අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මහන්තාරම්මණ චිත්ත වීථි

අතීත භවඞ්ග දෙකක් හෝ තුනක් ගතවී ඉදිරියට චිත්තක්ෂණ පසළොසක් (15) හෝ තුදුසක් (14) ඇති චිත්ත වීථි මහන්තාරම්මණ චිත්ත වීථි නම්. එක් ද්වාරයකට මහන්තාරම්මණ චිත්ත වීථි දෙක බැගින් ද්වාර පසට මහන්තාරම්මණ චිත්ත වීථි දසයක්ම ලැබෙන්නේය.

වස්තු, ආරම්මණ, ආලොක, මනසිකාරාදින්ගේ යම් දුර්වල බවක් ඇති කල්හි, එක් චිත්තක්ෂණයකට වැඩි ගණනක් ගත වී අරමුණ ගැනීම සිදුවන්නේය. මෙසේ චිත්තක්ෂණ දෙකක් ගත වී නම්, අතීත භවඞ්ග සිත් දෙකක් ද, චිත්තක්ෂණ තුනක් ගතවී නම්, අතීත භවඞ්ග සිත් තුනක්ද පහළවී, එයට අනතුරුව පිලිවෙලින් භවඞ්ග චලන භවඞ්ගුපච්ඡෙද, පඤ්චද්වාරාවජ්ජන චක්ඛුවිඤ්ඤාණ, සම්පටිච්ඡන සන්තීරණ වොව්ඨපන සහ ජවන් සිත් සතද ඉපිද නිරුද්ධවන්නේය.

අතීත භවඞ්ග දෙකක් ගතවී නම්, එම චිත්ත වීථියේ සත්වන ජවන් සිත නිරුද්ධවූ කල්හි, චිත්තක්ෂණ සතළොසින් ඉතිරි වන්නේ එක් චිත්තක්ෂණයකි. යම් චිත්ත වීථියක තදාරම්මණ සිත් පහළ වන්නේ නම්, පිළිවෙළින් තදාරම්මණයෝ දෙදෙනෙක්ම පහළ වීම ධර්මතාවකි. තදාරම්මණයන් දෙදෙනෙකුගේ පහළවීමට අවකාශ නැති කල්හි, නොහොත් රූපාරම්මණයාගේ භඞ්ගයට ඇත්තේ එක් චිත්තක්ෂණයක් පමණක් නම්, තදාරම්මණය වෙනුවට එක් භවඞ්ග සිතක් ඉපිද නිරුද්ධ වීමෙන් චිත්ත වීථිය අවසන් වේ.

අරමුණ ගැනීමට අතීත භවඞ්ග තුනක් ගතවී නම්, සත් වන ජවනය නිරුද්ධවීම සමඟම, රූපාරම්මණයාගේ සතළොස් චිත්තක්ෂණය ගෙවීයාමෙන්, රූපාරම්මණය නිරුද්ධවන බැවින් සත්වන ජවනයෙන්ම චිත්ත වීථිය අවසන් වේ.

මෙසේ මේ චිත්ත වීථිය හටගැනීමට උපකාර වූ අරමුණ, අති මහන්තාරම්මණයට වඩා කුඩා බැවින්ද, පරිත්තාරම්මණයට වඩා මහත් බැවින්ද එයට මහන්තාරම්මණ යයි කියති. වීථි සිත්වන ජවනයන්ගෙන් කෙළවරවන බැවින්, මේ චිත්ත වීථි දෙකට ජවන වාරය යයි ද කියති. මහන්තාරම්මණ චිත්ත වීථි දෙක මෙසේ දත යුතුයි.

(1)

ති ති න ද පං ච සං ණ වො ජ ජ ජ ජ ජ ජ ජ භ

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

(2)

ති ති ති න ද පං ච සං ණ වො ජ ජ ජ ජ ජ ජ ජ

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17

සොතද්වාර, ඝාණද්වාර, ජිව්හාද්වාර, කායද්වාර යන සතර ද්වාරයන් ගෙන් ගන්නා ලද ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ ආරම්මණ යන් එල්බගෙන උපදනා මහන්තාරම්මණ චිත්තවීථි ඉහත දක්වන ලද චක්ඛුද්වාරික මහන්තාරම්මණ චිත්තවීථි දෙකට සමානය. චක්ඛුවිඤ්ඤාණය වෙනුවට සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය ජිව්හාවිඤ්ඤාණය සහ කායවිඤ්ඤාණය යොදාගත් කල්හි සෝතද්- ද්වාරික, ඝාණද්වාරික, ජිව්හාද්වාරික, කායද්වාරික මහන්තාරම්මණ චිත්තවීථින්ගේ ආකාරය දත හැකිවේ.

මේ මහන්තාරම්මණ චිත්තවීථි, කාමාවචර, රූපාවචර පුද්ගල සන්තානයන්හි උපදී.