අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රතිභාග නිමිත්ත රැකගැනීම

ප්‍රතිභාග නිමිත්ත රැකගැනීමට අසප්පාය වූ ආවාස, ගොදුරු ගම, කථා, පුද්ගල, භෝජන, සෘතු, ඉරියව් දුරු කොට සප්පාය වූ ආවාස ආදිය සේවනය කළ යුතු. එසේ සේවනය කිරීමෙන් නොබෝ කලකින් ම අර්පණාව ලබාගත හැකි වේ.

1. ආවාස - යම් ආවාසයක වාසය කරණ යෝගාවචරයාහට නූපන් නිමිත්ත නූපදින්නේ නම්, උපන් නිමිත්ත නැති වන්නේ නම්, නො එළඹි සිහිය නො එළඹෙන්නේ නම්, අසමාහිත සිත සමාහිත නොවන්නේ නම්, ඒ ආවාසය අසප්පාය ආවාසයක් වේ. යම් ආවාසයක වසන්නහුට නිමිත්ත උපදී නම්, උපන් නිමිත්ත ස්ථිර වේ නම්, සිහිය එළඹ සිටී නම්, සිත සමාහිත වේ නම් එය සප්පාය ආවාසයක් වන්නේ ය.

2. ගොදුරු ගම - තමා වසන සේනාසනයෙන් උතුරු දිග හෝ දකුණු දිග හෝ ඉතා නුදුරු තන්හි පිහිටි භික්‍ෂාව සුලභ වූ ගම, සප්පාය ගොදුරු ගම වන්නේ ය. උතුරු දිග හෝ දකුණු දිග හෝ බලා යාමෙන් හිරු මුහුණට නොවදින හෙයින් ගමනාගමනයෙහි දී වෙහෙසට පත් නොවේ. එසේ නොවූ ගම අසප්පාය ගොදුරු ගම වේ.

3. කථා - තිරශ්චීන කථා නම් වූ දෙතිස් කථාවෝ අසප්පාය කථා නම් වේ. එයින් තමා ලබාගත් නිමිත්ත ද නැතිව යන්නේ ය. ප්‍රමාණවත් වූ දශ කථා වස්තු නිශ්‍රිත කථා සප්පාය කථා නම් වේ.

දෙතිස් නිරශ්චින කථා නම් - රාජ කථා, චෝර කථා, මහාමත්ත කථා, සේනා කථා, භය කථා, යුද්ධ කථා, අන්න කථා, පාන කථා, වස්ත්‍ර කථා, යාන කථා, සයන කථා, මාලා කථා, ගන්‍ධ කථා, ඉත්‍ථි කථා, ඤාති කථා, සූර කථා, විසිඛා කථා, කම්භට්ඨාන කථා, හානි කථා, ගාම කථා, නිගම කථා, නගර කථා, ජනපද කථා, පුබ්බපෙත කථා, නානත්‍ථ කථා, ලොකක්ඛායික කථා, සමුද්දක්ඛායික කථා, ශාස්වත දෘෂ්ටි කථා, උච්ඡේද දෘෂ්ටි කථා, වෘද්ධි කථා, කාමසුඛ කථා, අත්තකිලමථානුයොග කථා, යන දෙතිස ය.

දශකථා වස්තුහු නම් - අල්පෙච්ඡ කථා, සන්තුෂ්ටි කථා, විවේක කථා, අසංසර්ග කථා, වීර්‍ය්‍ය කථා, ශීල කථා, සමාධි කථා, ප්‍රඥා කථා, විමුක්ති කථා, විමුක්තිඥාන දර්‍ශන කථා යන දශකථාවෝ ය.

  1. පුද්ගල - යම් පුද්ගලයෙක් ඇසුරු කිරීමෙන් සමාහිත නොවූ සිත සමාහිත වේ නම්, සමාහිත වූ සිත ස්ථිර වේ නම්, තිරිසන් කථා ආදිය නො කරණ ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වූ පුද්ගලයා සප්පාය පුද්ගල නම් වේ. එසේ නොව තිරිසන් කථා කරණ ශරීර පෝෂණයෙහි ම යෙදුන පුද්ගලයන් ඇසුරු කිරීමෙන් තමා ලත් ධ්‍යානයත්, නිමිත්තත් නැති වන්නේ නම් ඔවුහු අසප්පාය පුද්ගල නම් වෙත්.
  2. භෝජන - යම් භෝජනයක් ගැනීමෙන් අසමාහිත වූ සිත සමාහිත වීමට උපකාර වන්නේ නම්, සමාහිත වූ සිත ස්ථිර වේ නම් එය සප්පාය භෝජන නම් වේ. යම් භෝජනයක් නිසා ලත් ධ්‍යානයත්, නිමිත්තත් පිරිහෙන්නේ ද එය අසප්පාය භෝජන නම් වේ.
  3. ඍතු - යම් ඍතුවක් සේවනය කිරීමෙන් අසමාහිත වූ සිත සමාහිත වීමට උපකාර වේ නම්, සමාහිත වූ සිත ස්ථිර වේ නම් එය සප්පාය ඍතු නම් වේ. යම් ඍතුවක් සේවනය කිරීමෙන් ලත් ධ්‍යානයත් නිමිත්තත් පිරිහෙන්නේ නම් එය අසප්පාය ඍතු නම් වන්නේ ය.

7. ඉරියව් - යම් පුද්ගලයෙකු හට සක්මන් කිරීම, සිටීම, හිඳීම සයනය කිරීම් ආදී වූ ඉරියව් අතුරෙන් යම් ඉරියව්වක් සිත සමාහිත වීමට, ස්ථිර වීමට උපකාරවේ නම් එය සප්පාය ඉරියව් නම් වේ. ලත් ධ්‍යාන නිමිත්තාදිය පිරිහීමට හේතුවේ නම් ඒ ඉරියව් අසප්පාය ඉරියව් නම් වේ.

මෙසේ සප්තවිධ අසප්පාය යන් දුරු කොට සප්තවිධ සප්පාය යන් සේවනය කොට අර්පණාව නො ලැබෙන්නේ නම් ඔහු විසින් දසවැදෑරූම් වූ කෞශල්‍යයයන් සම්පාදනය කටයුතු.