මෙය මෙහි තදාරම්මණ නියම යයි
34. ජවනයන් අතුරෙන් කාමජවන වීථියෙහි කාමාවචරජවනයෝ සත්වරක් හෝ සයවරක් හෝ දුවත්.
35. මරණාසන්න කාලයෙහිදී වේගය මදව පවත්නා විට පස් වරක්ම දුවත්.
36. භාග්‍යවතුන්වහන්සේට යමක ප්‍රාතිහාර්‍ය්‍ය කාලාදියෙහි වේගය සීඝ්‍රව පවත්නා විට සතරක් හෝ පසක් හෝ ප්රත්යවෙක්ෂාජවන් සිත් වෙත්යයි කියති.
37. ආදි කර්මිකයාහට වනාහී ප්‍රථම අර්පණායෙහිදී මහග්ගත ජවනයෝ එක්වරක්ම උපදිත්. අභිඥා ජවනයෝද හැම කල්හිම එක්වරක්ම උපදිත්. එයින් පසු භවඞ්ග පාතය වේ.
38. මාර්ග චිත්තුප්පාදයෝ සතර දෙන එකචිත්තක්ෂණිකයහ. එයින් පසු සුදුසු පරිදි ඵලසින් දෙකක් හෝ තුනක් උපදිත්. ඉන්පසු භවඞ්ග පාතය වේ.
39. නිරෝධ සමවතට පැමිණෙන කල්හි සතර වැනි අරූප ජවනය දෙවරක් දුවයි. එයින් පසු නිරෝධය වේ. සමවතින් නැගෙන කල්හි ද අනාගාමි ඵලය හෝ අර්හත් ඵලය හෝ සුදුසු පරිද්දෙන් එක්වරක් ඉපිද නිරුද්ධවූ කල්හි භවාඞ්ග පාතය වේ.
40. සියලුම සමාපත්ති වීථියෙහි භවාඞ්ග පරම්පරාව මෙන් වීථි සිත් නියමයක් නොකොට බොහෝවූ ජවනයෝ ලැබෙත්.
41. කාමජවනයෝ සත්වරක් ද මාර්ග අභිඥාජවනයෝ එක් වරක්ද සෙසු ජවනයෝ බොහෝ වාරයක්ද ලැබෙත්.