පරිත්තාරම්මණ චිත්තවීථි
වස්තු, ආරම්මණ, ආලොක, මනසිකාරාදීන්ගේ දුර්වලතාවය අධිකනම්, භවඞ්ගචලනය වන්නට පෙර අතීත භවඞ්ග සතරක් හෝ වැඩිගණනක් ගතවන්නේය. එසේ භවඞ්ග චලනයට පෙර අතීත භවඞ්ග සතර සිට නවය දක්වා ගතවන චිත්තවීථි පරිත්තාරම්මණ චිත්ත වීථි නම් වේ.
අතීත භවඞ්ග සතරක් ගතවී භවඞ්ගචලනය, භවඞ්ගුපච්ඡෙදය, පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛු විඤ්ඤාණය, සම්පටිච්ඡනය, සන්තීරණය වොට්ඨපනය යන සිත් එකොළොස ගතවූ කල්හි, සතළොස් චිත්තක්ෂණයට ආයුෂ ඇති රූපාරම්මණයාගේ ඉතිරි කාලය චිත්තක්ෂණ සයකි. වොට්ඨපන චිත්තයට අනතුරුව ඇතිවිය යුත්තේ ජවන්සිත් සතය. එසේ ජවන් සිත් ඇතිවුවහොත් සවැනි ජවන් සිතෙහි භඞ්ගක් ෂණයේදී රූපාරම්මණයාගේ භඞ්ගයද සිදුවන බැවින් සත්වන ජවන් සිත පහළ වීමට අවකාශයක් නැත. මරණාසන්න කාලය, මූර්ඡා අවස්ථාව, දියෙහි ගිලෙන අවස්ථාව, විසංඥ අවස්ථාව මව්කුසින් බිහිවන අවස්ථාව යනාදී අවස්ථාවන්හි, හදය වස්තු ආදීන්ගේ දුර්වල තාවය ඉතාමත් අධික බැවින්, ජවන් සිත් පසක් හෝ සයක් ඇති වන්නේය. අනිකුත් අවස්ථාවන්හි, ජවන්සිත් සතක්ම ඉපදීම ධර්මතාවයකි. ජවන් සිත් සතක් ඇතිවීමට අවකාශ නොමැතිනම්, ජවන් සිත් වෙනුවට තවත් වොට්ඨපන සිත් දෙකක් හෝ එකක් ඇතිවී ඉතිරි චිත්තක්ෂණ භවඞ්ග සිත්වලින්ම පිරෙන්නේය.
චක්ඛුද්වාරයෙහි මෙසේ ඇතිවන පරිත්තාරම්මණ චිත්ත වීථි සයකි. එනම්:—
- අතීතභවඞ්ග සතරක් ගතවී භවඞ්ගචලන ආදිය ඇතිවී, වොට්ඨපන සිත් තුනක් හා භවඞ්ග සිත් සතරකින් අවසන් වන පළමුවෙනි පරිත්තාරම්මණ චිත්ත වීථිය.
- අතීත භවඞ්ග පසක් ගතවී වොට්ඨපන සිත් තුනක් හා භවඞ්ග තුනකින් අවසන්වන දෙවෙනි පරිත්තාරම්මණ චිත්ත වීථිය.
- අතීත භවඞ්ග සයක් ගතවී වොට්ඨපන සිත් තුනක් හා භවඞ්ග දෙකකින් අවසන්වන තුන්වෙනි පරිත්තාරම්මණ චිත්තවීථිය.
- අතීත භවඞ්ග සතක් ගතවී වොට්ඨපන සිත් තුනක් හා එක් භවඞ්ග සිතකින් අවසන්වන සතරවන පරිත්තාරම්මණ චිත්ත වීථිය.
- අතීත භවඞ්ග අටක් ගතවී වොට්ඨපන සිත් තුනකින් අවසන් වන පස්වන පරිත්තාරම්මණ චිත්ත වීථිය.
- අතීත භවඞ්ග නවයක් ගතවී වොට්ඨපන දෙකෙකින් අවසන් වන සවැනි පරිත්තාරම්මණ චිත්තවීථිය.
මෙසේ එක් ද්වාරයෙක්හි පරිත්තාරම්මණ චිත්ත වීථි සය බැගින් පඤ්චද්වාරයන්හි පරිත්තාරම්මණ චිත්ත වීථි තිහක් (30) ඇතිවන බව දතයුතුයි.
චක්ඛුද්වාරික පරිත්තාරම්මණ චිත්ත වීථි සය මෙසේයි.
| 1 | 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 | ||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| (1) | භ | ති | ති | ති | ති | න | ද | පං | ච | සං | ණ | වො | වො | වො | භ | භ | භ | භ |
| (2) | භ | ති | ති | ති | ති | ති | න | ද | පං | ච | සං | ණ | වො | වො | වො | භ | භ | භ |
| (3) | භ | ති | ති | ති | ති | ති | ති | න | ද | පං | ච | සං | ණ | වො | වො | වො | භ | භ |
| (4) | භ | ති | ති | ති | ති | ති | ති | ති | න | ද | පං | ච | සං | ණ | වො | වො | වො | භ |
| (5) | භ | ති | ති | ති | ති | ති | ති | ති | ති | න | ද | පං | ච | සං | ණ | වො | වො | වො |
| (6) | භ | ති | ති | ති | ති | ති | ති | ති | ති | ති | න | ද | පං | ච | සං | ණ | වො | වො |
සොතද්වාරිකාදි අනිකුත් පරිත්තාරම්මණ චිත්ත වීථි මේ ආකාර යෙන්ම දතයුතුයි. ද්වාරික සිත් අතුරෙන් වොට්ඨපන නම්වූ ද්වාරික සිතින් අවසන්වන මේ චිත්ත වීථි සයට වොට්ඨපනවාර යයි ද කියනු ලැබේ. මේ පරිත්තාරම්මණ චිත්තවීථි කාමාවචර රූපාවචර පුද්ගල සන්තානයන්හි උපදි. මේ චිත්ත වීථින්හි ජවන් සිත් නුපදනා බැවින් එහි කර්මයන් නැත්තාහ.