අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පඨවි කසිණ භාවනාව

පඨවි කසිණ භාවනාවෙහි යෙදෙන භික්‍ෂු තෙම, යට දක්වන ලද පරිදි සියලු කටයුතු සම්පාදනය කොට දහවල් දන් වළඳා, බත්මත ද දුරු කොට ගෙන විවේක ස්ථානයකට ගොස්, අභිනවයෙන් පිළියෙල කරගන්නා ලද හෝ ප්‍රකෘතියෙන් පිහිටි පෘථිවියක හෝ නිමිත්ත ගැනීමට පිළියෙල විය යුතු.

පෙර ආත්මභාවයන්හි, බුදුසසුන්හි හෝ සෘෂිප්‍රව්‍රජ්‍යාවෙන් හෝ පැවිදි ව, පඨවි කසිණයෙහි චතුෂ්ක පඤ්චක ධ්‍යානයන් උපදවා ගන්නා ලද්දේ නම්, එබඳු උපනිශ්‍රය සම්පන්න පුද්ගලයන්ට කලින් පිළියෙල කරනොගත් පෘථිවියෙහි ම නිමිත්ත උපදනේ ය. මල්ලක නම් මහ තෙරනමක් එබඳු උපනිශ්‍රය සම්පත් ඇති වූ හෙයින් සී සෑ තැන බලත් ම ප්‍රතිභාග නිමිත්ත ඉපදී, එය වඩා, පඤ්චම ධ්‍යානය උපදවා ගෙන එය පාදක කොට ගෙන විදර්ශනා වඩා රහත් වූ සේක.

එසේ පෙර භවයන්හි පඨවිකසිණය වඩා නුපුරුදු පුද්ගල තෙම, ආචාර්‍ය්‍යයන් වෙතින් කර්‍මස්ථාන විධි ඉගෙන, සතර කසිණ දොස් දුරු කොට කසිණ මණ්ඩලය සාදා ගත යුතු. ඒ සතර කසිණ දෝෂ නම්, නීල, පීත, ලොහිත, ඔදාත යන වර්‍ණ මිශ්‍ර වීම ය. එවැනි දොස් රහිත වූ අරුණුවන් මැටියෙන් කසිණ මණ්ඩලය සාදා ගත යුතු. ඒ කසිණ මණ්ඩලය කැමති තැනක ගෙනයා හැකිසේ සංහාරිම කසිණ මණ්ඩලයක් මෙන් සාදා ගන්නේ නම්, දඬු සතරෙක රෙදිකඩක් හෝ සමක් හෝ බැඳ, එහි තුනී කොට අඹරා ගත් මැටියෙන් එක් වියත් සතරඟුලක් වන සේ වට කොට මණ්ඩලය සාදා ගත යුතු. එහිම තිබෙන සේ හෙවත් තත්‍රස්ථක කසිණ මණ්ඩලයක් සාදාගනු කැමති නම්, පිරිස් නො ගැවසෙන විහාරස්ථානයෙහි කෙළවර හෝ අන් තැනක හෝ කණු ගසා, වැලින් බැඳ යට කියන ලද ආකාරයට මැටිගසා සාදාගත යුතු වේ. එය ද බෙර ඇසක් සේ සම කොට තනා ගත යුතු.

කසිණ මණ්ඩලය මෙසේ තනා ගෙන, අවට භූමිය ද හැමද, පිරිසුදු කොට, තමා ද ස්නානය කොට පිරිසුදු වී කසිණ මණ්ඩලයට දෙරියන් වියත් අතර තැන, එක් වියක් සතරඟුලක් උස් කොට ආසනයක් තනා, එහි හිඳ, කාමයෙහි ආදීනවයන් හා නෙක්ඛම්මයෙහි ආනිශංස ද මෙනෙහි කොට, රත්නත්‍රයෙහි ගුණ සිහි කොට ගෙන ප්‍රීති ප්‍රමොද්‍ය උපදවා, එකාන්තයෙන් මම බුදු, පසේබුදු, මහරහතුන් පිළිපන් මේ ප්‍රතිපදාවෙන් විවේක සුවය ලබන්නෙමි යි ධෛර්‍ය්‍ය උපදවා සමආකාරයෙන් බලා නිමිති ගෙන භාවනා කළ යුතු. කසිණ මණ්ඩලය දෙස බලන කල්හි එහි වර්‍ණය හෝ ලක්‍ෂණය හෝ නො සළකා, “පඨවි”, “පඨවි” යයි ප්‍රඥප්ති ධර්‍මයෙහි ම සිත පිහිටුවා මෙනෙහි කළ යුතු. මෙසේ බොහෝ කලක් විටෙක ඇස් දල්වා ගෙන ද, විටෙක ඇස පියාගෙන ද ආවර්ජනා කරත් ම, ඇස පියාගෙන ආවර්ජනා කරණ කල්හි ඇස දල්වා ආවර්ජනා කරණ කලෙක මෙන් කසිණය මනා කොට වැටහෙන්නේ නම්, එකල්හි උද්ග්‍රහ නිමිත්ත උපන්නේ නම් වේ. මෙසේ උද්ග්‍රහ නිමිත්ත උපන් පසු එහි නොසිට අන් තැනකට ගොස් ඒ නිමිත්ත මෙනෙහි කොට භාවනා කළ යුතු. තරුණ සමාධිය නම් වූ මේ නිමිත්ත යම් හෙයකින් නැතිව ගියහොත්, නැවතත් කසිණ මණ්ඩලය තිබූ තැනට ගොස් පළමු පරිදි එය වඩා නිමිත්ත උපදවා ගත යුතු. මෙසේ නැවත නැවත උද්ග්‍රහ නිමිත්ත ආවර්ජනා කරණ කල්හි ක්‍රමයෙන් ඔහුගේ කාමච්ඡන්‍දාදී නීවරණයන් විෂ්කම්භනය වී, කෙලෙස් සංසිඳීමෙන් උපචාර සමාධි වශයෙන් සිත සමාහිත වන්නේ ය. එවිට ප්‍රතිභාග නිමිත්ත උපන්නේ වේ.

ප්‍රතිභාග නිමිත්ත උද්ග්‍රහ නිමිත්තට වඩා සියදහස් ගුණයෙන් පිරිසුදු ය. එය වර්‍ණ සණ්ඨාන ඇත්තක් නොවේ. එසේම ඇසින් දැක්ක හැකි, ඕදාරික වූ, සම්මර්‍ශනයට යෝග්‍ය, ලක්‍ෂණත්‍රයෙන් හෙබියා වූ අරමුණක් ද නොව, සමාධිලාභීන්ට ම වැටහෙන මාත්‍රයකි. මේ ප්‍රතිභාග නිමිත්ත මනාව රැකගත් පුද්ගලයාහට උපචාර ධ්‍යානයාගේ උප කාරයෙන් අර්පණාව ද ලබාගත හැකි වේ. එසේ හෙයින් ඒ ප්‍රතිභාග නිමිත්ත චක්‍රවර්ති ගර්භයක් මෙන් රැකගත යුතු යයි කියන ලදී.