සප්ත රසායුෂ්ක විභූතාරම්මණ වීථි පස
- සතළොස් චිත්තක්ෂණයකට ආයුෂ ඇති රූපාදී ආරම්මණ යෙක්, පඤ්චද්වාරයෙන් ගෙණ එම අරමුණ එල්බ ගෙණ පඤ්චද්වාරික චිත්ත වීථියක් හටගත් පසු, නැවත එම අරමුණ මෙනෙහි කරණ කල්හි, එම අරමුණම දිට්ඨ, සුත, මුත වශයෙන් අරමුණු කොට මනොද්වාරික චිත්ත වීථියක් හටගන්නේය. මෙසේ ගන්නා ලද අරමුණ ප්‍රකට අරමුණක් වීනම් එක් අතීතභවඞ්ග චිත්තයක්, භවඞ්ග කෘත්‍ය කරමින්ම ගතවන්නේය. මේ අතීත භවඞ්ග චිත්තයාගේ උත්පාදක්ෂණයේදීම එම අරමුණෙහි උත්පාදක්ෂණයද ඇති වන්නාක් මෙන් වැටහී එතැන් පටන් චිත්තක්ෂණ සතළොසක් වනතෙක් එම චිත්ත වීථිය පවත්නේය. අරමුණ ඉතා ප්‍රකට නම්, අතීත භවඞ්ගයට පසු එක් භවඞ්ග චලනයක් සහ එක් භවඞ්ගු- පච්ඡෙදයක් ද ඉපිද නිරුද්ධ වේ.
මේ භවඞ්ගුපච්ඡෙද සිත, අභිනව අරමුණ ගැනීමට උපකාර වන්නාක් මෙන් ඉපිද නිරුද්ධ වන බැවින්, එයට මනොද්වාරය යයිද කියනු ලැබේ.
භවඞ්ගුපච්ඡෙද චිත්තයට අනතුරුව අලුත් අරමුණට සිත් පරම්පරාව යොමු කිරීම් වශයෙන් ආවර්ජන කෘත්‍ය සිද්ධ කරමින් එම අරමුණම ගෙණ මනොද්වාරාවජ්ජන සිත ඉපිද නිරුද්ධවන්නේය. මේ සිත, මනොද්වාර චිත්ත වීථියේ හට ගන්නා පළමුවෙනි වීථි සිත වේ.
මනොද්වාරාවජ්ජන සිතට අනතුරුව, එම සිතින් නංවා දෙන ලද ආරම්මණයෙහි එල්බගෙණ එකුන්තිස් (29) “කාමාවචර ජවන් සිත් අතුරෙන් එක් චිත්තයක් ජවන කෘත්‍යය සිද්ධකරමින් සත්වරක් ඉපිද නිරුද්ධ වේ.
සත්වන ජවන් සිත නිරුද්ධ වූ කල්හි තදාලම්බණ කෘත්‍ය සිද්ධ කරන්නාවූ එකොළොස් කාමාවචර විපාක සිත්වලින් එකක්, ජවනයෙන් අනුභව කොට ශෙෂවූ අරමුණු රසය විඳින්නාක් මෙන් දෙවරක් ඉපිද නිරුද්ධ වේ. මේ තදාලම්බණ සිත් දෙකය.
දෙවෙනි තදාලම්බණ චිත්තයාගේ භඞ්ගයේදී රූපාරම්මණයට ගතවූ කාලය තෙළෙස් (13) චිත්තක්ෂණයකි. තදාරම්මණයන්ගෙන් වීථි සිත් අවසන්වූ බැවින් මෙම චිත්ත වීථියේ ඉතිරි චිත්තක්ෂණ සතර භවඞ්ග සිත් වලින්ම පිරෙන්නේය. මේ පළමුවෙනි විභූතාරම්මණ කාම ජවන වීථිය වේ.
- ආරම්මණයාගේ ප්‍රකට භාවය අඩුවී නම් අතීත භවඞ්ග සිත් දෙකක් ගතවන්නේය. එයට අනතුරුව පිළි වෙලින් භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනෝද්වාරාවජ්ජනය, ජවන් සතය, තදාරම්මණ දෙකය යන තුදුස් (14) චිත්තයෝ ඉපිද, ඉතිරි චිත්තක්ෂණ තුන භවඞ්ග සිත් තුනකින් පිරෙන්නේය. මෙය දෙවෙනි විභූතාරම්මණ කාම ජවන වීථිය වේ.
- තුන්වන විභූතාරම්මණ කාම ජවන වීථියෙහි, අතීත භවඞ්ග සිත් තුනක් ගතවී භවඞ්ගචලනය, භවඞ්ගුපච්ඡේදය, මනෝද්වාරාවජ්ජනය, ජවන් සතය, තදාරම්මණ දෙකය යන පසළොස් (15) චිත්තයන් ඉපිද නිරුද්ධ වූ පසු ඉතිරි චිත්තක්ෂණ දෙක, භවඞ්ග සිත් දෙනෙකින් පිරි චිත්ත වීථිය අවසන් වේ.
- සතරවන විභූතාරම්මණ කාම ජවන වීථියෙහි, අතීත භවඞ්ග සිත් සතරක් ගතවී, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, මනෝද්වාරාවජ්ජනය ජවන් සතය, තදාරම්මණ දෙකය යන සොළොස් (16) චිත්තයන් ඉපිද නිරුද්ධ වූ පසු ඉතිරි චිත්තක්ෂණය භවඞ්ග සිතකින් පිරි චිත්ත වීථිය අවසන් වේ.
5. පස්වන විභූතාරම්මණ කාම ජවන වීථියෙහි, අතීත භවඞ්ග පසක් ගතවී, භවඞ්ගචලනය, භවඞ්ගුපච්ඡේදය, මනොද්වාරාවජ්ජනය ජවන් සතය, තදාරම්මණ දෙකය යන සතළොස් චිත්තයන්ම ඉපිද නිරුද්ධ වූ පසු එයින්ම චිත්ත වීථිය අවසන් වේ.
මේ චිත්ත වීථි පසෙහිම මනොද්වාරාවජ්ජනය, ජවන් සිත් සතය, තදාරම්මණ සිත් දෙකය යන වීථි චිත්තයෝ දසදෙනා බැගින් උපදින බවත්, තදාරම්මණයෝ ඒකාන්තයෙන්ම ඇතිවන බවත් දතයුතුයි.