විපාක නියමය
ආරම්මණයෝ තුන් වැදෑරුම් වෙත්. එනම්, අනිෂ්ටාරම්මණ, ඉෂ්ටමධ්යස්ථාරම්මණ සහ අති ඉෂ්ට ආරම්මණ යෝයි.
පූර්වයෙහි කරන ලද අකුශල කර්මයන්ගේ විපාක වශයෙන් අනිෂ්ටාරම්මණයන්ද, කුසල කර්මයන්ගේ විපාක වශයෙන් ඉෂ්ට මධ්‍යස්ථ සහ අති ඉෂ්ටාරම්මණයන්ද හමුවන්නාහ.
අනිෂ්ටාරම්මණයක් හමුවීමෙන් පහළවන චිත්ත වීථියක ලැබෙන විපාක වීථි සිත් සියල්ලම අකුසල් විපාක සිත්ම විය යුතුයි. එසේම ඉෂ්ටාරම්මණයක් හමුවීමෙන් ඇතිවන චිත්ත වීථියක ලැබෙන විපාක වීථි සිත් සියල්ල කුසල විපාක සිත්ම විය යුතුයි.
අකුසල විපාක වශයෙන් ලැබෙන වීථි සිත් සතකි.
එනම්:-
අකුසල විපාක චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ සිත් 5
අකුසල විපාක සම්පටිච්ඡන සිත 1
අකුසල විපාක සන්තීරණ සිත 1
7
කුසල විපාක වශයෙන් ලැබෙන වීථි සිත් සොළොසෙකි.
එනම්:-
කුසල විපාක චක්ඛු විඤ්ඤාණාදි විඤ්ඤාණ සිත් 5
කුසල විපාක සම්පටිච්ඡන සිත 1
කුසල විපාක සන්තීරණ සිත් 2
මහා කුසල විපාක සිත් 8
16
පූර්වයෙහි රැස්කරණ ලද්දාවූ අකුසල කර්මයන්ගේ විපාක වශයෙන් අප්‍රිය වූ ද, නොකැමැති වූ ද, අමනාප වූ ද, අනිෂ්ටාරම්මණයක් හමුවූ කල්හි, භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡෙදය, යන දෙසිතට අනතුරුව පඤ්චද්වාරාවජ්ජන සිත ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව අකුසල විපාක, චක්ඛු විඤ්ඤාණාදි එක් විඤ්ඤාණ සිතක් පහළවේ. මේ සිත ඉපිද නිරුද්ධ වූ පසු අකුසල විපාක සම්පටිච්ඡන, සන්තීරණ යන විපාක සිත් දෙක පහළ වන්නේය. එයට අනතුරුව වොට්ඨපන චිත්තය පහළවී අකුසල් ජවන් සිතක් පිළිවෙලින් සත්වරක් ඉපිද නිරුද්ධවේ. අතිමහන්තාරම්මණයක් අරමුණු කෙළේ වී නම්, අකුසල විපාක සන්තීරණ සිත සත්වන ජවනයට අනතුරුව, තදාරම්මණ කෘත්‍ය සිද්ධ කරමින් පිළිවෙලින් දෙවරක් ඉපිද නිරුද්ධ වන්නේය.
පූර්වයෙහි රැස්කරන ලද්දාවූ කුසල කර්මයන්ගේ විපාක වශයෙන්, ප්‍රිය වූ ද කැමැති වන්නාවූ ද මනාප වූ ද, ඉෂ්ට මධ්යස්ථාරම්මණයක් හමුවූ කල්හි භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡෙදය, යන සිත් දෙකට අනතුරුව පඤ්චද්වාරාවජ්ජන සිත ඉපිද නිරුද්ධ වේ. එයට අනතුරුව කුසල විපාක චක්ඛු විඤ්ඤාණාදි එක් විඤ්ඤාණ සිතක්ද, කුසල විපාක සම්පටිච්ඡන සිත ද, කුසල විපාක උපෙක්ඛාසහගත සන්තීරණ සිතද ඉපිද නිරුද්ධ වේ. එයට පසු වොට්ඨපන චිත්තය ඉපිද නිරුද්ධ වූ කල්හි, කුසලා කුසල ජවන් සිත් වලින් එක් සිතක් පිළිවෙලින් සත්වරක් ඉපිද නිරුද්ධ වන්නේය. අතිමහන්තාරම්මණ චිත්තවීථියක් නම්, සත්වන ජවනයට අනතුරුව, අහේතුක උපෙක්ඛා සහගත සන්තීරණ සිතය, උපෙක්ඛා සහගත මහා විපාක සතරය යන අහේතුක, සහේතුක විපාක සිත් පසෙන් එක් සිතක් තදාරම්මණ කෘත්‍ය සිද්ධ කරමින් දෙවරක් ඉපිද නිරුද්ධ වන්නේය.
බලවත්වූ කුසල කර්මයාගේ විපාක වශයෙන් අතිශයින් ප්‍රිය වූද, ඉතා මනාපවූද, බුද්ධ ප්රතිමාදී දර්ශනයක් හෝ, ඉතා මිහිරි ශබ්දයක් හෝ අතිඉෂ්ටාරම්මණයක් වශයෙන් හමුවූ කල්හි, භවාඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, පඤ්චද්වාරාවජ්ජනය, කුසල විපාක චක්ඛු විඤ්ඤාණාදී එක් විඤ්ඤාණ සිතක්ය, කුසල විපාක සම්පටිච්ඡනය, කුසල විපාක සොමනස්ස සන්තීරණය, වොට්ඨපන සිතය යන සිත්, පිළිවෙලින් ඉපිද නිරුද්ධ වන්නාහ. එයට අනතුරුව කාම ජවනයන් අතුරෙන් එක් සිතක් ජවන් වශයෙන් සත්වරක් ඉපිද නිරුද්ධ වේ. එය අති මහන්තාරම්මණ චිත්ත වීථියක් වී නම්, සොමනස්ස සන්තීරණය, සොමනස්ස මහා විපාක සතරය යන සොමනස්ස කුසල විපාක පසෙන් එකක් තදාරම්මණ වශයෙන් දෙවරක් ඉපිද නිරුද්ධ වන්නේය.
රහතන් වහන්සේලාටද, ඉෂ්ටානිෂ්ටාරම්මණයන් හමුවූ කල්හි, කුසලාකුසල විපාක විඤ්ඤාණයද, කුසලාකුසල විපාක සම්පටිච්ඡන සන්තීරණ සිත්ද උපදින්නේ වී නමුත් සියලු කෙළෙසුන් නැසූ හෙයිනුත්, මතු භවයක් නැති හෙයිනුත්, වොට්ඨපන සිතට අනතුරුව කුසලා කුසල ජවන් සිත් පහළ නොවන්නාහ. උන්වහන්සේලාට ඒ වෙනුවට පහළ වන්නේ ක්‍රියා ජවන්මය.