඉපදවීම පටිසන්ධි විපාක නම් වේ. මෙසේ ප්රතිසන්ධි ප්රවෘත්ති විපාක දෙකම උපදවන්නාවූ කර්මය ජනක කර්මය නම් වේ.
ජනක කර්මය, කුසල ජනක කර්මය, අකුසල ජනක කර්මය, යයි ද්විප්‍රකාර වේ. ඔවුන් අතුරෙන් කුසල ජනක කර්මය කුසල විපාක නාමස්කන්ධයන් හා කටත්තාරූප උපදවයි. කුසල ජනක කර්ම හේතුවෙන් පටිසන්ධි විපාක දීමට අනතුරුව ප්රවෘත්ති විපාක දෙන්නාවූ කල්හි යහපත් පස්කම් සැප හා සියලු භවභෝග සම්පත් ලබා දෙන්නේය. අකුසල ජනක කර්මයාගේ ස්වභාවය නම් දුක් සහිත වූ භූමියෙහි ප්රතිසන්ධිය ලබා දී, ප්රවෘත්ති කාලයෙහි සා පිපාසාදී නොයෙක් දුක් ගෙනදීමය.
කුසලාකුසල ජනක කර්ම හෙවත් කර්මපථ බවට පැමිණි එක් කුසලාකුසල කර්ම ජවන් සිතකින් එක් වරක් ප්රතිසන්ධි විපාකය ගෙනදුන් පසු නැවත එම සිතින්ම ප්රතිසන්ධි විපාක ගෙණදිය නොහැකි වේ. නමුත් ඒ චිත්තයන්ගේ ප්රවෘත්ති විපාක දීමට කාලසීමාවක් නම් නැත.