අභිධර්මාර්ථ ප්‍රදීපිකා

මෙය මෙහි කාමාවචර ජවනවාරයයි

20. අර්පණාජවන වාරයෙහි වනාහි විභූත අවිභූත භේදයක් නැත. එසේම තදාලම්බනයන්ගේ ඉපදීමෙක් ද නැත.

21. එහි ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර ජවන් අටදෙනා අතුරෙන් එක්තරා ජවනයක් පරිකර්ම, උපචාර, අනුලොම, ගොත්‍රභූනාමයෙන් සතරවරක් හෝ තුන් වරක් හෝ පිළිවෙළින් ඉපිද නිරුද්ධ වූ කල්හි එයට අනතුරුව සුදුසු පරිද්දෙන් සතර වැනිව හෝ පස් වැනිව හෝ සවිසි මහග්ගත ලොකොත්තර ජවනයන් අතුරෙන් යම් කිසි ජවනයක් අභිනීහාරයාගේ වශයෙන් අර්පණා වීථියට බැසගනී. එයින් පසු අර්පණාවගේ අවසානයෙහි භවඞ්ග පාතය වේ.

22. එහි සොමනස්ස සහගත ජවනයන්ට අනතුරුව උපදනා අර්පණාජවනයෝද සොමනස්ස සහගතම වෙත්යයි සැලකිය යුත්තාහ. උපෙක්ෂා සහගත ජවනයන්ට අනතුරුව උපෙක්ෂා සහගත අර්පණා ජවනයෝ ම වෙත්.

23. එහි ද මහා කුසල ජවනයන්ට අනතුරුව කුසල ජවනයෝදයට ඵල ජවනතුනද අර්පණා වශයෙන් උපදී. මහා ක්‍රියා ජවනයන්ට අනතුරුව ක්‍රියා ජවනයද අර්හත් ඵල ජවනයද අර්පණා වශයෙන් උපදී.

24. සොමනස්සසහගත ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල ජවනයන්ට අනතුරුව අර්පණා ජවන් දෙතිසෙක් (32) ද, උපෙක්ඛා සහගත ඤාණ සම්ප්‍රයුක්ත මහා කුසල ජවනයන්ට අනතුරුව අර්පණාජවන් දොළොසෙක් (12) ද, සොමනස්ස සහගත මහා ක්‍රියා ජවනයන්ට අනතුරුව අර්පණා ජවන් අටෙක් ද, උපෙක්ඛා සහගත මහා ක්‍රියාජවනයන්ට අනතුරුව අර්පණා ජවන් සයෙක් ද ලැබෙති.

25. පෘථග්ජනයන්ගේ හා ශෛක්ෂයන්ගේ ද ත්‍රිහේතුක කාම කුසලයන්ට අනතුරුව ද, රහතන්වහන්සේගේ ත්‍රිහේතුක කාම ක්‍රියාවන්ට අනතුරුවද අර්පණා ජවන් ලැබෙති.