නිරෝධ සමාපත්තිය
නිරෝධ සමාපත්තියට සමවැදීමෙහි සමර්ථ බවද ප්‍රඥා භාවනා වෙහි ආනිශංසයකි.
විදර්ශනා ඥානය අනුව පැවැති අෂ්ටසමාපත්තීන්ට පිළිවෙලින් සමවැද, ඒ ඒ සමාපත්තියෙහි ප්රතිපක්ෂ ධර්මයන්නිරුද්ධ කිරීමෙන්ද, කායාදි ත්‍රිවිධ සංස්කාරයන් පිළිවෙලින් නිරුද්ධ කිරීමෙන්ද, අධිෂ්ඨාන කළ කාලය තුළ චිත්ත චෛතසික ධර්මයන්ගේ නොපැවැත්ම, නිරෝධ සමාපත්ති නම් වේ.
කාමරාගය, නිරවශේෂ ප්‍රහාණයෙන් නැසූ අෂ්ටසමාපත්තිලාභී අනාගාමි පුද්ගලයන් හා, අෂ්ටසමාපත්ති ලාභී අර්හත් පුද්ගලයෝම නිරෝධ සමාපත්තියට සමවදිති. පෘථග්ජනයෝද, සොවාන්, සකෘදාගාමි පුද්ගලයෝද අෂ්ට සමාපත්ති නොලැබූ අනාගාමි සහ රහතන් වහන්සේලා ද නිරෝධ සමාපත්තියට සම නොවදිත්. නිරෝධ සමාපත්තියට සමවදනා ආර්ය පුද්ගලයෝ සමථ විදර්ශනා බලද්වයෙන්ම යුක්ත වන්නාහ. ධ්‍යාන බලයෙන් සංසිඳවන ලද ත්‍රිවිධ සංස්කාරයන් ඇත්තාහ. ප්‍රථම ධ්‍යානය ලැබීමෙන් සමාධිය බලවත් වන්නේය. දුතියධ්‍යානයට සම වන්නහුගේ විතර්ක විචාර අත්හැරීමෙන් වචි සංස්කාරයෝ සංසිඳුනාහු වෙත්, හෙවත් කථා කිරීම නතර වූයේවේ. චතුර්ථධ්යානයට සමවන්නහුගේ ආග්වාස, ප්‍රශ්වාස නතර වීමෙන් කාය සංස්කාරයන් සංසිඳෙත්. සඤ්ඤාවේදයිත නිරෝධයට හෙවත් නිරෝධ සමාපත්තියට සම වන්නහුගේ සංඥා, වෙදනා හා සම්ප්‍රයුක්ත සංස්කාර ධර්මයන් හෙවත් චිත්ත ප්‍රවෘත්තිය සංසිඳෙත්.
නිරෝධ සමාපත්තියට සමවදනාවූ පුද්ගලයෝ සංස්කාර ධර්ම යන්ගේ ඉපදීම බිඳීම දැක කලකිරීම හේතුකොටගෙන ඉහාත්ම යෙහිම චිත්ත චෛතසික ධර්මයන්ගේ නිරෝධය සඞ්ඛ්‍යාත නිර්වාණ ධාතුවට පැමිණ, ශාන්ත සුඛයෙන් සුවසේ වැසීම අපේක්ෂා කොටම සමවදින්නාහු වෙත්.
සමථ භාවනා වඩනලද පුද්ගලතෙමේ සතරවෙනි අරූපධ්‍යාන සමාපත්තියට පමණක් සම වැද නවති.
විදර්ශනා වශයෙන් භාවනා වඩන ලද පුද්ගලයෝ ඵල සමාපත්තියට පමණක් සම වැද නවති.
සමථ විපස්සනාවන් දෙදෙනාගේ වශයෙන්ම භාවනා වඩන ලද අනාගාමී රහත් පුද්ගලයෝ නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයාගේ නිරෝධය කිරීමෙන් නිරෝධ සමාපත්තියට සමවදිත්.
එබැවින් නිරෝධ සමාපත්තියට සමවදිනු කැමැති ආර්‍ය්‍ය පුද්ගල තෙමේ බත් කිස නිමවා, අත්පා මනාව සෝදා, විවේකස්ථානයක, මනාව පැනවූ ආසනයක පලඟ බැඳ, කය සෘජු කොට පිහිටුවා; සිහිය කර්මස්ථානයට අභිමුඛ කොට එළවා වැඩහිඳ, ප්‍රථමධ්‍යානයට සමවැද, එයින් නැගී ඒ ධ්‍යානයෙහිවූ සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීමෙන් විදර්ශනා වඩන්නේය: ඉක්බිති දුතියධ්‍යානයට සමවැද එයින් නැගී එහි වූ සංස්කාරයන් එසේම විදර්ශනා කරන්නේය. ඉක්බිති හෙතෙමේ පිළිවෙලින් තෘතියධ්‍යානය, චතුර්ථධ්යානය, ආකාශානඤ්චායතන ධ්‍යානය, විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය, ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය යන ධ්‍යානයන්ට සමවැද ඒ ඒ ධ්‍යානයෙන් නැගී ඒ ඒ ධ්‍යානයන්හි වූ සංස්කාර යන් එසේම විදර්ශනා කොට චතුර්විධ පූර්වකෘත්යය කරන්නේය. ඒ චතුර්විධ පූර්වකෘත්යයෝ නම්:—
- නානාබද්ධ අවිකෝපනය.
- සංඝ පතිමානනය
- සත්ථු පක්කෝසනය
- අද්ධාන පරිච්ඡේදය යන සතරයි.
එයින් නානාබද්ධ අවිකෝපනය නම්, ඒ භික්ෂුව සමඟ එකාබද්ධ වූ පිරිකර හැර, අන්‍ය වූ පාත්‍ර සිවුරු ආදිය හෝ, ආසනාදිය හෝ, වසන ගෙය හෝ, අන් කිසි පරිෂ්කාරයන් හෝ, ගිනි, දිය, වාත, සොර සතුරු, වන සතුන් ආදීන්ගෙන් විනාශ නොවන සේ අධිෂ්ඨාන කිරීමයි. මෙසේ අධිෂ්ඨාන කොට නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුළ යම් උපද්‍රවයන් පැමිණියත් එයින් ඉටාගත් වස්තූන් විනාශ නොවේ. අධිෂ්ඨාන නොකෙළේවීනම් එකාබද්ධ පිරිකර හැර අන්‍ය වූ නානාබද්ධ පරිෂ්කාරයන් විනාශ වේ. ඒකාබද්ධ වූ හඳනා, පොරෝනා හෝ, වැඩහුන් අසුන් හෝ උපද්‍රවයන් ගෙන් රැකීමට අධිෂ්ඨානයක් උවමනා නැත. එය සමාපත්ති බලයෙන් ම රැකෙන්නේය.
සංඝ පතිමානනය නම් නිරොධ සමාපත්තියට සමවදිනු ලබන ආර්‍ය්‍ය පුද්ගල වූ භික්ෂුන් වහන්සේ ගැන භික්ෂු සඞ්ඝයා වහන්සේගේ බලාපොරොත්තුවයි. සංඝ කර්මයක් කිරීමට රැස්වූ සඞ්ඝයා වහන්සේ මේ භික්ෂුන් වහන්සේ පැමිණෙන තෙක් සඞ්ඝ කර්මය නොකොට මේ භික්ෂුවගේ පැමිණීම බලාපොරොත්තු වෙයි. එබැවින් භික්ෂුන් වහන්සේ සමවතට සමවදින්නට පෙර, පූර්වකෘත්‍යයක් වශයෙන්, සඞ්ඝයා බලාපොරොත්තු වුවහොත්, දූතයකු එවා කැඳවන්නට පෙර සමවතින් නැගිටින්නෙමියි අධිෂ්ඨාන කරන්නේය. එය එසේම සිදුවන්නේය. එසේ අධිෂ්ඨාන නොකොට සමවතට සම වන්නේවී නමුත්, සඞ්ඝ කර්මය පිණිස රැස්වූ සඞ්ඝයා වහන්සේ ඒ භික්ෂුවගෙන් වෙන්ව ඒ සඞ්ඝ කර්මය නොකොට, උන්වහන්සේ සිටින තැන් විමසා, නිරොධයට සමවන් බව දැන, සඞ්ඝයාගේ වචනයෙන් කැඳවනු පිණිස දූත භික්ෂුවක් යවා ආමන්ත්‍රණය කරවී නම් ඒ දූත වචනයට අනතුරුව සමවතින් නැගී සිටීම එකාන්තයෙන්ම සිදුවන්නේය. සඞ්ඝාඥාව ඉතා ගරු හෙයිනි.
සත්ථු පක්කොසනය නම් ශාස්තෘන් වහන්සේගේ ආමන්ත්රණයයි. නිරොධ සමාපත්තියට සමවැද සිටින කාලයේදී ශික්ෂාපද පැණවීමක් හෝ ඉතා වැදගත් ධර්මදේශනාවක් හෝ කරණු කැමැතිව සර්වඥයන් වහන්සේ මාගේ පැමිණීම බලාපොරොත්තු වන්නේ නම්, දූත භික්ෂුවක් පැමිණ මා අමතන්නට පෙර, මා සමවතින් නැගිටින්නෙමියි අධිෂ්ඨාන කරන්නේය. එසේ නොකළහොත්, එවැනි කරුණක් ඇති කල්හි බුදුන් වහන්සේ අසුවල් භික්ෂුව කොහේදැයි විමසා, නිරොධයට සමවන් බව දැන, සර්වඥයන් වහන්සේගේ වචනයෙන් ඔහු කැඳවයි. දූත භික්ෂුවක් යවා කැඳවන කල්හි, සමවතින් නැගීසිටීම සිදුවන්නේය.
අද්ධාන පරිච්ඡේදය - ජීවිතය පවත්නා කාලය පිරිසිඳ දැනගැනීමය නිරොධ සමාපත්තියට සමවදනා ආර්‍ය්‍යයන් වහන්සේ තමා ජීවත්වන කාල පරිච්ඡේදය දැනීමෙහි දක්ෂයෙක් විය යුතුයි. සමවතට සමවැද සිටිනා කාලය තුළ තමාගේ ආයුෂය පවතීද නැතිද යන බව ආවර්ජනා කොටම සමවතට සමවැදිය යුතුයි. නිරොධ සමාපත්තියෙන් තමාගේ මරණය වැළකිය නොහැකි වේ. නිරොධයට සමවැද සිටින අවස්ථාවේදී මරණය සිදු නොවන බැවින්, මරණයට පෙර නිරොධයෙන් නැගිටීමට සිදු වන්නේය. එබැවින් ආර්‍ය්‍යයන් වහන්සේ, තමාගේ ආයු සංස්කාරය පවත්නා කල් බලා එයට කලින් නැගිටින ලෙස කාල නියමය අධිෂ්ඨාන කොට නිරෝධ සමාපත්තියට සමවදින්නේය. මේ අද්ධාන පරිච්ඡේදයවූ කලී ආවර්ජනා කටයුතුමැයි.
මේ ක්‍රමයෙන් ඒ ආර්‍ය්‍යයන් වහන්සේ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයෙන් නැගිට, මෙකී චතුර්විධ පූර්වකෘත්යයන් කොට, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට සමවදින්නේය. ඉක්බිති එම ධ්‍යාන චිත්තවාර එකකින් හෝ දෙකකින් පසු උන්වහන්සේගේ චිත්ත සන්තතිය නිරුද්ධවේ. චිත්තයාගේ නිරෝධය සමගම චෛතසිකයෝද, සිතින් හටගන්නා චිත්තජරූපයන්ගේ ඉපැද්මද නිරුද්ධ වෙත්.
නිරෝධ සමාපත්තියෙහි ස්ථිතිය - මනුෂ්‍ය ලොක ආදී කබලිකාරාහාරයෙන් ජීවත්වන භවයන්හි වැඩිම ගණනින් සත්දිනක් නිරෝධයට සමවැද සිටිය හැකිවේ. කිසිදු කබලිකාරාහාරයක් නොගෙන මනුෂ්‍ය ශරීරය ක්ලාන්ත නොවී පවත්වා ගත හැකි වැඩිම කාලය එපමණය. රූපාවචර භවයන්හි කැමැති පමණ කාලයක් නිරෝධ සමවත් සුවයෙන් විසිය හැකිවේ. ඒ අතර, ආයු ගෙවීමය සංඝපටිමානනය, සත්ථුපක්කොසනයයන් අතුරෙන් යමක් ඇතිවීනම්, නිරෝධයෙන් නැගීම වන්නේය.
නිරෝධ සමාපත්තියෙන් නැගීම - අනාගාමී ආර්‍ය්‍යයන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටින කෙණෙහි අනාගාමි ඵල සිතද, රහතන් වහන්සේ නිරෝධයෙන් නැගිටින කෙණෙහි අර්හත් ඵල සිතද එක්වරක් හටගෙන නිරුද්ධ වූ පසු භවඞ්ග සිත් පහළවී පළමු මෙන් චිත්ත ප්‍රවෘත්තිය ඇති වන්නේය.
නිරෝධ සමාපත්තියෙන් නැගිටි ආර්‍ය්‍යයන් වහන්සේගේ චිත්තය නිර්වාණයටම නැමුණේ වේ.