ෂට්ක සය
චිත්ත වීථි පිළිබඳව මනා දැනීමක් ඇති කර ගැණීමට ෂට්ක සය දැනගත යුතුයි. ෂට්ක සය නම්:-
- වස්තු සය,
- ද්වාරසය,
- අරමුණු සය,
- විඤ්ඤාණ සය,
- වීථි සය,
- විෂය ප්රවෘත්ති සය යි.
සදොරින් ගන්නාලද යම් අරමුණක් එල්බ ගෙණ සිත් පෙළක් ඇතිවීමේදී අසුවල් සිත, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, හදය, යන වස්තු සය අතුරෙන් අසුවල් වස්තුව ඇසුරුකොට ගෙණ උපද නේය, ඒ සිත චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය, මන යන ෂට් ද්වාරයන් අතුරෙන් අසුවල් ද්වාරයට අයත්ය, ඒ සිත රූප, ශබ්ද, ගන්ධ රස, පොට්ඨබ්බ, ධම්ම යන සයාරම්මණයන් අතුරෙන් අසුවල් අරමුණෙහි එල්බගෙණ උපදනේය, ඒ සිත, චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනො විඤ්ඤාණ, යන විඤ්ඤාණ සයෙන් අසුවල් විඤ්ඤාණයක්ය ඒ සිත චක්ඛුද්වාර වීථි, සෝතද්වාර වීථි, ඝාණද්වාර වීථි, ජිව්හා ද්වාර වීථි. කායද්වාර වීථි, මනෝද්වාර වීථි යන වීථි සය අතුරෙන් අසුවල් චිත්ත වීථියට අයත්ය, ඒ සිතෙහි අරමුණ, අතිමහන්තය, මහන්තය, පරිත්තය, අතිපරිත්තය, විභූතය, අවිභූතය යන විෂය ප්රවෘත්ති සයෙන් අසුවල් ආකාරයෙන් සිතට වැටහෙන්නේයයි ද දැනගත යුතුව තිබේ.
මේ ෂට්ක සය අතුරෙන් වස්තු සය, ද්වාර සය, අරමුණු සය සහ විඤ්ඤාණ සයද මෙයට පෙර විස්තර කරනලදී. එබැවින් දැන් වීථි සයත්, විෂය ප්රවෘත්ති සයත් විස්තර කරණු ලැබේ.