අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මළ තැනැත්තාගේ හා නිරෝධයට සමවන් ආර්‍ය්‍යයාගේ වෙනස.

මළ තැනැත්තාගේ කාය සංස්කාර නම්වූ ආශ්වාස ප්‍රශ්වාස නිරුද්ධ වූවාහුය. වචි සංඛාර නම් වූ වචි විඤ්ඤත්තිය ද, චිත්ත සංඛාරයන්ද, නිරුද්ධවූවාහුය, එසේම ආයුෂය හෙවත් ජීවිතෙන්‍ද්‍රියද, කර්මජ තෙජො ධාතුවද, චක්ඛු ආදී ඉන්‍ද්‍රියයෝද පිරිහුණා හුය.

නිරොධයට සමවන් ආර්‍ය්‍යයන් වහන්සේගේද කායසංඛාර හෙවත් ආශ්වාස, ප්‍රශ්වාස නිරුද්ධ වෙත්. එමෙන්ම වචි සංඛාර චිත්ත සංඛාරයෝද, නිරුද්ධ වන්නාහ. නමුත් ආයුෂය, කර්මජ තෙජො ධාතුව, චක්ඛු ආදී ඉන්‍ද්‍රියයන්ද නොපිරිහුණාහුය. එබැවින් ශරීර උෂ්ණයත්, චක්ඛු ආදී ඉන්‍ද්‍රියයෝත්, ආයුෂයත් විද්‍යාමානය.

තවද නිරොධය අවිද්‍යමාන වුවත්, සංඛත නොවන්නේය. එසේම අසංඛත, යයි ද, ලෞකික යයිද, ලොකොත්තරයයිද කිය නොහැකි වේ. එහෙත්, නිරොධ සමාපත්තියට සම වන්නහුගේ වශයෙන් ඒ නිරොධ සමාපත්තියට සමවන්නී නම් වේ. එබැවින් නිෂ්පන්නය යයි කියයුතු වේ. අනිෂ්පන්න නොවේ.

නිරොධ සමාපත්තියට සම වැදීමෙදී ඇතිවන චිත්ත වීථිය මෙසේ දත යුතුයි.

...න ද ම ප උ නු වො ඣා ඣා (නිරොධය) එ හ හ ...

මෙහි අනාගාමි පුද්ගලයෙකු නම් “ඣා” යන්නෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන කුසල් සිතද, ‘එ’ යන්නෙන් අනාගාමි ඵලසිතද දැක් වේ. රහතන් වහන්සේට නම් ‘ඣා’ යන්නෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතන ක්‍රියා සිතද, ‘එ’ යන්නෙන් අර්හත් ඵලසිතද දැක්වේ. නෙව සඤ්ඤානාසඤ්ඤායතන සිතටත් ඵල සිතටත් අතර නිරොධ සම වතට සමවැද සිටිනා කාලයයි.

මේ නිරොධ සමාපත්තියට සම වැදීමට දිට්ඨධම්ම නිබ්බාණ සුඛ විහරණය හෙවත් ඉහාත්මයෙහිම නිවන් සැප විඳිමයයි කියනු ලැබේ.

අෂ්ට සමාපත්තින්හි අග තැන්පත් වූද, කාම රාගය නිරවශේෂයෙන් ප්‍රහීණ කළාවූද, අනාගාමී, අර්හත් පුද්ගලයෝම, නිරොධ සමාපත්තියට සමවදින්නාහුයයි කියන ලද නමුත්, කාමාවචර භූමියෙහිම වසන්නා වූ අනාගාමින්ට හා රහතුන්ට මුත්, රූප භූමියෙහිවත්, අරූප භූමියෙහිවත් වසන්නාවූ ආර්‍ය්‍යයන්ට නිරෝධ සමාපත්තිය නොලැබෙන්නේයයි සමහරුන්ගේ මතය වේ. එයට මෙසේ කරුණු දක්වති. නිරෝධයට සම වදින්නාවූ ආර්‍ය්‍යයන් වහන්සේ විසින් රූපාවචර ප්‍රථම ධ්‍යානය පටන් චතුෂ්කනයින් අෂ්ට සමාපත්තියට සමවැද ක්‍රමයෙන් ගොස් නාම ධර්මයන්ගේ නිරෝධය කටයුතු වෙයි. රූප භූමියෙහි උපන්නාවූ ආර්‍ය්‍යයන් හට අරූප ධ්‍යාන හෝ, අරූප භූමියෙහි උපන්නාවූ ආර්‍ය්‍යයන් හට රූප ධ්‍යාන හෝ නො ලැබිය හැකි බැවින් රූපාරූප භූමි දෙක්හිම උපන්නාවූ අනාගාමින්ට හා රහතුන්ට නිරෝධ සමාපත්තිය නො ලැබෙන්නේය යනුයි. සමහර ආචාර්‍ය්‍යවරයෝ වනාහි, අරූප භවයෙහි රූප නැති හෙයින් එහි පමණක් නිරෝධ සමාපත්තියට සම නොවදින්නේ යයි කියති. කෙසේ වෙතත් අෂ්ට සමාපත්තිලාභී අනාගාමි අර්හත් පුද්ගලයෝ පළමුකොට ප්‍රථම ධ්‍යානයට සමවැද, ඒ ධ්‍යානයෙහි ඇත්තාවූ ධ්‍යානාඞ්ගයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ලක්ෂණත්‍රයට ආරෝපණය කොට ප්‍රත්‍යවේක්ෂා කරත්. මෙසේ ක්‍රමයෙන් අනිකුත් රූපාවචර, අරූපාවචර ධ්‍යානයන්ටද සමවැද, ඒ ඒ ධ්‍යානයන් පිළිබඳවූ ධ්‍යානාඞ්ගයන් ත්‍රිලක්ෂණ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කොටම, අවසානයේදී නිරෝධ සමාපත්තියට සමවදින්නාහ.