අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඤ්චද්වාර චිත්ත වීථි

චිත්තයන්ගේ පහළවීමට උපකාරවන, ආරම්මණයන්ගේ ඇතුල් වීම සිදුකරන්නාවූ ද්වාරයන්ගේ වශයෙන් චිත්ත වීථි ද්විප්‍රකාර වේ. එනම්:— පඤ්චද්වාර වීථි හා මනෝද්වාර වීථි යනුයි.

චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය යන ද්වාර පසට වැටුණු අරමුණු එල්බගෙණ පවත්නා චිත්ත සන්තතිය හෙවත් සිත් පෙළ පඤ්චද්වාර චිත්ත වීථි නම් වේ.

මනෝද්වාරයට වැටුණු ධම්මාරම්මණයක් එල්බගෙණ පවත්නා චිත්ත සන්තතිය හෙවත් සිත්පෙළ මනෝද්වාර චිත්ත වීථි නම් වේ.

චිත්තවීථියක් දැක්වීමේදී වීථි සිත් හා වීථිමුක්ත සිත් යයි සිත් දෙකොටසක් හමුවේ. මේ භවයෙහිදී සදොරින් ගන්නා ලද අරමුණු එල්බගෙණ හටගන්නා සිත් වීථි සිත් නම්. එසේ නොගත් පෙර, භවයෙහිදී සදොරින් ගත් කම්ම, කම්ම නිමිති, ගති නිමිති යයි සම්මත අරමුණු අතුරෙන් එක් අරමුණක් එල්බ ගෙණ පවත්නාවූ, පටිසන්ධි, භවඞ්ග, චුති, කෘත්‍යයන් සිද්ධ කරන්නාවූ, ද්වාර විමුක්ත සිත් යයි ව්‍යවහාර කරණු ලබන චිත්තයෝ, වීථි චිත්තයන්ට ඇතුළත් නොවන හෙයින් වීථි මුක්ත සිත් නම් වේ.

සිත, අවස්ථා හෙවත් කුඩා චිත්තක්ෂණ තුනෙකින් යුක්තය. සිත උපදින අවස්ථාවට උත්පාදක්ෂණය යයිද, සිත පවත්නා අවස්ථා වට ඨිතික්ෂණය යයිද, චිත්තයාගේ බිඳීම හෙවත් මරණය සිදු වන අවස්ථාවට භඞ්ගක්ෂණය යයි ද ව්‍යවහාර වේ. මෙසේ උත්පාද, ඨිති, භඞ්ග යන ක්ෂණත්‍රය එක්වූ කල්හි එක් චිත්තක්ෂණයක් වෙයි. එයම චිත්තයාගේ ආයුෂය වේ.

සිතට ගෝචර වන රූප ධර්‍මයන්ට මෙබඳු චිත්තක්ෂණ සත් ළොසක් (17) හෝ උත්පාදක්ෂණාදී කුඩා ක්ෂණ එක්පනසක් (51) හෝ ආයුෂ ඇත්තේයි. මේ රූපයාගේ ද, උත්පාද, ඨිති, භඞ්ග යන අවස්ථා තුනෙක් ඇත. එයින් රූපයාගේ උත්පාද අවස්ථාව, චිත්තයාගේ උත්පාදක්ෂණයට සමාන ආයුෂ ඇත්තේය. එහි භඞ්ග අවස්ථාවද, චිත්තයාගේ භඞ්ගක්ෂණයට සමාන ආයුෂ ඇත්තේය. නාම ධර්ම යන්ගේ ඨිති කාලය එක් කුඩා චිත්තක්ෂණයක් වන නමුත්, රූපයාගේ ඨිති කාලය කුඩා ක්ෂණ එකුන් පනසකට (49) ආයුෂ ඇත්තේය. මෙසේ නාම ධර්මයන්ගේ හා රූප ධර්මයන්ගේද උත්පාදක්ෂණයත්, භඞ්ගක්ෂණයත් එක සමාන ආයුෂ ඇති බවත්, නාමධර්මයන්ගේ ඨිති කාලය එක් කුඩා ක්ෂණයක් වන නමුත් රූප ධර්මයන්ගේ ඨිති කාලය කුඩා ක්ෂණ එකුන්පනසක් (49) වන බවත් දත යුතුයි. විසිඅට රූප ධර්මයන් අතුරෙන් රූප දෙවිස්සකට (22) සතළොස් (17) චිත්තක්ෂණ බැගින් ආයු ඇති නමුත්, ඉතිරි රූප සයට, එනම් උපවය, රූප, සන්තති රූප, ජරතා රූප, අනිච්චතා රූප, කායවිඤ්ඤත්ති රූප, වචීවිඤ්ඤත්ති රූප යන රූපයන්ට ආයුෂ එයට අඩු බව දත යුතුයි. රූප නිර්දේශ යෙහිදී එහි විස්තර දක්වනු ලැබේ.

චක්ඛුද්වාර වීථි, සෝතද්වාර වීථි, ඝාණද්වාර වීථි; ජිව්හාද්වාර වීථි, කායද්වාරවීථි යන වීථි පස පඤ්චද්වාර චිත්ත වීථි නම් වේ. මෙයටම චක්ඛුවිඤ්ඤාණ වීථි, සෝතවිඤ්ඤාණ වීථි, ඝාණවිඤ්ඤාණ වීථි, ජිව්හාවිඤ්ඤාණ වීථි, කාය විඤ්ඤාණ වීථි යයි ද ව්‍යවහාර කරනු ලැබේ.