අතිපරිත්තාරම්මණ චිත්ත වීථි
වස්තු, ආරම්මණ, ආලොක, මනසිකාරාදීන්ගේ දුර්වලතාවය ඉතාමත් අධිකවිනම්, භවඞ්ග චලනය වන්නට පෙර අතීත භවඞ්ග සිත් දසය සිට පසළොස දක්වා ගතවීමට අවකාශ තිබේ. එසේ ඇති කල්හි, වොට්ඨපන සිත් දෙකක් වත් ඉපදීමට අවකාශ නොලැබෙන්නේය. වොට්ඨපන සිත් දෙකක්වත් හටගැනීමට අවස්ථා වක් නොලදහොත්, වීථි සිත් හටනොගැනීම ධර්මතාවයකි. එබැවින් පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛුවිඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය ආදී වීථි සිත් නොලැබේ. භවඞ්ගුපච්ඡෙදයක් නොලැබෙන්නේ නම් පඤ්චද්වාරාවජ්ජනයක් නොවන්නේය. මේ චිත්ත වීථියෙහි ආරම්මණයට භවඞ්ග චලනය කිරීමට හැකිවන්නේ, රූපය හටගෙන චිත්තක්ෂණය දසයක් හෝ වැඩි ගණනක් ගතවී ඉදිරියට චිත්තක්ෂණ සතක් හෝ අඩුගණනක් ඇති බැවින් රූපයාගේ නිරුද්ධයට ආසන්න අවස්ථාවෙහිදීය. මේ අරමුණට අතිපරිත්තාරම්මණය යයි ව්‍යවහාර වන්නේත් ඒ නිසාමය.
- පළමුවන අතිපරිත්තාරම්මණ චිත්ත වීථියෙහි අතීත භවඞ්ග දසයක් ගතවී, භවඞ්ග චලනය දෙවරක් ඉපිද නිරුද්ධවූ පසු, ඉතිරි චිත්තක්ෂණ පස භවඞ්ග සිත් පසකින්ම පිරෙන්නේය.
- දෙවන අතිපරිත්තාරම්මණ චිත්ත වීථියෙහි අතීත භවඞ්ග එකොළොසක් ගතවී, භවඞ්ග චලන දෙකක් ඉපිද නිරුද්ධවූ පසු ඉතිරි චිත්තක්ෂණ සතර භවඞ්ග සිත් සතරකින්ම පිරෙන්නේය.
- තුන්වන අතිපරිත්තාරම්මණ චිත්තවීථියෙහි අතීත භවඞ්ග දොළොසක් ගතවී, භවඞ්ග චලන දෙසිතක් ඉපිද නිරුද්ධවූ පසු ඉතිරි චිත්තක්ෂණ තුන භවඞ්ග සිත් තුනෙකින්ම පිරෙන්නේය.
- සතරවන අතිපරිත්තාරම්මණ චිත්ත වීථියෙහි අතීත භවාඞ්ග තෙළොසක් ගතවී, භවාඞ්ග චලන සිත් දෙකක් ඉපිද නිරුද්ධවූ පසු ඉතිරි චිත්තක්ෂණ දෙක භවාඞ්ග සිත් දෙකෙකින් පිරෙන්නේය.
- පස්වන අතිපරිත්තාරම්මණ චිත්ත වීථියෙහි අතීත භවාඞ්ග තුදුසක් ගතවී, භවාඞ්ග චලන දෙසිත ඉපිද නිරුද්ධවූ පසු ඉතිරි චිත්තක්ෂණය භවඞ්ග සිතකින්ම පිරෙන්නේය.
- සවැනි අතිපරිත්තාරම්මණ චිත්ත වීථියෙහි අතීත භවඞ්ග පසළොසක් ගතවී, භවඞ්ග චලන දෙසිත ඉපිද නිරුද්ධවීමත් සමග රූපාරම්මණයාගේ නිරුද්ධයද වන බැවින් චිත්තවීථිය දෙවෙනි භවඞ්ග චලනයෙන්ම අවසන් වේ.
මෙසේ අතිපරිත්තාරම්මණ චක්ඛුද්වාරික චිත්ත වීථි සයක්ම ඇති වන්නේය. වීථි සිත් කිසිවක් නැති භවඞ්ග සිත්වලින්ම යුක්ත වූ මේ අතිපරිත්තාරම්මණ චිත්තවීථිවලට මොසවාර හෙවත් හිස්වීථි යයි ව්‍යවහාර කරණු ලැබේ.
සෝතද්වාර, ඝාණද්වාර, ජිව්හාද්වාර, කායද්වාරයන්හිද අතිපරිත්තාරම්මණ චිත්තවීථි සය බැගින් මේ ආකාරයෙන්ම උපදින්නේය. එවිට පඤ්චද්වාරයෙහිම අතිපරිත්තාරම්මණ චිත්තවීථි තිසක් (30) වේ.
චක්ඛුද්වාරික අතිපරිත්තාරම්මණ චිත්ත වීථිය මෙසේයි:-
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17...
(1) භ ති ති ති ති ති ති ති ති ති ති ති න න භ භ භ භ භ ...
(2) භ ති ති ති ති ති ති ති ති ති ති ති ති න න භ භ භ භ ...
(3) භ ති ති ති ති ති ති ති ති ති ති ති ති ති න න භ භ භ ...
(4) භ ති ති ති ති ති ති ති ති ති ති ති ති ති ති න න භ භ ...
(5) භ ති ති ති ති ති ති ති ති ති ති ති ති ති ති න න භ ...
(6) භ ති ති ති ති ති ති ති ති ති ති ති ති ති ති න න යේ ක්‍රමයට, අතිමහන්තාරම්මණ චිත්ත වීථි එකෙක, මහන්තාරම්මණ චිත්ත වීථි දෙකෙක, පරිත්තාරම්මණ චිත්ත වීථි සයෙක, අතිපරිත්තාරම්මණ චිත්ත වීථි සයෙකැයි චක්ඛුද්වාරයෙහි චිත්ත වීථි පසළොසක් වේ. එසේ සොතද්වාරයෙහිද, ඝාණද්වාරයෙහිද, ජිව්හාද්වාරයෙහිද, කායද්වාරයෙහිද පසළොස බැගින් පඤ්චද්වාරයන්හිම පන්සැත්තෑ (75) චිත්ත වීථින් ලැබෙන බව දත යුතුයි.
කාමාවචර පුද්ගල සන්තානයෙහි මේ චිත්ත වීථි පන්සැත්තෑවම ලැබෙන නමුත්, රූපාවචර සන්තානයෙහි ඝාණ, ජිව්හා, කාය යන ප්රසාදයන් නැති හෙයින්, ඝාණද්වාර, ජිව්හාද්වාර, කායද්වාර යන ත්‍රිවිධ ද්වාරයන්හි ලැබිය යුතු පන්සාලිස් (45) චිත්ත වීථි නොලැබෙන්නාහ. අරූපාවචර සන්තානයෙහි රූපයන් නො ලැබෙන හෙයින් පඤ්චද්වාර චිත්ත වීථි නූපදනේය.
පඤ්චද්වාර චිත්ත වීථින්හි ලැබෙන්නේ කාමාවචර සිත් සූපනස (54) පමණය. මහග්ගත ලොකොත්තර සිත් නො ලැබේ. අරමුණු අතුරෙන් ප්‍රත්‍යුත්පන්න රූප, ශබ්ද, ගන්ධ, රස පොට්ඨබ්බා රම්මණයන් පමණක් එල්බගෙන පඤ්චද්වාරික චිත්තවීථි හටගනී. අතීතානාගතාදී ආරම්මණයන් හමු නොවෙත්.