අර්පණා නියමය
අර්පණාචිත්ත විථියක, අර්පණා චිත්තයට පෙර පරිකර්ම උපචාර, අනුලොම, ගොත්රභූ යයි සිත්සතරක් උපදී. මේ සිත්සතර බොහෝ සෙයින් සමාන බැවිනුත්, අර්පණා චිත්තයට ඉතා ලංව, එයටම අනුකූලව උපදින හෙයින්, එයට උපචාර සිත් යයිද, අනුලොම සිත් යයිද ව්‍යවහාර කරණු ලැබේ. උපචාර සමාධිජවන් යයි කියනු ලබන්නේ මේ අනුලොම සිත්වලටය.
මෙසේ අනුලොම වශයෙන් උපදින සිත් අටෙකි. එනම් කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරත්, ඤාණ සම්ප්‍ර යුක්ත මහා ක්‍රියා සිත් සතරත්ය. මේ කුසල් සිත් සතරෙන්, සිත් දෙකක් සොමනස්ස සහගතය, සිත් දෙකක් උපෙක්ඛා සහගතය, ක්‍රියා සිත් සතරෙන්ද සිත් දෙකක් සොමනස්ස සහගතය, දෙකක් උපෙක්ඛා සහගතය.
අර්පණා වශයෙන් උපදින සිත් පනස් අටෙකි. එනම්:-
රූපාවචර කුසල් සහ ක්‍රියා සිත් 10
අරූපාවචර කුසල් සහ ක්‍රියා සිත් 8
ලෝකෝත්තර මාර්ග ඵල සිත් 40
58
අනුලොම සිත් සතරක් හෝ තුනක් හෝ ඉපිද නිරුද්ධ වූ පසු, අර්පණා චිත්ත වීථියේ උපදින අර්පණා සිත් මේ පණස් අටක් අර්පණා ජවනයන්ගෙන් එකක්ම විය යුතුයි.
ඒ ඒ අනුලොම සිත්වලට අනතුරුව කවර අර්පණා ජවන් සිත් ඇතිවේදැයි දැක්වීම අර්පණා නියමය වේ.
ඒ අර්පණා නියමය මෙසේ දත යුතුයි:-
කසිණාදී කර්මස්ථාන ගෙන භාවනා වඩන කල්හි, ධ්‍යාන උපදවා ගත හැකි වන්නේ අරමුණ විභූත වශයෙන් හෙවත් ප්‍රකට වශයෙන් වැටහුණු කල්හි බැවින්, ධ්‍යාන ජවන්, මාර්ග ජවන්, ඵල ජවන්, උපදින අර්පණා චිත්ත වීථින්ගේ අරමුණු සියල්ලම විභූතාරම්මණ වෙත්.
අර්පණා වීථින්හි තදාරම්මණ සිත් නූපදි. තදාරම්මණ උපදින්නේ කාම ජවනයන්ට අනතුරුවමය.
අර්පණා සිත්වලට පළමුව උපදින අනුලොම ජවනයන්වූ මහා කුසල් හෝ මහා ක්‍රියා සිත් හෝ ඤාණ සම්ප්‍රයුක්ත විය යුතුය.
කමටහන් වඩන යොගාවචර තෙමේ මන්දප්රාඥ හෝ තික්ඛ- ප්‍රාඥ පුද්ගලයෙක් හෝ වන්නේය. මද පමණින් තියුණු කළ නුවණ ඇති මන්දප්රාඥ පුද්ගලයාහට උපචාර සමාධි ජවන් හෙවත් අනුලොම වශයෙන් සිත් සතරක්ම උපදී. එයට අනතුරුව මාර්ග හෝ ඵල සිත් ලැබෙන්නාහ. මනාකොට තියුණු කළ නුවණ ඇති තික්ඛප්රාඥ පුද්ගලයා හට උපචාර සමාධි ජවන් හෙවත් අනුලොම සිත් තුනක්ම ලැබේ.
ධ්‍යාන පමණක් ලබනු කැමැති පුද්ගලයාගේ සමථ භාවනා සිත ධ්යානයන්ටම අභිමුඛ කරයි. මාර්ග ඵල ලබනු කැමැති පුද්ගලයාගේ විදර්ශනා භාවනා සිත මාර්ග ඵලයන්ටම අභිමුඛ කරයි. ධ්‍යාන පමණක් ලැබීමට කරණ භාවනාව සමථ භාවනා නම් වේ. මාර්ගඵල ලැබීමට කරණ භාවනාව සමථ විදර්ශනා දෙකි න්ම යුක්ත නමුත් එයට විදර්ශනා භාවනා යයි කියනු ලැබේ.
අර්පණා ජවන් වීථියෙහි උපදනා උපචාර සමාධි ජවනයෝ සොමනස්ස සහගත වුවහොත්, එයට අනතුරුව උපදින අර්පණා ජවනයද, සොමනස්ස සහගත ජවනයක්ම වන්නේය.
සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත කුසල් ජවන් දෙකකි. එයට පසුව උපදින සොමනස්ස සහගත අර්පණා ජවනයෝ දෙතිසකි. එනම්:—
සොමනස්ස සහගත කුසල් ජවන් 4 (1-4 රූපාවචර ධ්‍යාන කුසල්) සොමනස්ස සහගත මාර්ග ජවන් 16 (1-4 වෙනි ධ්‍යාන මාර්ග සිත්) යට ඵලවශයෙන් උපදනා සොමනස්ස ඵල ජවන් 12 (1-4 ධ්‍යාන සෝවාන්, සකෘදාගාමි අනාගාමි ඵල) 32
සොමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත ක්‍රියා ජවන් දෙකකි. එයට පසුව අර්පණා වශයෙන් උපදින සොමනස්ස සහගත ක්‍රියා ජවනයෝ අට දෙනෙකි. එනම්:— සොමනස්ස මහග්ගත ක්‍රියා ජවන් 4
(1-4 ධ්‍යාන ක්‍රියා සිත්)
සොමනස්ස අර්හත් ඵල ජවන් 4
(1-4 ධ්‍යාන අර්හත් ඵල සිත්)
8
ක්‍රියා ජවන් සිත් උපදින්නේ රහතන් වහන්සේ ට පමණය. උන්වහන්සේට ලොකොත්තර අර්පණා ජවන් වශයෙන් ලැබෙන්නේ අර්හත් ඵල සිත් පමණකි.
අර්පණා ජවන වීථියේ උපදනා උපචාර සමාධි ජවන් උපෙක්ඛා සහගත වුවහොත්, එයට අනතුරුව උපදින අර්පණා ජවනයද උපෙක්ඛා සහගත ජවනයක්ම වන්නේය.
උපෙක්ඛා සහගත ඤාණ සම්ප්‍රයුක්ත කුසල් ජවන් දෙකෙකි. එයට අනතුරුව උපදින උපෙක්ඛා සහගත අර්පණා ජවනයෝ දොළොසෙකි.
එනම්:-
උපෙක්ඛා සහගත පඤ්චමධ්‍යාන රූපාවචර කුසල් සිත 1
උපෙක්ඛා සහගත අරූපාවචර කුසල් සිත් 4
උපෙක්ඛා සහගත පඤ්චමධ්‍යාන මාර්ග සිත් 4
යට ඵල තුනට අයත් පඤ්චමධ්‍යාන ඵල සිත් 3
12
උපෙක්ඛා සහගත ඤාණ සම්ප්‍රයුක්ත ක්‍රියා ජවන් දෙකෙකි. එයට අනතුරුව උපදනා උපෙක්ඛා සහගත අර්පණා ජවනයෝ සදෙනෙකි.
එනම්:-
උපෙක්ඛා සහගත පඤ්චමධ්‍යාන රූපාවචර ක්‍රියා සිත 1
උපෙක්ඛා සහගත අරූපාවචර ක්‍රියා සිත් 4
උපෙක්ඛා සහගත අර්හත් ඵල සිත 1
6
මේ අර්පණා ජවනයන් රහතන් වහන්සේලාට පමණක් ඇතිවන හෙයින් සියල්ල ක්‍රියා සිත්ම වන්නේය.
කුසල් සිත් උපචාර ජවන් වශයෙන් ඉපිද, අර්පණා උපදින්නේ පෘථග්ජනයන්ට හා රහත් නොවූ ශෛක්ෂයන්ටය.
ක්‍රියා සිත් උපචාර ජවන් වශයෙන් ඉපිද, අර්පණා උපදින්නේ අශෛක්ෂවූ රහතන් වහන්සේටය.