අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සමාපත්ති වීථි

ධ්‍යාන සමාපත්ති, ඵල සමාපත්ති, නිරෝධ සමාපත්ති, යයි සමාපත්ති ත්‍රිවිධ වේ.

ධ්‍යාන සමාපත්ති

ප්‍රථමධ්‍යාන, දුතියධ්‍යාන, තතියධ්‍යාන, චතුර්ථධ්‍යාන, පඤ්චම- ධ්‍යාන යන රූපාවචර ධ්‍යාන පස සහ ආකාශානඤ්චායතන, විඤ්ඤා- ණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූපාවචර ධ්‍යාන සතරත් යන ධ්‍යානයන් නවදෙනා අතුරෙන් යම් කිසි ධ්‍යානයක් උපදවා ගත් පුද්ගලයා විසින්, තමන් ලත් ධ්‍යානය පඤ්චවසිතාවෙන් පුරුදු කොට වහ වහා ධ්‍යාන සිත් උපදවා ගැනීමේ ශක්තිය ඇතිවූ කල්හි, ඕහට ධ්‍යාන සමාපත්තිය හෙවත් ධ්‍යාන සිත්ම පිළිවෙළින් උපදින්නේය. මෙසේ ධ්‍යානය උපදවා ගැනීමට උපකාර වූ අරමුණෙහිම සිත රඳවා ගත් කල්හි ධ්‍යාන සමාපත්ති චිත්ත වීථිය හටගන්නේය. එවිට භවඞ්ග චලනය, භවඞ්ගුපච්ඡේදය, යන භවඞ්ග සිත් දෙක ඉපිද නිරුද්ධ වූ කල්හි කසිණාදි ප්‍රතිභාග ප්‍රඥප්ති ආලම්බණයක් අරමුණු කළේ වීනම්, එම ප්‍රඥප්ති අරමුණම ගෙන මනොද්වාරාවජ්ජන සිතක් ඉපිද අනතුරුව කාමාවචර ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල් සිත් සතරෙන් එකක් එම ප්‍රඥප්ති අරමුණම ගෙන, පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්‍රභූ යන නමින් සිත් සතරක් ඉපිද නිරුද්ධ වේ. තදනන්තරව තමන්ගේ ධ්‍යාන චිත්තය තමන් කැමැතිතාක් කල් උපදවා ගෙන ධ්‍යාන සුවය විඳ, ඉක්බිති සිත් පරම්පරාව භවඞ්ගවේ. සෑම ධ්‍යානයකින්ම මේ ආකාරයෙන් ධ්‍යාන සමාපත්තියට සමවැදිය හැකි බව දත යුතුයි. ධ්‍යාන සමාපත්තියට සමවදනා පුද්ගලයනට උපදින ධ්‍යාන සමාපත්ති වීථිය මෙසේයි:-

...න ද ම ප උ නු ගො ඣ ඣ ඣ ඣ ... භ...

මේ ධ්‍යාන සිත් පවත්නාතාක් කල් විෂ්කම්භණ වශයෙන් අකුසල යන්ගේ යටපත්වීම ඇතිවන්නේය. ලෞකික සැප අතුරෙන් මේ ධ්‍යාන සුවය ඉතා ප්‍රණීතය.