අතිමහන්තාරම්මණ චිත්ත වීථිය
චක්ඛු ප්‍රසාද වස්තුව, රූපාරම්මණය, ආලොකය, මනසිකාරය යන ධර්ම සතර ඉතා බලවත් නම්, එක් චිත්තක්ෂණයක් හෙවත් එක් අතීත භවඞ්ග සිතක් ගතවී, චිත්තක්ෂණ සොළොසක් (16) ඉදිරියට ඇති අතිමහන්තාරම්මණ චක්ඛුද්වාර චිත්ත වීථිය හටගන්නේය. එය මෙසේ දක්වනු ලැබේ.
...භ | ති න ද | පං ච සං ණ වො ජ ජ ජ ජ ජ ජ ජ ත ත | භ... 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17
මෙහි 1, 2, සහ 3 වෙනි සිත්, භවඞ්ග කෘත්‍යය සිද්ධ කරන්නාවූ විපාක සංඛ්‍යාත භවඞ්ග සිත්ය. එහි අරමුණ පූර්ව භවයෙන් සදොරින් ගත් කම්ම, කම්ම නිමිති, ගති නිමිති යන ද්වාරවිමුක්ත අරමුණු වලින් එකෙකි. ඒ සිත් උපදින්නේ හදය වස්තු රූප ඇසුරු කොට ගෙණය.
4. වෙනි පඤ්චද්වාරාවජ්ජන සිත, හදය වස්තු රූපය ඇසුරු කොට ගෙණ උපදින නමුත්, චක්ඛුද්වාරයෙන් ගත් ප්‍රත්‍යුත්පන්න වර්ණායතනය නම්වූ රූපාරම්මණය අරමුණු කරයි. එය අහේතුක ක්‍රියා සිතකි.
5. වෙනි චක්ඛු විඤ්ඤාණ සිත, දස්සන කෘත්‍ය කරන්නාවූ කුසල් හෝ අකුසල් විපාක සිතකි. චක්ඛුප්‍රසාද වස්තුවෙහිදීම, ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණයාගේ ස්පර්ශ වීමෙන් හටගන්නේ ය. 6 සිට 17 දක්වා ඇති ඉතිරි සිත් හදය වස්තු රූපය ඇසුරු කොටගෙණ ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණය අරමුණු කොටගෙන උපදින්නාහුය.
6. වෙනි සම්පටිච්ඡන සිත, සම්පටිච්ඡන කෘත්‍ය කරන්නාවූ අහේතුක විපාක සිතකි.
7. වෙනි සන්තීරණ සිත, සන්තීරණ කෘත්‍යය කරමින් උපදින අහේතුක විපාක සිතකි.
8. වෙනි වොට්ඨපන සිත අහේතුක ක්‍රියා සිතක් වූ මනොද්වාරාවජ්ජන සිතමය. මෙතැන්හිදී වොට්ඨපන කෘත්‍ය සිද්ධ වන්නේය.
9. සිට 15 දක්වා ඇති ජවන් සිත් සත, ජවන කෘත්‍ය සිද්ධ කරන්නාවූ කාමාවචර කුසලාකුසල ක්‍රියා ජවන් සිත් විසිනවයෙන් (29) එකකි.
16. සහ 17 වෙනි සිත් දෙක, තදාලම්බණ කෘත්‍ය සිදු කරන්නාවූ විපාක සිත් එකොළොසින් එකකි. එයට අනතුරුව භවඞ්ග සිත් ඇතිවේ.
මෙහි දක්වන ලද චක්ඛුද්වාරික අතිමහන්තාරම්මණ චිත්තවීථිය මෙන්ම, සොත, ඝාණ, ජිව්හා, කාය යන සතර ද්වාරයෙන්ද ශබ්ද ගන්ධ, රස, පොට්ඨබ්බ යන ආරම්මණයන් එල්බගෙන අති මහන් තාරම්මණ පඤ්චද්වාර චිත්තවීථි සතරක් ඇතිවන්නේය. චක්ඛු විඤ්ඤාණය වෙනුවට සොත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කායවිඤ්ඤාණ යන් යොදා ගත් කල්හි ඒ ඒ ද්වාරික චිත්ත වීථිවල ආකාරය දත හැකි වේ. මෙසේ අතිමහන්තාරම්මණ චිත්ත වීථි පසක්ම ලැබෙන බව දත යුතුයි.
මේ චිත්ත වීථි පසම, තදාරම්මණ සිත් දෙකින් අවසන් වන බැවින් තදාරම්මණ චිත්ත වීථි යන නමින්ද හැඳින් වනු ලැබේ.
අතීත භවංගයාගේ උත්පාදක්ෂණයේදීම උපන් චක්ඛු ප්‍රසාද රූපය හා රූපාරම්මණයද, දෙවෙනි තදාලම්බණ චිත්තයාගේ භඞ්ගක්ෂණයේදී නිරුද්ධ වන බැවින්, චිත්ත වීථිය එතැනින් අවසාන වේ.