චක්ඛුද්වාර වීථි හෙවත් චක්ඛු විඤ්ඤාණ වීථි
චක්ඛුද්වාරයෙන් ගන්නාලද රූපාරම්මණයක් හෙවත් වර්ණ අරමුණක් අල්බගෙණ පහළවන්නාවූ සිත්පෙළ චක්ඛුද්වාර වීථි නම් වේ. මේ සිත් පෙළේ හටගන්නාවූ වීථිචිත්තයෝ සත් වැදෑරුම් වෙත්. එනම් පඤ්චද්වාරාවජ්ජනය, චක්ඛු විඤ්ඤාණය, සම්පටිච්ඡනය සන්තිරණය, වොට්ඨපනය, ජවනය, තදාරම්මණය යන වීථි චිත්තයෝයි මේ වීථි චිත්තයන් නොපවත්නා කල්හි සිත් පරම්පරාව භවඞ්ග චිත්තයන්ගෙන්ම යුක්තවන්නේය. භවඞ්ග සිතෙහි අරමුණ පූර්ව භවයෙන් ගන්නාලද කම්ම, කම්මනිමිති, ගති නිමිති යන අරමුණු වලින් එකෙකි. ප්රතිසන්ධි සිතෙහි අරමුණත්, චුති සිතෙහි අරමුණත් එයමය. යම්විටෙක, යමෙකුගේ සිත භවඞ්ග නොවිනම්, එවිට හෙතෙම සම්මුති මරණයෙන් මියයන්නේ වේ. සත්ත්වයාගේ නොසිඳි පැවැත්මට මේ භවඞ්ග සිතත්, රූප ජීවිතෙන්ද්රියයත්, කර්මජ තෙජොධාතුවත් ප්‍රධාන බව සැළකිය යුතුයි.
චක්ඛුප්රසාදය හා ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණය යන දෙදෙනාගේ ගැටීම ඇති කල්හි චක්ඛුද්වාර චිත්තවීථිය හටගන්නේය. ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණය නම් රූපයාගේ උත්පාදක්ෂණයේ සිට භඞ්ගක්ෂ ණය දක්වා රූපය පවත්නා කාලයයි. ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණය හමුවීමයයි කී කල්හි, මේ සතොළොස් (17) චිත්තක්ෂණයට ආයුෂ ඇති රූපයාගේ උත්පාදක්‍ෂණ යේ දීම හමුවන රූපය බව දත යුතුයි. මේ ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණය හා ස්පර්ශවන චක්ෂුප්රසාද රූපයෝද ප්‍රත්‍යුත්පන්න ප්‍රසාද රූපයෝම වෙත්. එනම් ඒ රූපාරම්මණයාගේ උත්පාදක්ෂණයේ දීම, එකක්ෂණිකව හට ගත් ප්‍රසාද රූප විය යුතුයි. මෙසේ එකක්ෂණිකව උපන් රූපාරම්මණයාගේද, චක්ෂුප්රසාද රූපයාගේ ද ගැටීම වන කල්හි භවඞ්ග චිත්ත පරම්පරාවේ යම් භවඞ්ග සිතක් උපන්නේ නම්, ඒ භවඞ්ග චිත්තයට මේ දෙදෙනාගේ ස්පර්ශය දැනි එතැන් සිට අළුත් චිත්තවීථියක් ඇතිවීමට පිළියෙලවන්නේය. මේ ස්පර්ශය පළමුවරට දැනෙන භවඞ්ග චිත්තයට පළමුවෙනි අතීත භවඞ්ගය යයි කියනු ලැබේ. එබැවින් ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණයක් එල්බගෙන චක්ඛුද්වාර චිත්තවීථිය හටගැනීමේදී රූපාරම්මණයාගේ උත්පාදක්ෂණයද, ඒ රූපාරම්මණය හා ස්පර්ශවන චක්ඛු ප්‍රසාද රූපයාගේ උත්පාදක්ෂණයද, ඒ ස්පර්ශය පළමුකොට දැනෙන අතීත භවඞ්ගයාගේ උත්පාදක්ෂණයද, එකක්ෂණිකව හටගන්නා බව සැළකිය යුතුයි. එයට පෙර හෝ පසුව හෝ උපන්නාවූ වර්ණ අරමුණු හමු නොවන්නාහ. එමෙන්ම අතීතභවඞ්ගයාගේ උත්පාදක්ෂණයට පෙර උපන් ප්රසාදරූපයෝ මන්දායුෂ්ක බැවින් වත්මන් අරමුණු ගත නොහැකි වේ. එයට පසුව උපන් ප්‍රසාදරූප මන්දායුෂ්ක බැවින්ද එයටත් හමුනොවන්නේය.
චක්ෂුප්රසාද රූප පිහිටා තිබෙන්නේ අක්ෂි ගෝලයෙහි දෘෂ්ටි මණ්ඩලයට ඇතුළත් රූප කලාපයන් අතරය. රූපාරම්මණය යයි සම්මත වර්ණ රූපය හමුවන්නේත් ඒ තැන්හිමය. මේ දෙදෙනාගේ ගැටීම චක්ෂු ප්‍රසාද වස්තුවෙහි හටගන්නේ වී නමුත් පළමු කොට එතැන්හිදීම චක්ඛු විඤ්ඤාණය නො ඉපද, හදය වස්තු රූපය ඇසුරු කොට ගෙණ පවත්නා භවඞ්ග චිත්තයට දැනෙන්නේ කෙසේදැයි ප්‍රශ්නයෙකි. එය මෙසේ තේරුම් ගත යුතුයි.
භවඞ්ග චිත්ත පරම්පරාව පවතින්නේ හදය වස්තු රූපය ඇසුරු කොට ගෙණය. ශරීරයෙහි අන් තැනක පිහිටි ප්‍රසාද වස්තුවකට හමුවූ ආරම්මණයක් ගැණීම එකවරටම කළ නො හැකිවේ. හදය වස්තුව ඇසුරු කොට ගෙණ පවත්නාවූ භවඞ්ග සිත් පරම්පරාව ඊට පිළියෙල විය යුතුයි.
සියලුම ශරීරාවයව, නහරවැල් ආදියෙන් එකිනෙකට සම්බන්ධව පවතී. අධ්‍යාත්මක ආයතනයන්ගේ සම්බන්ධය ඉතා ප්රකටය. අධ්‍යාත්මක ආයතනයෝ නම්, චක්ඛායතනය, සොතායතනය, ඝාණා- යතනය, ජිව්හායතනය, කායායතනය සහ මනායතනය යන සයයි. පයෙහි හුලක් ඇණුනු කල්හි ඒ මොහොතේදීම දුක්ඛවෙදනාවෝද අත්පා ආදිය ක්‍රියා කරවීමෙන් ඒ මේ අත දිවීමත්, හෘදය වේගයෙන් ගැසීමත්, වේගයෙන් ආශ්වාස ප්‍රශ්වාස කිරීමත් යනාදී නොයෙක් ක්‍රියා සිදුවන්නේය. විසංඥව සිටින අවස්ථාවක් නම් ආයුධයකින් ශරීරය කපන බිඳින කල්හි ද නිශ්චල වන්නේය. එසේ වන්නේ ඒ වේලාවේදී ආයතනයන් අතර සම්බන්ධය නතරවූ හෙයිනි. මේ ක්‍රමයෙන් හෘදය වස්තුව හා අනිකුත් ප්‍රසාද වස්තූන් ඒකාබද්ධව පවතින බව වටහා ගැනීම දුෂ්කර නොවේ.
දෙමුහුන ඇති බෙරයක්හි එක් මුහුනක පැණි බිඳක් තබා, එහි රසය බොන්නට මැස්සෙක් පැමිණි කල්හි අනික් බෙර ඇසට දණ්ඩකින් පහර ගැසූ කල්හි, පැණි බොමින් සිටි මැස්සා, තමාට වැදුනු පහරක් මෙන් දැනි, ඉගිලි යන්නේය. එමෙන්ම, චක්ඛු ප්‍රසාදයට රූපාරම්මණයක් ගැටුණු කල්හි, චක්ෂුප්රසාදය, හදයවස්තුව හා සම්බන්ධය ඇති බැවින් හදය වස්තුව ඇසුරු කොට ගෙන පවත්නා භවඞ්ග චිත්ත සන්තතියේ එක් භවඞ්ග සිතකට මේ ගැටීම හෙවත් ස්පර්ශය පළමුකොට දැනෙන්නේය.
තවද, සූර්ය්යාලොකය පවත්නා කල්හි යම් පක්ෂියෙක් පියාඹා විත් වෘක්ෂ ශාඛාවක් මත පැමිණීමත් සමඟම, ඒ පක්ෂියාගේ ඡායාවද එකක්ෂණිකව පොළොවෙහි පිහිටන්නාක් මෙන්, චක්ෂු ප්‍රසාදයාගේ හා රූපාරම්මණයාගේද ස්පර්ශ වීමත් සමඟම හදය වස්තු රූපය ඇසුරු කොට ගෙණ පවත්නා භවඞ්ග චිත්තයට, එම අරමුණ එක්තරා ආකාරයෙකින් ස්පර්ශ වන බව දන යුතුයි. භවඞ්ග චලන භවඞ්ගුපච්ඡේද, පඤ්චද්වාරාවජ්ජන යන සිත් හදය වස්තු රූප ඇසුරු කොට ගෙන හටගන්නේ මේ ආකාරයෙන් බව සැළකිය යුතුයි.
මේ අවස්ථාව රූපාරම්මණයාගේ සහ ප්‍රසාද රූපයාගේද උත්පාද අවස්ථාව වන බැවින්, දෙදෙනාම ඉතා දුර්වලය. එබැවින් භවඞ්ග සිතෙහි අරමුණ සෙලවීමට පවා ශක්තියක් නැති හෙයින්, ඒ භවඞ්ග සිත නොවෙනස්ව නිරුද්ධ වන්නේය. මේ භවඞ්ග සිතට අතීත භවඞ්ගය යයි කියනු ලැබේ.
චක්ඛු ප්‍රසාදයත්, ආලොකයත්, ආරම්මණයත්, මනසිකාරයත් ඉතා බලවත් නම් එම අරමුණ අතිමහන්තාරම්මණයක් වශයෙන් ගෙණ, අතිමහන්තාරම්මණ චිත්තවිථියක් හටගන්නේය. එවිට ඇතිවන්නේ එක් අතීත භවඞ්ගසිතකි. මේ අතීත භවඞ්ගය ඉපිද නිරුද්ධවූ කල්හි රූපාරම්මණයාගේ හා ප්රසාදරූපයාගේද ඨිති අවස්ථාව ආරම්භවූ බැවින්ද, භවඞ්ග චිත්ත පරම්පරාව මේ අලුත් අරමුණ ගෙණ ඇතිවිය යුතු සිත්වලට අවකාශ දිය යුතු බැවින්ද, භවඞ්ග සිත සෙලවෙන්නාක් මෙන් දැක්වෙන භවඞ්ග චලන, නම් වූ භවඞ්ග සිත ඉපිද නිරුද්ධ වන්නේය. මෙසේ චලනය වීමෙන් දුර්වල වූ භවඞ්ග සිතට අනතුරුව වීථි සිත් ඉපදීමට අවකාශ තබා නිරුද්ධ වන්නාක් මෙන්, භවඞ්ගුපච්ඡේද නම් වූ භවඞ්ග සිත ඉපිද නිරුද්ධ වේ. මේ ක්‍රමයෙන් දුර්වලවූ භවඞ්ග අරමුණ ගෙන, අතීත භවඞ්ග භවඞ්ග චලන, භවඞ්ගු පච්ඡේද යන සිත් තුන නිරුද්ධවූ කල්හි, බලවත්වූ අලුත් රූපාරම්මණය ගෙන වීථි සිත් ඇති වීමට අවකාශ ලැබෙන්නේය. පළමුවරට අලුත් අරමුණු පහළවන චිත්තය භවඞ්ග සිත මෙන්ම හදය වස්තුවම ඇසුරු කරමින්, අලුත් අරමුණට සිත් පරම්පරාව යොමු කිරීම් වශයෙන් ආවර්ජන කෘත්‍ය කරමින් ඉපිද නිරුද්ධ වන්නේය. එයට පඤ්චද්වාරාවජ්ජන සිත යයි කියනු ලැබේ. මේ පඤ්චද්වාරාවජ්ජන චිත්තය භවඞ්ග වශයෙන් චිත්ත පරම්පරාව හට ගැනීමට අවකාශ නොදී එය වළක්වා වීථි චිත්ත භාවය පිණිස නියෝග කරන්නාක් මෙන් උපදින්නේය. චක්ඛු ප්‍රසාද වස්තුවට හමුවූ අලුත් රූපාරම්මණය අල්ලාගෙන හටගත් පළමුවෙනි වීථි සිත මේ පඤ්චද්වාරාවජ්ජන සිත වේ. ආවර්ජන කෘත්‍ය පමණක් සිදු කරන්නාවූ මේ සිතට ආරම්මණය පිළිබඳව නිසි හැඳිනීමක් නැත. එය අහේතුක ක්‍රියා සිතකි.
මේ අවස්ථාව වන විට, ප්‍රත්‍යුත්පන්න රූපාරම්මණයට හා ප්‍රසාද රූපයටද, චිත්තක්ෂණ සතරක කාලයක් ගත වීමෙන් දෙදෙනාම බලවත්ය. භවඞ්ග සිත්ද වළක්වා අලුත් අරමුණට සිත් පරම්පරාව යොමුකොට පඤ්චද්වාරාවජ්ජන සිත නිරුද්ධ වූ බැවින්, ඊට අනතුරුව උපදින සිත, චක්ඛු ප්‍රසාද වස්තුවෙහිම එයට හමුවූ අලුත් රූපාරම්මණය අල්ලා ගෙන උපදින්නේය. මේ සිත චක්ඛු විඤ්ඤාණය නම් වේ. මේ සිතට හමුවූ අරමුණ ඉෂ්ට නම් එය අහේතුක කුසල විපාක චක්ඛුවිඤ්ඤාණය වේ. අරමුණ අනිෂ්ට නම් අහේතුක අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය වේ. මේ සිත් දෙකම පෙර කුසලාකුසල කර්මයන්ගේ ප්රවෘත්ති විපාක වශයෙන් ලැබෙන සිත් දෙකෙකි. චක්ඛු ප්‍රසාද වස්තුවෙහි මිස අන් තැනෙක මේ චක්ඛුවිඤ්ඤාණ දෙසිත නුපදී. එමෙන්ම චක්ඛුප්‍රසාද වස්තුවෙහිද උපදින්නේ මේ සිත් දෙක පමණකි. එම වීථියට ඇතුළත් අනිකුත් චිත්තයෝ උපදින්නේ හෘදය වස්තුව ඇසුරු කොට ගෙනය.
චක්ඛුප්රසාදය, රූප ධර්මයක් බැවින් අන්ධයකු මෙන් රූපාරම්මණය නො දකී. චක්ඛු විඤ්ඤාණයද පිළෙකු සමාන නාම ධර්මයක් බැවින්, තනිවම රූප නොදකී. නමුත් චක්ඛු ප්‍රසාද නමැති අන්ධයා ගේ කරපිට චක්ඛු විඤ්ඤාණ නමැති පිළා නැග ගොදුරු ගන්නා බව දත යුතුයි.
තවද, නොපිරිහුණු චක්ෂු ප්‍රසාදය ඇති බවය, රූපාරම්මණයක් හමුවීමය, පඤ්චද්වාරාවජ්ජන චිත්තයෙන් අනන්තරප්‍රත්‍යය ලැබීමය, යන මේ කරුණු සම්පූර්ණවීම හේතු කොට ගෙන චක්ඛු විඤ්ඤාණය හටගන්නේය. මෙහි රූපාරම්මණය යයි කියන ලද්දේ ඇසින් දැකිය හැකි සියල්ලටය. එය සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වස්තූන් පිළිබඳ වූ නීල පීතාදි යම් වර්ණයක් හෝ සතරැස්, දිග වටකුරු ආදි සටහනක් හෝ වන්නේය. මේ වර්ණායතනය චක්ෂු ප්‍රසාදය කරා නොපැමිණ, සිටි තැනම සිට අරමුණු වන්නේය. රූපාදී පඤ්චාරම්මණයන් අතුරෙන් රූපය මෙසේ චක්ඛු ප්‍රසාදය කරා නො පැමිණ නො ගැටී අරමුණු වෙත්. ශබ්ද අරමුණද එසේමය. සෙසු අරමුණු එනම් ගන්ධ රස, පොට්ඨබ්බ ආයතනයෝ ඒ ඒ ප්රසාදයන් කරා පැමිණ එහි හැපී අරමුණු වෙත්.
මෙසේ චක්ඛු ප්‍රසාද වස්තුවෙහි හටගන්නා චක්ඛු විඤ්ඤාණය ඉපිද, වර්ණායතනය දැක නිරුද්ධවූවායින් පසු, දක්නා ලද එම අරමුණ අනිෂ්ටාරම්මණයක් වීනම්, අහේතුක අකුසල විපාක සම්පටිච්ඡන චිත්තයද, අරමුණ ඉෂ්ටාරම්මණයක් නම් අහේතුක කුසල විපාක සම්පටිච්ඡන චිත්තයද එක්වරක් ඉපිද නිරුද්ධ වේ. මේ සම්පටිච්ඡන චිත්තයාගේ කෘත්‍යය නම් චක්ඛු විඤ්ඤාණයා විසින් දක්නා ලද අරමුණ පිළිගැනීමය. මේ සිත හටගන්නේ චක්ඛු ප්‍රසාද වස්තුවෙහි නොව හදය වස්තුව ඇසුරු කොට ගෙනය.
සම්පටිච්ඡන චිත්තයට අනතුරුව, එම සිතින් පිළිගන්නා ලද අරමුණ අනිෂ්ටාරම්මණයක් වී නම්, අහේතුක උපෙක්ඛා සහගත අකුසල විපාක සන්තීරණ සිතද, ඉෂ්ටමධ්යාස්ථාරම්මණයක් නම් අහේ තුක උපෙක්ඛා සහගත කුසල විපාක සන්තීරණ චිත්තයද, අතිඉෂ්ටා රම්මණයක් නම් අහේතුක සොමනස්ස සහගත කුසල විපාක සන්තීරණ චිත්තයද එක් වරක් ඉපිද නිරුද්ධ වේ. මේ සන්තීරණ චිත්තයාගේ කෘත්‍යය නම් සම්පටිච්ඡන සිත විසින් පිළිගන්නා ලද අරමුණ විමසා බැලීමය.
සන්තීරණ චිත්තයට අනතුරුව අහේතුක ක්‍රියා සිතක්වූ මනොද්වාරාවජ්ජන චිත්තය, වොට්ඨපන යන නමින් ඉපිද එම රූපාරම්මණය නිශ්චය කොට දී නිරුද්ධ වන්නේය. මේ වොට්ඨපන සිතින් නිශ්චය කරනු ලබන්නේ එයට පෙර පහළ වූ සන්තීරණ සිතින් විමසන ලද ක්‍රමයට විරුද්ධ නොවන ආකාර යෙනි.
වොට්ඨපන චිත්තය ඉපිද නිරුද්ධ වූ කල්හි, පඤ්චද්වාරාවජ්ජන සිතින් ආවර්ජනය කළ ක්රමයටත්, වොට්ඨපන සිතින් නිශ්චය කළ ක්රමයටත් අවිරුද්ධව, එකුන් තිස් (29) කාමාවචර කුසලාකුසල ක්‍රියා ජවන චිත්තයන් අතුරෙන් එක් සිතක් ජවන කෘත්‍ය සිද්ධ කරමින්, පිළිවෙලින් සත් වරක් ඉපිද, ඒ අරමුණු රසය ආශ්වාදනයකොට, නිරුද්ධ වන්නේය.
චක්ඛු විඤ්ඤාණයෙන් දක්නාලද රූපාරම්මණය ප්‍රිය මනාප වී නම්, වොට්ඨපන සිතින් එම අරමුණ ඇලුම් කටයුතු යයි නුනුව- ණින් හෙවත් අයොනිසො මනසිකාරයෙන් නිශ්චය කළ කල්හි, ලොභ මූල අකුසල ජවන් අටෙන් එකක් උපදනේය.
අනිෂ්ටාරම්මණයක් දැක, නුනුවණින් යුක්තව, වොට්ඨපන සිතින් කිපියයුතු යයි නිශ්චය කෙළේ වී නම්, දෙසමූල අකුසල ජවන් දෙකෙන් එකක් උපදී.
ඉෂ්ට හෝ අනිෂ්ට හෝ අරමුණක් දැක වොට්ඨපන සිතින් මුළාවී නම්, මොහමූල අකුසල ජවන් දෙකෙන් එකක් උපදනේය.
වොට්ඨපන සිතින්, නුවණින් යුක්තව, ඇතිසැටියෙන් ආරම්මණය නිශ්චය කෙළේවීනම් හෝ, බුද්ධ දර්ශනාදී අති ඉෂ්ටාරම්මණයක් හමුවී වොට්ඨපන චිත්තය කරණකොට ගෙණ පැහැදුණේවී නම් හෝ කාමාවචර කුසල් ජවන් අටෙන් එකක් හෝ රහතන් වහන්සේ නම් කාමාවචර ක්‍රියා ජවන් නවයෙන් (මහා ක්‍රියා 8 ත් හසිතුප්පාදයත් යන නවය) එක් සිතක් හෝ ජවන් වශයෙන් උපදින්නේය. ජවනක්ෂණයෙහි ඇතිවන රඤ්ජන, දුස්සන, මුය්හන, පසාදන, විරමණ, උක්කණ්ඨනා දි ය කරණකොට ගෙන කුසලාකුසල භාවය හා ක්‍රියා භාවය ද සිදුවන බව දතයුතුයි.
මෙකී ජවන් සිත්හි යෙදෙන චෙතනා චෛතසිකය කර්ම යන නාමය ලබන්නේය. පඤ්චද්වාරික චිත්ත වීථින්හි ඇතිවන ජවන් සිත්හි යෙදෙන චෙතනා චෛතසිකය කර්මපථ භාවයට නොපැමිණේ. එබැවින් එයින් ප්රවෘත්ති විපාක මිස පටිසන්ධි විපාක නොලබන්නේය. මෙම චක්ඛුද්වාරික චිත්තවීථියේ අරමුණ අතීත වශයෙන් එල්බගෙන මනොද්වාර චිත්තවීථි සතරක් උපදිත්. ඔවුන් අතුරෙන් පළමුවෙනි, දෙවෙනි, තුන්වෙනි මනොද්වාරික චිත්ත වීථින්හි ලැබෙන ජවන් එක් විස්සෙහි (21) සම්ප්‍රයුක්ත චෙතනා එක්විස්සද (21) පෙර කී චෙතනා මෙන්ම ප්රවෘත්ති විපාක මිස, පටිසන්ධි විපාක ගෙන නොදෙන්නේය. අවසානයෙහි හටගන්නා අර්ථසාධක වූ, සතරවන මනොද්වාරික චිත්ත වීථියෙහි සම්ප්‍රයොග වන චෙතනා කර්මපථ භාවය සිද්ධ කිරීමට සමත් වේ. ඒ චෙතනා සතෙන්, පළමුවන ජවන් සිතෙහි චෙතනාව දිට්ඨධම්ම වෙදනීය වශයෙන් මෙලොවෙහි ද, සත්වන ජවනය හා යෙදුන චෙතනාව උපපජ්ජ වෙදනීය වශයෙන් දෙවන ආත්ම භාවයෙහිද, මැද ජවන් පස හා යෙදුන චෙතනා පස, ස්කන්ධ පරිනිර්වාණය දක්වා සසරදී අවකාශ ලත් විටෙක, අපරාපරිය වශයෙන්ද ප්රතිසන්ධි පසක් හා ප්රවෘත්ති විපාක ද දෙන්නාහු වෙත්. එබැවින් එක් අරමුණක් නිසා, ප්‍රත්‍යුත්පන්න අතීතාරම්මණ වශයෙන් පඤ්චද්වාර, මනොද්වාරයන්හි හටගන්නා චිත්ත වීථි පසෙහි ජවන් පන්තිසක් (35) ඇතිවන බවත්, එයින් එකුන් තිසක් (29) සමග යෙදෙන චෙතනා විසි නවය ප්රවෘත්ති විපාක පමණක් දෙන බවත්, අවසාන අර්ථසාධක චිත්තවීථියේ වූ අවසාන ජවන් සයෙහි යෙදෙන චෙතනා සය ප්රතිසන්ධි ප්රවෘත්ති විපාක දෙකම ගෙනදෙන බවත් දතයුතුයි. ජවන් සිත් නිරුද්ධ වූ පසු මේ චිත්තවීථියෙහි දක්වන ලද තදාලම්බන කෘත්‍ය කරන්නාවූ සිත් එකොළොසින් එක් සිතක්, ජවනයෙන් අනුභවකොට ශෙෂවූ අරමුණු රසය විඳින්නාක්මෙන් දෙවරක් ඉපිද නිරුද්ධ වේ. මෙයින් මේ සප්තරසායුෂ්ක හෙවත් සතළොස් චිත්තක්ෂණයෙකින් යුක්ත චක්ඛුද්වාර චිත්ත වීථිය අවසන් වේ. අති ඉෂ්ටාරම්මණයක් ලැබුනේවීනම් සොම්නස් තදාලම්බන පසෙන් එකක් ලැබෙන්නේය. ඉෂ්ට මධ්‍යස්ථ අරමුණක් නම් කුසල විපාක උපෙක්ඛා සහගත තදාලම්බන පසෙන් එකක් ලැබෙන්නේය. අනිෂ්ට අරමුණක් නම් අකුසල විපාක තදාලම්බණය ඇති වන්නේය.
පඤ්චද්වාරික චිත්තවීථින් අතුරෙන් අති මහන්තාරම්මණ චිත්ත වීථියකම තදාලම්බණයෝ ඇතිවන බව දතයුතුයි. මේ තදාලම්බණයට පසුව නැවතත් භවඞ්ග සිත් පරම්පරාව පහළ වේ. එබැවින් මේ තදාලම්බණ සිත, ජවනයන්ට හා භවඞ්ගයට අවිරුද්ධ ආකාරයෙන් හටගන්නාවූ විපාක සිතක් බව දත යුතුයි. U
මෙසේ දක්වනලද චිත්තවීථිය පිළිබඳ වූ අනෙකවිධ කෘත්‍යයන් සිද්ධකරමින් ඉපිද නිරුද්ධ වන චිත්තයන්ගේ පිළිවෙලින් පහළවීම, කෙසේ ඇතිවීදැයි අසන්නේ නම්, කාරකයෙක් හෙවත් කතෘ කෙනෙක් නොමැතිව, තමාගේ ස්වභාවයෙන්ම, අරමුණ විසින් ප්‍රසාදය පහරණු ලැබූ තැන් පටන්, චිත්ත නියමයෙන් ආවර්ජනාදී චිත්තයන්ගේ උත්පත්තිය වන බව කිව යුතුයි.
මේ ලෝකයෙහි, ලෝකස්වභා, ධර්මස්වභා වශයෙන් කාරකයෙක් නොමැතිව සිද්ධවන්නාවූ නියාම ධර්මයෝ පස් දෙනෙකි. එනම් උතුනියාමය, බීජනියාමය, ධර්ම නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය යන නියාමයෝ පස්දෙනායි. කාරකයෙක් නොමැතිව සීත, උෂ්ණ, වර්ෂා ආදිය ඇතිවීම උතු නියාමය යි. වැල් ජාතීහු ආසන්න ගසක වෙළි වැඩීම, ඒ ඒ ගස්වල ඒ ඒ වර්ගයේ මල්ඵල හටගැණීම, සිදුරු සහිත ගස් කොළ ඇතිවීම යනාදිය බීජ නියාමය වේ.
බෝසත්වරුන් පහළවීමාදියේදී පෘථුවිකම්පාව, දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පහළ වීම ආදිය ධර්මනියාමය වේ. කුසල කර්මයට කුසල විපාකත්, අකුසල කර්මයට අකුසල විපාකත් ලැබීම යනාදිය කර්ම නියාමය නම් වේ. චිත්තවීථින්හි ඒ ඒ චිත්තයන් හටගන්නා පිළිවෙල ආදිය චිත්ත නියාම නම් වේ. මෙකී නියාම ධර්ම පසින් චිත්තයන්ගේ පරිපාටිය හෙවත් කාරකයෙක් නැතිව සිත් හටගන්නා පිළිවෙල චිත්ත නියාමය බව දතයුතුයි.
අතිමහන්තාරම්මණ චක්ඛුද්වාර චිත්තවීථිය වටහා ගැණීමට අම්බෝපමාව දක්වනු ලැබේ. එනම්:-එක්තරා පුරුෂයෙක්, පැසුණු අඹඵල ඇති ගසක් මුල හිස වසාගෙණ නිදා සිටින කල්හි, විලිකුම් අඹ ඵලයක් නටුවෙන් ගැලවී ඔහු සමීපයෙහි වැටුණු ශබ්දය අසා පිබිදී ඇස හැර බලා අඹ ඵලය දැක, අතින් ගෙණ ඇගිලිවලින් ඔබා විලිකුන් බව විමසා, නැහැයෙන් සිඹ විලිකුන් බවම නිශ්චය කොට ගෙණ, එය අනුභව කොට තලු ආදියෙහි රැඳී ගිය අඹ රසය, මුඛගත සෙම සහිතව ගිල නැවත පළමු පරිද්දෙන්ම නිදන්නේය.
මේ උපමාවෙහි ඵල සහිත වූ අඹ ගස කාම සුගති භවය මෙන්ද, පුරුෂයා කාමාවචර සත්ත්වයා මෙන්ද, නිදා සිටීම මෙන් භවඞ්ගයද, අඹ ඵලය ගැලවී වැටීම මෙන් අරමුණ හමුවීමද පිබිද බලන්නාක් මෙන් ආවර්ජනා සිතද අඹ ඵලය දැකීම මෙන් චක්ඛු විඤ්ඤාණයද, එය අතින් ගැණීම මෙන් සම්පටිච්ඡන සිතද, අඹ ඵලය අතගා බැලීම මෙන් සන්තිරණ සිතද, නැහැයෙන් සිඹ විලිකුන් බව නිශ්චය කරගැණීම මෙන් වොට්ඨපන සිතද, ඵලය අනුභව කිරීම මෙන් ජවන් සිත්ද, තලු ආදියෙහි රැඳී රසය ගිලීම මෙන් තදාරම්මණයද, නැවත නිදාගැණීම මෙන් භවඞ්ගපාතයද දත යුතුයි.
චිත්ත වීථි ලියා දැක්වීමේ පහසුව සඳහා, සිත් හැඳිනීම පිණිස මෙසේ සලකුණු යොදනු ලැබේ:-
- හ - භවඞ්ගය
- ති - අතීත භවඞ්ගය
- න - භවඞ්ග චලනය
- ද - භවඞ්ගුපච්ඡෙදය
- පං - පඤ්චද්වාරාවජ්ජනය
- ච - චක්ඛු විඤ්ඤාණය
- සො - සොතවිඤ්ඤාණය
- ඝා - ඝාණවිඤ්ඤාණය
- ජි - ජිව්හා විඤ්ඤාණය
- කා - කායවිඤ්ඤාණය
- සං - සම්පටිච්ඡනය
- ණ - සන්තීරණය
- වො - වොට්ඨපනය
- ජ - ජවනය
- ත - තදාරම්මණය
- ම - මනොද්වාරාවජ්ජනය
- ප - පරිකර්මය
- උ - උපචාරය
- නු - අනුලෝමය
- ගො - ගොත්රභූ
- වො - වොදානය
- ග්ග - මාර්ග සිත
- ඵ - ඵල සිත
- ඣා - ධ්‍යාන සිත
- චු - චුති සිත
- පටි - පටිසන්ධි සිත