අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මනොද්වාර චිත්ත වීථි

මනොද්වාරයෙන් ගන්නා ලද ධම්මාරම්මණයක් එල්බ ගෙන පහළවන්නා වූ චිත්ත සන්තතිය හෙවත් සිත්පෙළ මනොද්වාරචිත්ත වීථි නම් වේ. ප්‍රත්‍යුත්පන්න වූද, අතීත වූද, අනාගත වූද, සියලු චිත්ත, චෛතසික, රූප හා කාලවිමුක්ත වූ නිර්වාණ, ප්‍රඥප්ති ධර්මයන්ද මනොද්වාරයට හමුවේ. මනොද්වාරය වනාහි සිතින්ම අරමුණු ගන්නා කල්හි, ඒ අරමුණු හා ස්පර්ශ වන භවඞ්ගුපච්ඡේද සිතය.

මනොද්වාරයෙහි හටගන්නා වූ චිත්තයන් ප්‍රත්‍යුත්පන්න රූපා රම්මණාදිය අරමුණු කරන කල්හි ඒ රූපාදීන්ගේ ප්‍රත්‍යුත්පන්න වූ සතළොස් චිත්තක්ෂණය පවත්නා වූ කල්හි මනොද්වාරයට හමු නොවෙත්. මුවහ කරන ලද්දා වූ අරමුණම ප්‍රත්‍යුත්පන්න වශයෙන් මනොද්වාරයට හමුවෙත්. කලින් දක්නා ලද රූපාදිය නැවත අරමුණු කරණු කැමැති නම්, දිට්ඨ, සුත මුත වශයෙන් ත්‍රිවිධාකාර වූ හෙවත් දක්නා ලද හෝ, අසන ලද හෝ අන් ආකාරයකින් වැදගන්නා ලද හෝ අරමුණම මනොද්වාරයට ප්‍රත්‍යුත්පන්න ආරම්මණයක් වශයෙන් හමුවන බව දත යුතුයි. වත්මන් අරමුණට ආයුෂ චිත්තක්ෂණ සතළොසක් වන බැවින්, ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණයක් ගෙණ හටගන්නා වූ මනොද්වාරික චිත්තවීථින්ටද චිත්තක්ෂණ සතළොසක් ගතවන්නේය. එබැවින් ඒ චිත්ත වීථියෙහි අතීත භවඞ්ගයක් ද පහළවන්නේය.

අතීත රූප, අනාගත රූප, චිත්ත, චෛතසික, නිබ්බාණ පඤ්ඤත්ති යන මේ ආරම්මණයෝ චිත්තක්ෂණ ගණනක් දරා පවත්නා අරමුණු නොවෙති. එබැවින් එම අරමුණු මනොද්වාරයට හමුවීමේදී, පඤ්චද්වාරයෙහි මෙන් ගතවන සිත් ගණන නියම නැත. එහෙයින් එකී අරමුණක් ගෙණ උපදනා මනොද්වාරවීථින්හි අතීත භවඞ්ගයක් නැති බව දත යුතුය.

මනොද්වාරයෙහි විෂය ප්‍රවෘත්ති දෙකෙකි. එනම් විභූතාරම්මණය සහ අවිභූතාරම්මණය යන දෙකය. විභූතාරම්මණය නම් ප්‍රකට හෙවත් පැහැදිලි අරමුණය. අප්‍රකටවූ හෙවත් පැහැදිලි නොවූ අරමුණ අවිභූතාරම්මණය නමි. එබැවින් මනොද්වාරයට හමුවන සියලුම අරමුණු විභූත හෝ අවිභූත වන බව සැළකිය යුතුයි.

මනොද්වාර චිත්ත වීථින්හි උපදනා ජවනයන්ගේ වශයෙන් මනොද්වාර වීථි දෙවැදෑරුම් වේ. එනම් කාමජවන වීථි සහ අර්පණා ජවන වීථි යන දෙකය. එයින් කාමාවචර ජවන් සිත් උපදනා චිත්ත වීථි කාම ජවන චිත්ත වීථි නම් වේ. ධ්‍යාන මාර්ගඵල ජවන් සිත් උපදනා චිත්ත වීථි අර්පණා ජවන වීථි නම් වේ.