අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සබ්බචිත්ත සාධාරණ චෛතසිකයෝ

සබ්බචිත්ත සාධාරණ චෛතසිකයෝ නම්:- (1) එස්සය, (2) වෙදනාය, (3) සංඥාය, (4) චෙතනාය, (5) එකග්ගතාය, (6) ජීවිතෙන්‍ද්‍රියය, (7) මනසිකාරය යන සතය.

අසූනවයක් වශයෙන් හෝ එක්සිය විසි එකක් වශයෙන් හෝ ගැණෙන සිත් සියල්ලෙහිම මේ චෛතසිකයෝ සත් දෙන යෙදෙන හෙයින් සියළුම සිත්වලට සාධාරණය යන අර්ථයෙන් සබ්බචිත්ත සාධාරණයෝ යයි ව්‍යවහාර වේ.

එස්සය

සිතක් හටගැනීමට අරමුණක් අවශ්‍යය. අරමුණු වශයෙන් ගැනීමට කොපමණ රූප, ශබ්දාදිය ඇත්තේ වී නමුත්, ඒ හැම අරමුණක්ම, සිත විසින් එකවර ගනු නො ලබන්නේ ය. යම්කිසි එක් අරමුණක් සිත උපදින ස්ථානයේදී ම, එම සිතත් සමඟ යම් හැපීම් ආකාරයක් දක්වා ද, එවිට ඒ අරමුණ ගෙන සිත උපදී. අරමුණ සිතෙහි හැපීම්, වැදගැණීම්, ස්පර්ශවීම් ආකාරයෙන්, සිතෙහිම හටගන්නා ස්වභාවය, එස්ස යයි දත යුතු. බාහිරව පවත්නා වර්ණාදිය, අභ්‍යන්තරය ඇසුරු කරමින් පවත්නා සිත සමඟ ස්පර්ශවීම ඉතා සියුම් ආකාරයෙන් සිදුවන්නෙකි. එස්ස චෛතසිකය නම් වූ මේ නාමධර්මය අරමුණක් හමු වූ කල්හි සිතත්, සම්ප්‍රයුක්ත ධර්මත්, අරමුණෙහි ස්පර්ශ කරවීම පිණිස එම සිතෙහි ම හට ගන්නා ශක්තියකි. මේ එස්සය අනිකුත් සම්ප්‍රයුක්ත ධර්මයන්ට, මෙසේ ස්පර්ශ කරන ලද අරමුණු රසය විඳීම් ආදි නොයෙක් කෘත්‍යයන් කිරීමට අවකාශ සළසනු ලැබේ. සියළුම සම්ප්‍රයුක්ත ධර්මයන් එකට උපදින නමුත් පළමු කෘත්‍යයක් හැටියට ස්පර්ශය ගත හැකි බැවින් මේ චෛතසිකය පළමු කොට දැක්වූ බව සැලකිය යුතුය.

රූප ධර්මයන් එකිනෙකට ගැටීම හෙවත් ස්පර්ශවීම රළු වශයෙන් සිදුවන්නකි. නාම ධර්මයන් ගේ ස්පර්ශය, එසේ නොව අරමුණු රසය විඳගැනීමට හැකිවනසේ ගැටෙන ආකාරයෙන් පැවැත්මය. පඤ්චද්වාරයෙන් ගනු ලබන වර්තමාන අරමුණු පමණක් නොව, මනොද්වාරයෙන් ගනු ලබන අතීත වූ ද අනාගත වූ ද, කාලනියමයක් නැත්තාවූ ද, අරමුණු හා සමඟ ගැටීමෙන් ඒ පිළිබඳව සිත් ඇති වන්නේය. ඒ හැම අරමුණක්ම, සිතෙහි උපදනා ස්පර්ශ චෛතසිකයාගේ ශක්තියෙන් ම වැදගන්නේවේ. ඉතා වෙගයෙන් ඉපිද නිරුද්ධ වන්නා වූ සිතකින් ඉතා සියුම්වූ අතීතානාගතාදී අරමුණු ගන්නා කල්හි ද, ඒ සිතත්, සියුම් වූ අරමුණත් එකිනෙක හැපීම කරවන මේ ඵස්ස චෛතසිකය ද, ඒ සිත හා සමඟම ඉපිද, ඒ සිත නිරුද්ධවන කල්හිම නිරුද්ධ වෙයි. එසේ ම ඉතා කුඩා වූ ද, මහත් වූ ද, අභිමුඛව පවත්නා වූ ද, දුර තිබෙන්නා වූ සෑම අරමුණුම, ක්ෂණයෙකින් මේ ස්පර්ශ චෛතසිකය විසින් සිත හා සමඟ ස්පර්ශ කරවන්නේය. එපමණක් නොව පූර්ව භවයෙන් ගන්නා ලද කර්ම, කර්ම නිමිති, ගති නිමිති ආදී අරමුණුත් භවාඞ්ග සිත හා ගැටීම ඇති කර වන්නේත් මේ ස්පර්ශ චෛතසිකය විසින්මය. මෙය ඉතා දුර්වලව හටගන්නා විපාක සිත් බැවින් එහි අරමුණ ප්‍රකටව නො වැටහේ. එබැවින් මේ ඵස්ස චෛතසිකය ද සිතත්, සිතෙහි සම්ප්‍රයුක්ත වූ අනිකුදු ධර්මයනුත් සමඟ එකටම ඉපිද එකටම නිරුද්ධවන එකම අරමුණ ගෙන එකම තැන උපදින නාම පරමාර්ථයකි. හැම සිතකම ඵස්සය උපදින හෙයින් එය සබ්බචිත්ත සාධා රණ චෛතසිකයකි.

තවද චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන යන සළායතනයන්ගේ ඇතිවීම හේතුකොට ගෙනම මේ ඵස්සය වන්නේ ය. එමෙන් ම මේ ඵස්සයාගේ පහළ වීමෙන් වේදනාව ඇති වන්නේ ය. සත්ත්වයාගේ ජීවත් වීමට මේ ඵස්සය ආහාරයක් වන බැවින් එයටම ඵස්සා- හාර යයි ද කියනු ලැබේ.

වේදනාව

සෑම අරමුණකම පැතිර පවත්නා රසයක් ඇත්තේ ය. එම අරමුණ, සිත හා සමඟ ස්පර්ශවීමේ දී, අරමුණු රසය විඳගැනීමේ ශක්තියක් ද, ඒ සිතෙහිම ඇති වේ. එයට වේදනා යයි කියනු ලැබේ. මේ වේදනාව සෑම සිතකම උපදින බැවින් සබ්බචිත්ත සාධාරණ චෛතසිකයකි. යම් අරමුණක ඇති ඉෂ්ට බව, ප්‍රිය බව හෝ යහපත් බව දක්වන ආරම්මණ රසය අනුභව කිරීමේ හෙවත් විඳීමේ ස්වභාවය සුඛ වේදනා යයි ද, සොමනස්ස වේදනාව යයි ද ව්‍යවහාර වේ. ආරම්මණයාගේ අනිෂ්ට බව, අප්‍රිය බව, අයහපත් බව දක්වන අරමුණු රසය අනුභව කිරීමේ හෙවත් විඳීමේ ස්වභාවය දුක්ඛ වෙද- නාව යයිද, දෝමනස්ස වේදනාව යයි ද ව්‍යවහාර වේ. එමෙන් ම ආරම්මණයාගේ සැප හෝ දුක් හෝ නුවූ මධ්‍යස්ථ බව අනුභව කරන් නාවූ, විඳින්නා වූ ස්වභාවය උපෙක්ඛා වේදනා නම් වේ. මෙසේ අනුභවන භේදයෙන් වේදනාව සුඛ, දුක්ඛ, උපෙක්ඛා යයි තෙවැදෑරුම් වේ. ඉන්ද්‍රිය භේදයෙන් වනාහි සුඛ, සොමනස්ස, දුක්ඛ, දෝම- නස්ස, උපෙක්ඛා යයි පස් වැදෑරුම් වේ.

සිතින් වැදගන්නා ලද අරමුණක යම් රසයක් වේද, ඒ සිතෙහි අන්තර්ගත සියළුම චෛතසික ධර්මයන් විසින් ද, තම තමන්ට අයත් විශේෂ කෘත්‍යයන් සිද්ධ කරමින්, එක්තරා ප්‍රමාණයකින් අරමුණු රසය විඳින නමුත්, මේ වේදනා චෛතසිකය සර්වප්‍රකාරයෙන්ම ඊශ්වර භාවයෙන් ම අන්‍ය කෘත්‍යයක් නො කොට අරමුණ රසයම අනුභව කරන බව සැලකිය යුතුයි.

සෑම සිතකම ඇතිවන මේ වේදනා සමූහයට වේදනා ස්කන්ධ යයි කියනු ලැබේ.

විශේෂයෙන් සුඛ වේදනා උපදනා කල්හි, එයම නැවත නැවත විඳීමට කැමැත්ත හා ආශාව ඇති වීමෙන් තණ්හාව දියුණු වන්නේය. දුක් වේදනා විඳින කල්හි පටිඝය ඇති වන්නේය.

සංඥාව

සංඥාව වනාහි ආරම්මණ ස්වභාවය හැඳිනීම ලක්ෂණ කොට ඇත්තේය. සෑම වස්තුවක්ම, සෑම ධර්මයක් ම ඔවුනොවුන්ට වෙනස් ආකාරයෙන් ඇතිවන බැවින්, ඒ ඒ වස්තු හෝ ධර්ම වෙන් වෙන් වශයෙන් හැඳිනීමට උපකාරවන ස්වභාවයක් හෙවත් ලක්ෂණ ඇත්තේය. සිතෙහිම හට ගන්නා වූ, එම අරමුණු ස්වභාවය හෙවත් ලක්ෂණ හැඳින ගන්නා ශක්තියට සංඥා චෛතසික යයි කියනු ලැබේ. සෑම සිතකම මේ සංඥාව ඇතිවන බැවින් එය ද සබ්බචිත්තසාධාරණ චෛතසිකයකි. මේ සංඥාව උපදනා කල්හි එම අරමුණ නැවත හැඳිනීමට ලකුණක් කොට නිරුද්ධ වෙයි. පසුව ඇතිවන සිත, ඒ ලකුණෙන් අරමුණ හැඳින, නැවත හැඳිනීමට උපකාරවන ලකුණක්ද කරයි. මෙසේ නැවත නැවත ලකුණු කරමින් උපදනා මේ සංඥා සමූහය කල්ගත වීමෙන් අරමුණ ස්ථිරව හැඳිනීමට උපකාර වේ.

මේ සංඥා තොමෝ වනාහී සුදු, රතු නිල් යනාදී වශයෙන් ඒ ඒ ආලම්බනයන්ගේ සලකුණු මාත්‍රයකින්, අරමුණ හැඳින ගන්නේ වී නමුත්, එය කුමක් හෙයින් සුදු රතු නිල් වූයේ දැයි නො දනී.

සෑම සිතක් පාසාම ඇතිවන මේ සංඥා සමූහයට සංඥා ස්කන්ධ යයි කියනු ලැබේ.

චේතනාව

කායික වූ ද, වාචසික වූද, මානසික වූද, හැම ක්‍රියාවක්ම කරන කල්හි, ඒ ඒ කෘත්‍යයන්හි උත්සාහවත් බව ඇති කරවන ආකාර යෙන්, සිතෙහිම විශේෂ ශක්තියක් පහළ වන්නේය. ක්‍රියාවක් හෙවත් කෘත්‍යයක් නො කරන සිතක් නැත. සිත පමණක් නොව සිතෙහි සම්ප්‍රයුක්ත ධර්ම සමූහයා විසින් ද වෙන් වෙන් වශයෙන් තම තමන්ට අයත් කෘත්‍යයන් සිදු කරමින් පහළ වෙත්. සිතත්, සම්ප්‍රයුක්ත ධර්මයනුත්, තම තමන්ට අයත් කටයුතු කිරීමෙහි ශක්ති යක් ඇතිව ඉපදුන නමුත්, ඒ ඒ කටයුතු පිළිබඳව උත්සාහවත් බව ඇති කරවන ශක්තියක් ද ඒ හා සමඟම ඉපදිය යුතු ය. එවැනි උත්සාහ කරවන ශක්තියක් නො ලැබුනොත් කටයුතු කළ නොහැකි වේ. එබැවින් සෑම සිතකම ඇතිවන මේ ශක්තියට චේතනාව යයි කියනු ලැබේ. මෙය ද සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයකි.

ස්වල්ප වූ සම්ප්‍රයුක්ත ධර්මයන් ඇති සිත්වල, එනම් අහේතුක විපාක සිත් ආදීන්හි යෙදෙන මේ චෙතනා චෛතසිකය ද දුර්වල වේ. එවැනි සිත්වලින් තමන්ට කළ හැකි වැඩ කටයුතු ද නැත. කුසලාකුසල කර්ම කරන කල්හි පහළවන සිත්වල වැඩි චෛතසික ගණනක් යෙදෙන බැවින් ද, එයින් කළයුතු කෘත්‍යයන් අධික බැවින් ද, ඒ සිත්වල යෙදෙන චෙතනා චෛතසිකය ද බලවත් වේ. මේ චෙතනා චෛතසිකය, තමනුත් උත්සාහවත් වී, සිතත්, අනිකුදු සම්ප්‍රයුක්ත ධර්මයනුත් උත්සාහවත් කරමින් උවමනා ක්‍රියාව සම්පූර්ණ කර දෙන්නේ ය. යුද්ධ සේනාපති තෙමේ යම්සේ ආයුධ සන්නද්ධව, ඉදිරියට පැමිණ, ඒ ඒ සේනාවන් ද ඒ ඒ යුද්ධ කාර්‍ය්‍යයන්හි යොදවා තමන් සතු කාර්‍ය්‍යය ද සිද්ධ කරන්නාක් මෙන්, මේ “චෙතසික භාවය” නම් වූ උත්සාහවත් වීම ලක්ෂණ කොට ඇති චෙතනා චෛතසිකය, සසම්ප්‍රයුක්ත වූ සිත තම තමන් සතු කාර්‍ය්‍යයන්හි යොදවා, තමනුත් උත්සාහවත්ව ක්‍රියා සම්පාදනය කරන්නේ ය. මෙසේ සියලුම ක්‍රියාචන්හි ප්‍රධානත්වය දරන චෙතනාව, කුසලාකුසල කර්මයන් කරවන කල්හි ඒ ඒ ක්‍රියාවන්ට යෝග්‍ය පරිද්දෙන් අනිකුත් සම්ප්‍රයුක්ත ධර්මයන් ද උපදවා ගන්නේ ය. මේ චෙතනාවට, කර්මය යයි කියනුයේ මේ හේතුව නිසා බව දත යුතුයි.

වේදනා, සංඥා, සඞ්ඛාර, විඤ්ඤාණ යන සතර නාම ස්කන්ධයන් අතුරෙන්, වේදනා, සඥා යන දෙක පළමු කොට දක්වා, එයට අනතුරුව සඞ්ඛාර ස්කන්ධය දක්වන කල්හි මේ චෙතනාව මුල් කොට ඇති චෛතසික පනස (50) දැක්වීමෙන් ද, ඉතිරි චෛතසිකයන් අතුරෙන් චෙතනාවට මුල් තැන දී තිබෙන බව සැලකිය යුතුය. මේ චේතනාවට ම කර්මය, සංඛාරය, ආයුහනය යනාදී නම් ද ව්‍යවහාර වේ. අන්‍ය වූ චෛතසිකයන් මෙන් මේ චෙතනාවගේ ආයුෂය ද චිත්තක්ෂණයකට වැඩි නොවේ. එසේ නමුත් මේ චෙතනාව හෙවත් කර්මය, ඔහුගේ නිරුද්ධයට පසුව ලැබිය යුතු විපාක ශක්තිය උපදවා දෙමින්ම නිරුද්ධ වන්නේය. ණය ගත්තා වූ තැනැත්තා ණය ගෙවන තුරුම ණයගැති වන්නාක් මෙන්, මෙසේ උපදවා ගත් චෙතනාවගේ විපාක ශක්තිය ගෙවෙන තුරුම නො නැසී පවතින්නේය. ණය ගෙවීමට කාලපරිච්ඡෙදයක් නියම කොට හෝ නියම නොකොට හෝ ණය ගත්තේ වී නම්, ඒ ඒ කාලසීමාව තුළ හෝ කාල නියමයක් නැතිව ලත්විටෙක හෝ, ණය ගෙවා නිදහස් විය හැකි වන්නාක් මෙන්, මේ චේතනාවගේ විපාක ශක්තිය ද, පළමුවන සත් වන ජවන් සිත්හි යෙදුන විට එම ආත්මභාවයෙහිදී ම හෝ, දෙවන අත්බැව්හි හෝ, විපාක දියයුතු වේ. මධ්‍යයෙහි වූ ජවන් සිත් පහෙන් සිදුවන කර්ම කාල නියමයක් නැතිව, අවස්ථා පරිදි විපාක දෙන්නේ වේ. ණය ගෙවුනු පසු ණයෙන් නිදහස් වන්නාක් මෙන් එක් චේතනා චෛතසිකයකගේ විපාකය වරක් ලැබුණු කල්හි එයින් නිදහස් වන්නේය. නැවත විපාක දෙනු ලබන්නේ අන්‍ය චේතනා වන්ගේ විපාකයෝය. යම් කර්මයක් කරන කල්හි ලක්ෂ සඞ්ඛ්‍යාත චිත්ත වීථි උපදනා බැවින් ද, ඉන් එක් චිත්ත වීථියක ජවන් හෙවත් කර්ම බවට පැමිණි සිත් සත බැගින් උපදනා බැවින් ද විපාක උපද වන චේතනා අප්‍රමාණ බවත් එම ගණනට ම අප්‍රමාණ විපාක ලැබෙන බවත් වටහා ගත යුතු.

එකග්ගතාවය

එක සිතකට, එක අරමුණක, එක් ආකාරයක් මුත් ආකාර කීපයක් එකවර ගත නො හැකිවේ. නොයෙක් ආකාරයන් එකවර ගන්නට ගියහොත් එකක්වත් හමු නොවන්නේය. එබැවින් සෑම සිතක්ම, තමන් විසින් ගනු ලබන අරමුණෙහි නොයෙක් ආකාරයන් අතුරෙන් යම්කිසි එක් ආකාරයක පිහිටා, එම ආකාරයෙන් ම අරමුණ ගන්නාවූ ශක්තියක් ද එම සිතෙහිම පහළ වේ. මෙසේ අරමුණෙහි සිත පිහිටුවන ස්වභාවයට එකග්ගතා යයි කියනු ලැබේ. සිතත්, සිතෙහි වූ සම්ප්‍රයුක්ත ධර්මයනුත්, උප්පාදක්ෂණයේ සිට භංග අවස්ථාවේ අවසානය දක්වා, අරමුණ අත් නොහැර, එහි පිහිටා, එහිම නවත්වා ගන්නා වූ ද, කම්පා නොවීම ලක්ෂණ කොට ඇති, එකග්ගතා ශක්ති යද, සෑම සිතකම, අනිකුත් සම්ප්‍රයුක්ත ධර්මයනුත් සමඟ පහළ වන්නේ ය. මේ එකග්ගතාවද සබ්බචිත්ත සාධාරණ චෛතසිකයකි. මෙයට සිතෙහි එකඟ බව යයි ද කියනු ලැබේ. සිතින් සහ සම්ප්‍රයුක්ත ධර්මයන් විසින් ද, තම තමන්ට අයත් කෘත්‍යයන් කරන්නට හැකි වන්නේ ඒ ධර්මයන් අරමුණෙහි පිහිටුවා ගත් කල්හි පමණය. මේ උපකාරය ලබාදෙන්නේ එකග්ගතා චෛතසිකය විසිනි.

බලවත් එකග්ගතාවට සමාධිය යයි කියනු ලැබේ. කාමාවචර සිත්හි යෙදෙන සමාධියට වඩා මහග්ගත ලොකෝත්තර සිත්හි යෙදෙන සමාධිය බලවත් වේ. මේ සමාධිය ප්‍රඥාව ලැබීමට උපකාර වේ. අකුසල් සිත්හි මේ එකග්ගතාවය සමඟ මෝහයත් උද්ධච්චයත් යෙදෙති. මෝහය බලවත් වූ කල්හි උද්ධච්චය හෙවත් නොසන්සුන් බව අධික වේ. මෝහමූල උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත ඇති වන්නේ එහෙයිනි. මේ සිතේ එකග්ගතාවයත් උද්ධච්චයත් එකට ඇතිවන්නේ කෙසේ දැයි සැක කළ හැකි වේ. එකග්ගතාවය, අරමුණ අත් නොහැර, අරමුණෙහි සිත රඳවා ගැනීම කරන්නේ ය. උද්ධච්චය, සිතත් සම්ප්‍රයුක්ත ධර්මත් කම්පාකොට නොසන්සුන් බව ඇති කරන්නේ ය. මේ කරුණු දෙකම අකුසල් සිතෙහි එකවර සිදු වේ. වල ගොඩ සහිත වූ මාර්ගයක රථය කට නැගී යන කෙනෙක් සෙලවි සෙලවි නමුත් රථයෙන් ගමන්කරන්නාක් මෙන්, මේ අකුසල් සිත ද උද්ධච්චයෙන් සම්ප්‍රයුක්ත ධර්මයන්ගේ නොසන්සුන් බව ඇතිවන නමුත් එකග්ගතා ශක්තියෙන් අරමුණ අත් නොහරින්නේ ය. උද්ධච්චය නිසා, සම්ප්‍රයුක්තධර්මයන්ට, තම තමන්ට අයත් කෘත්‍යයන් නිශ්චලව සිට කරන්නට නො හැකි වේ. කුසල් සිත්හි මෙවැනි කලබල සහිත ස්වභාවයක් නැති බැවින් එකග්ගතාවය බලවත්ව, සම්ප්‍රයුක්ත ධර්මයන්ට ද, නිශ්චලව, තම තමන්ට අයත් යහපත් කෘත්‍යයන් කිරීම පිණිස අරමුණෙහි සසම්ප්‍රයුක්ත වූ සිත මනාව පිහිටුවා දෙන්නේ ය. කාමාවචර සිත්වලට වඩා මහග්ගත සිත්හි යෙදෙන එකග්ගතාවය බලවත් බැවින් ඒ සිතින් ගත් අරමුණෙහි මනාව පිහිටා ක්‍රියා කරන්නේ ය. ලොකොත්තර සිතෙහි මේ බලවත් එකග්ගතාවය වූ සමාධිය සමඟ විදර්ශනා ඥානය යෙදෙන බැවින් ඒ සිත අන් හැමට වඩා බලවත්ය. පෘථග්ජන ගෝත්‍රය නැසීමට හැකි වන්නේත් මේ පිරිසිදුවීමත්, බලවත්කමත් නිසා ය.

ජීවිතෙන්ද්‍රිය

නාමජීවිතෙන්ද්‍රිය, රූපජීවිතෙන්ද්‍රිය යන දෙවැදෑරුම් ජීවිතෙන්ද්‍රියයන් අතුරෙන්, නාමජීවිතෙන්ද්‍රිය සියලුම අසූ නවයක් වූ සිත්හි යෙදෙන්නා වූ ද, සිතත්, සම්ප්‍රයුක්ත ධර්මත් නැසෙන්නට ඉඩ නොදී ආරක්ෂා කරන්නා වූ, ජීවිතය දෙන්නා වූ චෛතසික ධර්මයකි. නාම ධර්මයක් වූ මේ නාම ජීවිතෙන්ද්‍රිය, ඒ හා සමඟ පහළවන අනිකුන් නාම ධර්මයන් ජීවත් කරවන, ඉන්ද්‍රියභාවයෙහි පිහිටි චෛත සිකයක් බැවින් ජීවිතෙන්ද්‍රිය යයි කියනු ලැබේ. ජීවිතෙන්ද්‍රිය නැති කල්හි නාම ධර්මයන් ගේ පැවතීමක් නොවන්නේ ය. සෑම සිතක් ම විනාශ වන්නට ඉඩ නො දී සිත් පරම්පරාව ද රකිමින්, ජීවත් කරවමින්, සිතෙහි ම හට ගන්නා මේ ස්වභාවය හෙවත් ශක් තිය චිත්තසන්තතිය පාලනය කරන්නේ ය. මේ නිසා මෙය නො නැසෙන ශක්තියක් යයි ද, ආත්මයක් යයි ද වරදවා පිළිගැනීම ද සිදුවන්නේ ය. මේ ජීවිතෙන්ද්‍රිය චෛතසිකය ද අනිකුත් චෛතසිකයන් මෙන්, සිත හා සමගම ඉපිද සිත නිරුද්ධ වන කල්හි ම නිරුද්ධ වේ. එයට පසුව උපදින සිතෙහි ද ජීවිතෙන්ද්‍රියය ඒ සිත හා සමග ඉපිද නිරුද්ධ වේ. එබැවින් ජීවිතෙන්ද්‍රිය නො නැසෙන ශක්තියක් නොව හැම සිතක් පාසාම ඇතිව නැති වන චෛතසික ධර්මයකි.

රූපජීවිතෙන්ද්‍රිය යයි කියන ලද්දේ පටිසන්ධික්ෂණයේ දී හට ගත් කර්මජ රූපකලාපසන්තතිය නො නැසී චුතිය දක්වා පවත්වාගෙන යාමට කර්මයෙන් හටගත් රූප ධර්මයකි. මව් මළ පසු දරුවන් රැකීමට කිරිමව්වරු ඉදිරිපත් වන්නාක් මෙන් පටිසන්ධි සිත ඉපිද නිරුද්ධ වූවායින් පසු කර්මජ රූප කලාප ජීවත් කිරීමට මේ රූපජීවිතෙන්ද්‍රිය පහළ වන්නේ ය. චුති සිතෙහි අවසානය වනවිට කර්මජ රූප සියල්ලක් ම නිරුද්ධ වන බැවින් පටිසන්ධියේ දී හටගත් මේ ජීවිතෙන්ද්‍රිය නම් වූ රූප ධර්ම පරම්පරාව ද චුති සිතත් සමග නිරුද්ධ වේ.

සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වශයෙන් ගනු ලබන්නේ මේ නාමජීවිතෙන්ද්‍රිය බව දත යුතුයි.

මනසිකාරය

අරමුණු මෙනෙහි කිරීම ලක්ෂණ කොට ඇති මේ මනසිකාරය සියළුම සිත්හි යෙදෙන සබ්බචිත්තසාධාරණ චෛතසිකයකි. සිතට හමුවන නොයෙක් අරමුණුවලින් එකක් පමණක් එක වරකට සිතින් ගත හැකි බැවින්, කැමැති අරමුණු පමණක් ගැනීමටත් අන් අරමුණු වළක්වාලීමටත් මේ මනසිකාරය නම් චෛතසිකය උපකාර වේ. සිතත්, සම්ප්‍රයුක්ත ධර්මත් කැමැති එක් අරමුණට යොමු කරවන්නේ මේ මනසිකාරයයි. එබැවින් මේ මනසිකාරය, අරමුණු සිහි කිරීමත්, සිත හා එකිනෙක ගැලපීමත් සිදු කරන්නේය. මනසිකාරය නො මැති නම් අරමුණ වෙන්කර ගැනීමක් සිදු නොවේ. නුවණත් සමඟ යෙදී අරමුණු මෙනෙහි කරන විට යොනිසො මනසිකාරය යයි ද නුනුවණින් මෙනෙහි කරන විට අයොනිසො මනසිකාරය යයි ද කියනු ලැබේ. මනසිකාරයට පමණක් යහපත් හෝ අයහපත් වශයෙන් අරමුණු තෝරාගන්නට ශක්තියක් නැත.

මෙහි විස්තර කරන ලද මේ සබ්බචිත්තසාධාරණ චෛතසික ධර්ම සත, කුසල් අකුසල් විපාක, ක්‍රියා යන සෑම සිතකම යෙදෙති. කුසල් සිත් සමඟ යෙදෙන විට මේ සත් දෙනා එකාන්ත කුසලයෝ වෙති. අකුසල් සිත් සමඟ යෙදුන විට එකාන්ත අකුසල් වෙති. විපාක ක්‍රියා සිත්හි යෙදුන විට අව්‍යාකෘත චෛතසිකයෝ යයි කියනු ලැබේ. අඤ්ඤසමාන රාශියට ඇතුළත් වන්නේ ඒ හෙයිනි. ඉතාම දුර්වල වූ අහේතුක ද්විපඤ්ච විඤ්ඤාණ සිත්හි යෙදෙන්නේ මේ චෛතසික සත්දෙනා පමණය. මෙයින් එකක්වත් අඩුව සිතක් හට නොගන්නේය.