ඤාණදස්සන විසුද්ධියේ ආනුභාවය
- පරිපූර්ණ බොධිපාක්ෂික භාවය, සතර සතිපට්ඨානයෝ ය, සතර සම්‍යක් ප්‍රධානයෝ ය, සතර ඉද්ධිපාදයෝ ය, පඤ්ච ඉන්ද්රිය ය, පඤ්ච බලය ය, සප්ත බොධ්යාඞ්ගය ය, අෂ්ට ආර්‍ය්‍ය මාර්ගාඞ්ගය ය. යන මේ සත්තිස් (37) ධර්මයෝ නිර්වාණාවබෝධය කරවන හෙයින්, බොධි නම් වූ ආර්‍ය්‍ය මාර්ගයාගේ පක්ෂයෙහි වූ හෙයින් උපකාරක භාවයෙහි සිටි හෙයින් බොධිපාක්ෂික නම් වේ.
සතර සතිපට්ඨාන
කායාදී ඒ ඒ ආරම්මණයන්හි අනුව පිවිස, අනුව ගොස්, එළඹ සිටින හෙයින් පට්ඨාන නම්. සතියම පට්ඨානවූයේ සතිපට්ඨාන නම්.
මේ සතිපට්ඨානය, කාය, වෙදනා, චිත්ත, ධම්ම යන මේ සතර ධර්මයන්හි පිළිවෙලින් අශුභය, දුක්ඛය, අනිත්‍යය, අනාත්මය ය යන මේ ආකාරයන් ගැනීම් වශයෙන් ද, ශුභය, සුඛය, නිත්‍යය, ආත්මය ය යන මේ සංඥාවන්ගේ ප්‍රහාණ කෘත්‍යය සිද්ධ කිරීම් වශයෙන් ද පවත්නා හෙයින් සතර සතිපට්ඨානයෝ නම් වෙත්. මෙහි කායාදි සතරෙහි අශුභාදි ආකාර වශයෙන් ගැනීම පූර්වභාග සතිපට්ඨාන වශයෙන් ද, ඒ සතරෙහි වූ ශුභාදි සතර සංඥාවන්ගේ ප්‍රහාණ කෘත්‍ය සාධනය මාර්ග සතිපට්ඨාන වශයෙන් ද දත යුතු.
සතර සම්‍යක් ප්‍රධානයෝ - චිත්ත චෛතසික ධර්මයන් මනාව වීර්‍ය්‍ය කරවන හෙයින් ද, ක්ලේශයන්ගෙන් වන විරූපභාවය පහ කොට සොභන වූයේම හිතසුව නිපදවීම් වශයෙන් උත්තම භාවය එළවන බැවින් ද සම්‍යක් ප්‍රධාන නම් වේ.
මේ සම්‍යක්ප්‍රධාන නම් වූ වීර්‍ය්‍යය, උපන් අකුසලයන්ගේ ප්‍රහාණ කෘත්‍යය ද, නූපන් අකුසලයන්ගේ අනුත්පාද කෘත්‍යය ද, නූපන් කුසලයන්ගේ උත්පාද කෘත්‍යය ද, උපන් කුසලයන්ගේ ස්ථිති කෘත්‍යය ද සිද්ධ කරන හෙයින් සතරවැදෑරුම් වේ.
සතර ඍද්ධිපාදයෝ - ඡන්ද, චිත්ත, විරිය, වීමංස යන ධර්මයෝ තමා හා සම්ප්‍රයුක්ත ධර්මයන්ට පූර්වාඞ්ගමාර්ත්ථයෙන් හෝ ඵල වූ ඒ ඍද්ධියට පූර්වභාග කරන අර්ත්ථයෙන් හෝ ඍද්ධිහුගේ පාදවේ නුයි ඍද්ධිපාද නම් වේ. ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඍද්ධිපාද, විරිය ඍද්ධිපාද, වීමංසා ඉද්ධිපාද යන සතර ධර්මයෝ ලොකොත්තරම වෙති. ඡන්දාදී සතර අධිපතීන්ගේ වශයෙන් සමාධිය චිත්තයාගේ එකග්රතාවය ලබා නම් එය ඡන්ද සමාධි ආදී සමාධීහු වෙති. ඒ හා සම්ප්‍රයුක්ත ඵස්සාදී ධර්මයෝ ද ලෞකික ඍද්ධිපාද වෙති.
පඤ්ච ඉන්ද්රියයෝ - ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන පඤ්ච ධර්මයෝ ප්රතිපක්ෂ ධර්මයන් මැඩ පියන හෙයින් ඒ මැඩීම් අර්ත්ථයෙන් ඉන්ද්රිය නම් වෙති.
ශ්‍රද්ධාව - එයට ප්රතිපක්ෂ වූ අකුසල ධර්මයවූ ද, අවස්තුක ප්‍රසාද ප්‍රතිරූපක වූ මිථ්‍යාදෘෂ්ටිය යන අශ්රද්ධාව නසයි.
විරිය - ථීන මිද්ධ සම්ප්‍රයුක්ත කුසිත බව මැඩලයි.
සතිය - ස්මෘති විප්‍රවාසය වූ ප්‍රමාදය දුරු කරයි.
සමාධිය - නන් අරමුණෙහි සිත විසුරු වන වික්ෂේපය නසයි.
ප්‍රඥාව - අරමුණෙහි මුළා බව නම් වූ සම්මෝහය නසයි.
පඤ්චබල ධර්ම - අශ්රද්ධාදී ප්රතිපක්ෂ ධර්මයන් විසින් මැඩපිය නොහෙන අර්ථයෙන් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා යන ධර්ම පස බල ධර්මයෝ යි.
සප්ත බෝධ්‍යාඞ්ග - චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන සත්ත්වයාහට අඞ්ගභාවයෙන් සති, ධම්මවිචය, විරිය, පීති, පස්සධි, සමාධි උපෙක්ඛා යන සප්ත ධර්මයෝ බොජ්ඣඞ්ග නම් වෙත්.
යම් පුද්ගලයෙකු ලොකොත්තර මාර්ගක්ෂණයෙහි උපදනා මේ සති ආදී ධර්ම සමුදාය කරණකොට ක්ලේශ සන්තාන නිද්‍රාවෙන් නැගෙන හෙයින් ද, චතුරාර්‍ය්‍ය සත්‍යය ප්‍රතිවේධ කරන හෙයින් ද, නිර්වාණය හෝ අවබෝධ කරන හෙයින් ද, මාර්ගඥානයට බොධි යයි කියනු ලැබේ. ඒ බොධියට අඞ්ග වන හෙයින් සති ආදිය බොජ්ඣඞ්ග නම් වෙත්.
අෂ්ට ආර්‍ය්‍ය මාර්ගාඞ්ග - සසරින් නික්මවන, ගෙන යන අර්ථයෙන් සම්මාදිට්ඨි ආදී ධර්ම අටදෙන මාර්ගාඞ්ග නම් වෙත්.
මේ සත්තිස් බොධිපාක්ෂික ධර්මයෝ මාර්ගයට පූර්වභාගයෙහි නානා චිත්තක්ෂණයන්හි පවතිත්. ලෞකික විදර්ශනාව පවත්නා කල්හි ආනාපානසති, ඉරියාපථ, චතු- සම්පජඤ්ඤ, පටිකකුලමනසිකාර පර්ව හා නවසීවථික පර්ව වශයෙන් තුදුස් පරිද්දෙකින් පරිග්‍රහ කරන්නහුට කායානුපස්සනා සතිපට්ඨානය ද,
නවප්‍රකාරයකින් වෙදනා පරිග්‍රහ කරන්නහුට වෙදනානුපස්සනා සතිපට්ඨානය ද,
සොළොස් ආකාරයෙන් සරාග, සදොස, සමෝහ, සංඛිත්ත, මහග්ගත, සමාහිත, සඋත්තර, විමුත්ත යන සප්රතිපක්ෂ පදයන්ගේ සොළොස් ආකාරයෙන් සිත පරිග්‍රහ කරන්නාහුට චිත්තානුපස්සනා සතිපට්ඨානය ද,
නීවරණ, උපාදානසකන්ධ, ආයතන, බොජ්ඣඞ්ග, සච්ච යන පස්වැදෑරුම් පර්ව වශයෙන් ධර්මයන් පරිග්‍රහ කරන්නහුට ධම්මානුපස්සනා සතිපට්ඨානය ද ලැබේ.
මේ ආත්මභාවයෙහි තමා සතන්හි නූපන්, පරහට උපන් අකුසලය දැක, යම් යම් පරිද්දෙකින් පිළිපන් ඔහුට මේ වධබන්ධනාදිය උපන්නේ නම් මම එසේ නොපිළිපදිමි යි, මෙසේ ඇති කල්හි ඒ අකුසලය මට නූපදිනුයි ඒ අකුසල් නූපදීමට වෑයම් කරන කල්හි පළමුවන සම්‍යක් ප්‍රධානය ද,
තමා සතන්හි උපන් අකුසලයක් දැක ඒ අකුසල ප්රහාණය පිණිස වෑයම් කරන්නහුට දෙවන සම්‍යක් ප්‍රධානය ද,
මේ අත්බැව්හි නූපන් විරූ ධ්‍යාන විදර්ශනාදියක් ඉපදවීමට වෑයම් කරන්නහුට තුන්වන සම්‍යක් ප්‍රධානය ද,
තමා සතන්හි උපන් ධ්‍යානාදියක් නො පිරිහෙනසේ නැවත නැවත උපදවන්නහුට සතර වන සම්‍යක් ප්‍රධානය ද වේ.
ඡන්දය ප්‍රධාන කොට කුසලය උපදවන කල ඡන්දිද්ධිපාදය වේ. චිත්තය ප්‍රධාන කොට කුසලය උපදවන කල චිත්තිද්ධිපාදය වේ. විරිය ප්‍රධාන කොට කුසලය උපදවන කල විරියිද්ධිපාදය වේ. ප්‍රඥාව ප්‍රධාන කොට කුසලය උපදවන කල වීමංසා ඉද්ධිපාදය වේ.
මෙසේ අනිකුදු බෝධිපාක්ෂික ධර්මයෝ ඒ ඒ අවස්ථාවන්හි ලැබෙන බව සැලකිය යුතු.
සතර මාර්ග චිත්තයන්ගේ උත්පත්ති කාලයෙහි මේ බෝධිපාක්ෂික ධර්මයෝ එක සිතෙහි ම ලැබෙති.
මේ සියලු බෝධිපාක්ෂික ධර්ම, වස්තු ධර්ම වශයෙන් තුදුසෙක් වේ. එනම්:-
- සති
- විරිය
- ඡන්ද
- චිත්ත
- පඤ්ඤා
- සද්ධා
- සමාධි
- පීති
- පස්සද්ධි
- උපෙක්ඛා
- විතක්ක
- සම්මාවාචා
- සම්මාකම්මන්ත
- සම්මාආජීව.
මෙයින් -
ඡන්ද, චිත්ත යන දෙදෙන ඉද්ධිපාද වශයෙන් ද,
පීති, පස්සද්ධි, උපෙක්ඛා යන තිදෙන බොජ්ඣඞ්ග වශයෙන් ද,
සම්මාසඞ්කප්ප, සම්මාවාචා, සම්මාකම්මන්ත, සම්මා- ආජීව යන සතරදෙන මාර්ගාඞ්ග වශයෙන් දැයි නව ධර්මකෙනෙක් එක් එක් වැදෑරුම් වේ.
ශ්‍රද්ධාව - ඉන්ද්රිය, බල වශයෙන් දෙවැදෑරුම් වේ.
සමාධිය - සමාධින්ද්රිය, සමාධිබල, සමාධිසම්බො- ජ්ඣඞ්ග, සම්මා සමාධි වශයෙන් සිව්වැදෑරුම් වේ.
ප්‍රඥාව - ඉන්ද්රිය, බල, බොජ්ඣඞ්ග, (ධම්මවිචය) සම්මාදිට්ඨි, (මාර්ගාඞ්ග) වීමංසිද්ධිපාද වශයෙන් පස් වැදෑරුම් වේ.
සතිය - සතර සතිපට්ඨාන, ඉන්ද්රිය, බල, බොජ්ඣඞ්ග, මග්ගඞ්ග, ඉද්ධිපාද වශයෙන් ද නව වැදෑරුම් වේ.
ප්‍රථමධ්‍යානික මාර්ගයෙහි මේ වස්තු ධර්ම තුදුසම ලැබෙති.
ද්විතීයධ්යානික මාර්ගයෙහි සඞ්කප්පය හැර තෙළෙසකි.
චතුර්ත්ථ පඤ්චක ධ්‍යානික මාර්ගයන්හි ප්‍රීතිය ද නැති හෙයින් වස්තු දොළොසෙකි.
- වුට්ඨානයෙන් ද, බලයෙන් ද යුක්ත බව, වුට්ඨාන බල සමායෝගය වේ.
වුට්ඨානය නම් නිමිත්තයෙන් හා ප්රවෘත්තයෙන් නැගීම ය.
බලසමායෝගය නම් සමථ විදර්ශනා බලයෙන් සම්ප්‍රයුක්ත බව ය.
වුට්ඨානය හා බලසමායෝගය - වුට්ඨාන බලසමා- යෝග නම්.
ලෞකික විදර්ශනාව සංස්කාර නිමිත්ත අරමුණු කොට ඇති හෙයින් නිමිත්තෙන් නොනැගිටියි. සංස්කාර නිමිත්ත හැර නිවන් අරමුණු කිරීමේදී නිමිත්තයෙන් නැගීම වේ.
ප්රවෘත්ති කාරණා වූ සමුදය සමුච්ඡේද නොකරන හෙයින් නොසිඳින හෙයින් විපාක ප්‍රවෘත්තියෙන් නොනැගේ. හේතු නිරෝධයෙන් ආයති විපාක ප්‍රවෘත්තිය මතු නූපදනා ස්වභාවයට පැමිණවීම ප්රවෘත්තයෙන් හෙවත් පැවැතීමෙන් නැගීම නම් වේ.
ලෞකික අෂ්ටසමාපත්තීන් භාවනා කාලයෙහි සමාධි භාවනා වශයෙන් සමථ බලය අධික වේ.
අනිච්චානුපස්සනාදිය භාවනා කරන කාලයෙහි විදර්ශනා බලය අධික වේ.
ආර්‍ය්‍ය මාර්ගක්ෂණයේදී ඒ සමථ විදර්ශනා ධර්මයෝ දෙදෙන සමව, අන්‍යොන්‍යයන් වැළඳගන්නවුන් මෙන් පවතිත්. එ බැවින් මේ සතර මාර්ගක්ෂණයෙහිම සමථවිදර්ශනා බල සමායෝගය වේ
3. ඒ ඒ මාර්ගයෙන් ප්රහාණය කටයුතු සංයෝජනාදිය ප්‍රහීණ කිරීම.
මේ චතුර්විධ මාර්ගයන් අතුරෙන් යම් මාර්ගඥානයකින් ප්රහාණය කළ යුතු යම් සංක්ලේශ ධර්මයක් වේ නම් එය ද ප්‍රහාණයවීම එක් ආනුභාවයකි. ඒ සංක්ලේශයෝ නම්-
- සංයෝජන - මෙලෝ, පරලෝ ස්කන්ධයන් ද, ඵලය හා කර්මය ද, දුක හා සත්ත්වයන් ද එකට බැඳ තබන හෙයින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උඩච්ච, අවිජ්ජා යන දස දෙන සංයෝජන නම් වෙත්. මෙයින් සක්කායදිට්ඨි ආදී මුල් ධර්ම පස කාම භවයෙහි සත්ත්වයන් බැඳ තබන හෙයින් ඔරම්භාගීය සංයෝජන නම් වෙත්. රූපරාගාදී ඉතිරි පස රූපාරූප භවයන්හි සත්ත්වයන් බැඳ තබන හෙයින් උඩම්භාගීය සංයෝජන නම් වෙත්.
- ක්ලේස - තමාම කිලිටි වන හෙයින් ද සම්ප්‍රයුක්ත ධර්ම කිලිටි කරන හෙයින් ද ලෝභ, දෝස, මෝහ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, ථීන, උඩච්ච, අනෝත්තප්ප යන දස ධර්මයෝ ක්ලේශ ධර්ම නම් වෙත්.
- මිච්ඡත්ත - වරදවා විපරීත අදහසින් පවත්නා හෙයින් ද, මිථ්යාභාවයෙන් යුක්ත වන හෙයින් ද, මිච්ඡාදිට්ඨි, මිච්ඡාසංකප්ප, මිච්ඡාවාචා, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි යන ධර්මයෝ අටදෙන අෂ්ටමිච්ඡත්ත නම් වෙත්. මිච්ඡාවිමුත්ති, මිච්ඡාඥාන යන දෙකත් සමඟ මිච්ඡත්තයෝ දසදෙනෙකි.
- ලොක ධර්ම - ස්කන්ධයන්ගේ පැවැත්ම ඇති කල අනුපරම ධර්ම වශයෙන් පවත්නා ලාභ, අලාභ, අයස, යසස, නින්දා, පසංසා, සුඛ, දුක්ඛ යන ධර්ම අටදෙන අෂ්ටලෝක ධර්ම නම් වෙත්.
- මච්ඡරිය - අනුන් හා සාධාරණ බව නොඉවසන ආකාරයෙන් පවත්නා ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, ධම්ම මච්ඡරිය, වණ්ණ මච්ඡරිය, යන ධර්ම පස මච්ඡරිය ධර්ම නම් වෙත්.
- විපල්ලාස - අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අශුභ වස්තූන්හි නිත්‍ය, සුඛ, ආත්ම, සුභ, වශයෙන් පැවති සංඥා, චිත්ත, දිට්ඨි යන ධර්මයෝ තිදෙන විපල්ලාස ධර්ම නම් වෙත්.
- ග්රන්ථ - නාම, රූප කායයන් භවයෙන් භවයෙහි ගැටගසන අභිජ්ඣා, ව්‍යාපාද, සීලබ්බතපරාමාස, ඉදං සච්චාහිනිවෙස යන ධර්ම සතර කායග්‍රන්‍ථයෝ නම් වෙත්.
- අගති - ඡන්ද, දොස, මොහ, භය යන සතර ධර්මයන්හි යෙදී නොකටයුතු කිරීම හා කටයුතු නොකිරීම. අගති නම් වේ. ආර්‍ය්‍යයන් විසින් නොයා යුතු මඟ වන හෙයින් ද අගති නම් වේ.
- ආශ්‍රව - ආරම්මණ වශයෙන් ගෝත්‍රභූ සිත දක්වා ද භවාග්‍රය දක්වා ද, වහනය වන හෙයින් හෝ සංවරණය නො කළ චක්ෂුරාදී චාරයෙන් කළ සිදුරු වලින් ජලය මෙන් වහනය වන හෙයින් නිතර වැගිරීම් අර්ත්ථයෙන් හෝ සසර දුක වහනය වන හෙයින් හෝ කාමරාග, භවරාග, මිච්ඡාදිට්ඨි, අවිද්‍ය යන සතර ධර්මයෝ ආශ්‍රව නම් වෙත්.
- ඔඝ - භව සයුරට ඇද හෙලන අර්ත්ථයෙන් හා එතර වීමට දුෂ්කර අර්ත්ථයෙන් කාම, භව, දිට්ඨි, අවිද්‍ය යන සතර ධර්මයෝ ඔඝ නම් වෙත්.
- යෝග - ආලම්බන වියෝගයට හා දුක්ඛ වියෝගයට ද අවකාශ නොදෙන හෙයින් කාම, භව, දිට්ඨි, අවිද්‍ය යන සතර ධර්මයෝ යෝග නමුදු වෙති.
- නීවරණ - සගමොක් මග ද, කුසල චිත්තය ද විශේෂයෙන් ධ්‍යාන චිත්තය වැළකීම් වශයෙන් ආවරණය කරණ හෙයින් ද, වැසීම කරන හෙයින් ද, කුසලාදීන් පිරිසිඳ දක්ක නොදී පැවැත්ම වන හෙයින් ද, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා නම් වූ ධර්ම පස නීවරණ ධර්ම නම් වෙත්.
- පරාමාස - කායාදී ඒ ඒ ධර්මයාගේ අශුභාදී ස්වභාවය ඉක්ම ශුභාදී වශයෙන් නැති ස්වභාවයෙන් දැඩි කොට ගැනීම් ආකාරයෙන් පවත්නා මිථ්‍යාදෘෂ්ටිය පරාමාස නම් වේ.
- උපාදාන - කාම, දිට්ඨි, ශීලව්‍රත, ආත්මවාදාදී වශයෙන් දැඩිව ගන්නා අර්ත්ථයෙන් කාමූපාදාන, දිට්ඨුපාදාන, සීලබ්බතුපාදාන, අත්තවාදූපාදාන යන සතර ධර්මයෝ උපාදාන නම් වෙත්.
- අනුසය - බලවත්ව උපන් බැවින් ද, නැවැත කාමරාගාදීන්ගේ උත්පත්තියට හේතුභාවයෙන් අනුව සයනය කරන හෙයින් කාමරාග, පටිඝ, මාන, දිට්ඨි, විචිකිච්ඡා, භවරාග, අවිජ්ජා යන ධර්ම සත අනුසය ධර්ම නම් වෙති.
- මල - තෙල් අඳුන් කලලයක් මෙන් තමනුත් කිලුටු බැවින් ද අනුනුත් අශුද්ධ කරන හෙයින් ද, ලෝභ දෝස, මෝහ යන තුන මල නම් වෙත්.
- අකුසල කර්මපථ - අකුසල කර්මභාවයෙන් ද, දුගතියට මාර්ගභාවයෙන් ද, පාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාච, ඵරුසාවාච, සම්ඵප්පලාප, අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි යන දසය අකුසල කර්මපථ නම් වෙත්.
- අකුසල චිත්තොත්පාද - ලොභමූලික අකුසල් සිත් අටය, දෝසමූලික දෙකය, මෝහමූලික දෙකය යන දොළොස අකුසල චිත්තොත්පාද නම් වෙත්.
සතර මාර්ග ඥානයාගේ ක්ලේශ ප්රහාණය
| ක්ලේශ ධර්ම | සෝවාන් මාර්ග ඥානයෙන් | සකෘදාගාමි මාර්ග ඥානයෙන් | අනාගාමි මාර්ග ඥානයෙන් | අර්හත් මාර්ග ඥානයෙන් |
|---|---|---|---|---|
| සංයෝජන | සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, අපායට පමුණුවන කාම රාග, පටිඝ | ඖදාරික කාමරාග හා පටිඝ | කාමරාග, පටිඝ | රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා |
| ක්ලේශ | දිට්ඨි, විචිකිච්ඡා | ද්වේෂය | ලොභ, මොහ, මාන, ථීන, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච | |
| මිච්ඡත්ත | දිට්ඨි, මුසාවාද, මිච්ඡාකම්මන්ත, මිච්ඡාආජීව | මිච්ඡාසංකප්ප පිසුණාවාචා ඵරුසාවාචා | සම්ඵප්පලාප, මිච්ඡාවායාම, මිච්ඡාසති, මිච්ඡාසමාධි, මිච්ඡාවිමුත්ති, මිච්ඡාඤාණ | |
| ලොක ධර්ම | අලාභ, අයස, නින්දා, දුක්ඛ | ලාභ, යසස, පසංසා, සුඛ |
| ක්ලේශ ධර්ම | සෝවාන් මාර්ග ඥානයෙන් | සකෘදාගාමි මාර්ග ඥානයෙන් | අනාගාමි මාර්ග ඥානයෙන් | අර්හත් මාර්ග ඥානයෙන් |
|---|---|---|---|---|
| මච්ඡරිය | මච්ඡරිය | |||
| විපල්ලාස | අනිත්‍යයෙහි නිත්‍යය අනාත්මයෙහි ආත්මය යයි ගන්නා සංඥා, චිත්ත, දිට්ඨි, විපල්ලාස, දුක්ඛයෙහි සුඛය, අශුභයෙහි ශුභයයි ගන්නා දිට්ඨි විපල්ලාස | අශුභයෙහි ශුභයයි ගන්නා සංඥා, චිත්ත, විපල්ලාස | දුක්ඛයෙහි සුඛයයි ගන්නා සංඥා, චිත්ත, විපල්ලාස | |
| ග්රන්ථ | සීලබ්බතපරාමාස ඉදංසච්චාභිනිවේස කායග්‍රන්‍ථ | ව්‍යාපාද කාය ග්රන්ථ | අභිධ්‍යා කාය ග්රන්ථ | |
| අගති | සතර අගතීහු | |||
| ආශ්‍රව | දිට්ඨාසව | කාමාසව | භවාසව, අවිජ්ජාසව | |
| ඕඝ | දිට්ඨොඝ | කාමොඝ | භවොඝ, අවිජ්ජොඝ | |
| යෝග | දිට්ඨියොග | කාමයොග | භවයොග, අවිජ්ජායොග |
| ක්ලේශ ධර්ම | සෝවාන් මාර්ග ඥානයෙන් | සකෘදාගාමි මාර්ග ඥානයෙන් | අනාගාමි මාර්ග ඥානයෙන් | අර්හත් මාර්ග ඥානයෙන් |
|---|---|---|---|---|
| නීවරණ | විචිකිච්ඡා, ඖදාරික කුක්කුච්ච | කාමච්ඡන්ද, ව්‍යාපාද, කුක්කුච්ච | ථීනමිද්ධ, උද්ධච්ච | |
| පරාමාස | පරාමාස (මිච්ඡාදිට්ඨි) | |||
| උපාදාන | දිට්ඨි, සීලබ්බත පරාමාස අත්තවාද | කාමූපාදාන | ||
| අනුසය | දිට්ඨි, විචිකිච්ඡා | කාමරාග, පටිඝ | මාන, භව, අවිජ්ජා | |
| මල | දෝස | ලෝභ, මෝහ | ||
| අකුසල කර්මපථ | ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර, මුසාවාද, මිච්ඡාදිට්ඨි | පිසුණාවාචා, ඵරුසාවාචා, ව්‍යාපාද | සම්ඵප්පලාප, අභිජ්ඣා | |
| අකුසල චිත්තෝත්පාද | දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් සතර විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත | ඖදාරිකපටිඝ සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද | පටිඝ සම්ප්‍රයුක්ත සිත් 2 | දිට්ඨි විප්‍රයුක්ත සිත් සතර හා උද්ධච්ච සම්ප්‍රයුක්ත සිත |
සතර මාර්ග ඥානයෙන් ප්රහාණය කරනු ලබන ක්ලේශයෝ අතීත කෙලෙස් නො වෙති. ඔව්හු අතීතයෙහි ම නිරුද්ධ වූහ. අනාගත කෙලෙස් නූපන් හෙයින් අනාගත කෙලෙස් ද නො වෙති. කෙලෙස් ඇති කල මාර්ග භාවනාවක් නො වන හෙයින් ප්‍රත්‍යුත්පන්න කෙලෙස් ද ප්රහාණය නො වෙත්.
මෙතාක් ගෙඩි හට නොගත් තරුණ ගසක් යම් පුරුෂයෙක් මුලින් සිඳී නම් ඒ ගසෙහි හට නොගත් ඵල නූපන්නාහු ම නූපදිති. හට නොගත්තාහු ම හට නො ගනිති. පහළ නොවූවෝම පහළ නො වෙත්. මෙසේ ඵල හට නොගත් ගසක් මුලින් සිඳි කල මතු ඉපදීමට, සුදුසු වූ, සිඳීමෙන් ම නූපන්, ඵල නැසුණවුන් වන්නාක් මෙන් මාර්ග භාවනාව නො කළ කල ඉපදීමට සුදුසු කෙලෙස්, මාර්ග භාවනාවෙන් නූපදින හෙයින් ප්‍රහීණ වූයේ වේ. කෙලෙස් ඉපදීමට උත්පත්තියම හේතුව ද වේ. ප්‍රත්‍ය ද වේ. ඒ උත්පත්තියෙහි ආදීනව දැක අනුත්පාදයෙහි හෙවත් නිර්වාණයෙහි සිත පිවිසේ. එසේ නිවණෙහි සිත පිවිසි හෙයින් ඉපදීම හේතුකොට වන්නා වූ කෙලෙස් නූපදනවුන්ම නූපදනා හෙයින් ප්‍රහීණ නම් වේ. පහළ නොවූවෝම පහළ නොවෙති. මෙසේ හේතුනිරෝධයෙන් ඵලය වූ දුක්ඛනිරෝධය වේ.
කෙලෙස් ඉපදීමට හා පැවැත්මට භූමියක් ඇති විය යුතු. ඒ භූමිය නම් විදර්ශනා ප්‍රඥාවට අරමුණු වන උපාදාන ස්කන්ධ පඤ්චක යයි. එ හෙයින් කෙලෙස් ඉපදීමට හේතු වූ පඤ්චුපාදානස්කන්ධ සඞ්ඛ්‍යාත භූමිය ලැබූ කල්හි උපදනා ක්ලේශයෝ භූමිලබ්ධොත්පන්නයෝ ය. එය වර්තමානාදී උත්පන්නයනට ප්රතිපක්ෂය.
උත්පන්නයෝ සතර දෙනෙකි. එනම්:-
- වර්තමාන උත්පන්න ය,
- භුත්වාපගත උත්පන්න ය,
- අවකාශකෘත උත්පන්න ය,
- භූමිලබ්ධ උත්පන්න ය,
- වර්තමාන උත්පන්නයෝ - උත්පාද, ජරා, භඞ්ගයෙන් යුක්ත වූ නාම-රූපයෝ වර්තමාන උත්පන්න ධර්මයෝ ය.
- භුත්වාපගත උත්පන්නය - අරමුණු රස අනුභව කොට නිරුද්ධ වූ අනුභුත්වාපගත නම් වූ කුසල් අකුසල් ද, උත්පාදාදී ක්ෂණත්රයට පැමිණ නිරුද්ධ වූ කුසලාකුසලයෙන් පිටත් සෙසු සඞ්ඛත ධර්මයෝ ද භුත්වාපගතොත්පන්නයෝ නම් වෙත්.
- අවකාශ කෘත උත්පන්නය - විපාකදීමට අවකාශ කිරීම් වශයෙන් උපද වන ලද අතීත කර්මය ද, එයින් උපදනට සිටි අනාගත විපාක ද අවකාශ කෘත උත්පන්න නම් වෙත්.
- භූමිලබ්ධ උත්පන්නය - ඒ ඒ දිව්‍ය මනුෂ්‍යාදී ආත්මභාව සඞ්ඛ්‍යාත පඤ්චස්කන්ධය නම් වූ භූමියෙහි නො නසන ලද අකුසලය, නැතැයි නොකිය හැකි හෙයින් භූමිලබ්ධොත්පන්න නම් වෙත්. එනම් ප්‍රහීණ නොකළ ක්ලේශයෝ ය. ඒ ස්කන්ධ විෂයෙහි අප්රහීණාර්ත්ථයෙන් අනුශයිත කෙලෙස්හු ද වෙති. ඒ පුද්ගලයාගේ ඒ ස්කන්ධයෝ ඒ ක්ලේශයන්ට වස්තු වෙති. අනුන් සන්තක වූ ස්කන්ධයෝ වස්තු නොවෙති.
සෝවාන් ආදී ආර්‍ය්‍ය පුද්ගලයන් අතුරෙහි යම් යම් ආර්‍ය්‍ය පුද්ගලයෙකුගේ ස්කන්ධ විෂයෙහි ඒ ඒ වට්ටමූල අනුශය ක්ලේශ සමූහය ඒ ඒ මගින් ප්‍රහීණවූයේ නම් ඒ ඒ ආර්‍ය්‍ය පුද්ගලයෝ ඒ ඒ ස්කන්ධ ප්‍රහීණ වූ ඒ ඒ වට්ටමූල ක්ලේශයනට වස්තු නොවන හෙයින් භූමිය යන ව්‍යවහාරය නො ලබයි.
පෘථග්ජනයන්ගේ වට්ටමූල කෙලෙස් ප්‍රහීණ නොකළ බැවින් ඔවුන් විසින් කරනු ලබන චේතනා චෛතසික භෙද ඇති යම් කිසි කර්මයක් කුසල් හෝ අකුසල් වේ. මෙසේ අප්‍රහීණ අනුශය කෙලෙස් ඇති හෙයින් ඒ පෘථග්ජනයන් හට කර්ම - ක්ලේශ ප්‍රත්‍යයයෙන් සංසාර වෘත්තිය පවතී. ඒ වට්ටමූලය ඔවුන් පිළිබඳ වූ ස්කන්ධ පඤ්චකයෙහිම පවතී.
තවද, මේ උත්පන්නය,
- සමුදාචාරය,
- ආරම්මණාධිග්ගහිතය,
- අවික්ඛම්භිතය,
- අසමූහතය යි ද චතුර්විධ වේ.
මේ සතර වැදෑරුම් උත්පන්නයන් අතුරෙන් වර්තමාන උත්පන්නය සමුදාචාර උත්පන්නය නමි.
චක්ෂුරාදියට අරමුණු හමුවූ කල්හි, පූර්වභාගයෙහි පැවැති ජවනවාර නූපදනා කෙලෙස්, අරමුණ දැඩි කොට ගත් කල්හි පසුව නියමයෙන් ම උපදනා හෙයින් ආරම්මණා- ධිග්ගහිත උත්පන්නය නම් වේ.
කැලණිගම පිඬු පිණිස හැසුරුණු මහාතිස්ස තෙරණුවෝ දවල් කාලයෙහි විසභාග රූපයන් දැක රාත්‍රී කාලයෙහි, එම අරමුණෙහි බලවත් ව උපන් කෙලෙස් විෂ්කම්භණය කොට රහත්වූහ.
සමථ - විපස්සනාවන් අතුරෙන් එකෙකින්වත් විෂ්කම්භණය නොකළ කෙලෙස් චිත්ත සන්තතියට නොනැගි නමුත් ක්ලේශෝත්පත්තිය වළක්වන හේතුවක් නැති හෙයින් අවික්ඛම්භිතුප්පන්න නම් වේ.
සමථ විපස්සනා වශයෙන් විෂ්කම්භණය කළ කෙලෙස් ද, ආර්‍ය්‍ය මාර්ගයෙන් නො නැසූ හෙයින් ද, උත්පත්ති ස්වභාවය නො ඉක්ම වූ හෙයින් ද, අසමූහතුප්පන්න නම් වේ. අහසින් යන අෂ්ට සමාපත්තිලාභී තෙරුන්ට මල් පිපි රුක් ඇති උයනෙක මල් නෙලමින් මිහිරි හඬින් ගායනා කරන මාගමකගේ ගීත ශබ්දය ඇසීමෙන් උපන් කෙලෙස් මෙනි.
මේ සතර වැදෑරුම් උත්පන්නයන් අතුරෙන් ආරම්මණාධිග්ගහිතුප්පන්නය, අවික්ඛම්භිතුප්පන්නය, අසමූහතුප්- පන්නය යන ත්‍රිවිධ උත්පන්නයෝම, භූමිලබ්ධොත්පන්න යෙන්ම එකට සංග්‍රහ වෙති. වර්තමානය, භූත්වාපගතය, අවකාශ කෘතය, සමුදාචාරය යයි කියන ලද සතර වැදෑරුම් උත්පන්නයෝ මාර්‍ගවධ්‍ය නොවන හෙයින් සතර මාර්ග ඥානයෙන් පහ කළ යුතු නො වේ. භුමිලබ්ධය, ආරම්මණාධිග්ගහිතය, අවික්ඛම්භිතය, අසමූහතය යි කියන ලද චතුර්විධ උත්පන්නයාගේ උත්පන්න භාවය විනාශ කරමින් ඒ ඒ ලෞකික - ලෝකෝත්තර ඥාන උපදින හෙයින් සියල්ල ම පහ කළ යුතු වේ.
මාර්ගාවබෝධකාලයෙහි නොහොත් චතුරාර්‍ය්‍ය සත්‍යයන් අවබෝධ කරන කාලයෙහි ඒ සතර මාර්ග ඥානයන් අතුරෙන් එක් එක් මාර්ග ඥානයකින් පරිඥා, ප්‍රහාණ, සච්ඡිකිරිය, භාවනා යන සතර සතර කෘත්‍යයන් එකවර සිද්ධ කරනු ලැබේ.
පහන ඉදිරිපසු නොවී එකවර වැටිය දැවීමය, අඳුරු දුරු කිරීමය, ආලෝකය පැතිරවීමය, තෙල් ක්ෂය කිරීමය යන සතර කෘත්‍යයන් සිද්ධ කරන්නාක් මෙන් මාර්ග ඥානය ද පෙරපසු නොවී එක ක්ෂණයෙහි ම දුක පිරිසිද දැනීමය, සමුදය පහ කිරීමය, මාර්ගය වැඩීමය, නිවණ සාක්ෂාත් කිරීමය යන සතර කෘත්‍යයන් සිදු කෙරේ.
දුක් දක්නා මහණ තෙම දුක්ඛසමුදය ද, දුක්ඛ නිරෝධය ද, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ද දක්නේය. මේ ක්‍රමයෙන් සමුදය දක්නා පුද්ගලයා ද, නිරෝධය දක්නා පුද්ගලයා ද, මාර්ගය දක්නා පුද්ගලයා ද චතුරාර්‍ය්‍ය සත්‍යයන්ම දකී.
මාර්ග ඥානයාගේ චතුර්විධ කෘත්‍යයන් අතුරෙන් පරිඥාව ත්‍රිවිධ වේ. එනම්:- ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාණ පරිඥා යනු යි. අභිඤ්ඤෙය්‍ය වූ හෙවත් දතයුතු දැය දැනගැනීමේ ඤාණය ඤාත පරිඥා නම්. ඤාත පරිඥාවගේ ප්‍රත්‍යය සහිත නාම - රූපයන් දැනීම තීරණාර්ථයෙන් තීරණ පරිඥා නම්. අනිච්චානුපස්සනාවෙන් නිත්‍ය සංඥාව ප්‍රහාණ කෙරේ යනාදී වශයෙන් බැහැර කරන ලද ක්ලේශ ධර්මයන් පිළිබඳ දැනීම ප්‍රහාණ පරිඥා නම් වේ.
එසේම ප්රහාණය ද ත්‍රිවිධ වේ. එනම්: විෂ්කම්භණ ප්රහාණය, තදඞ්ග ප්රහාණය, සමුච්ඡේද ප්රහාණය යනු යි. ලෞකික සමාධියෙන් නීවරණාදී විරුද්ධ ධර්මයන් විෂ්කම්භණය වීම විෂ්කම්භණ ප්‍රහාණ නම්. විෂ්කම්භණය නම් ඔබාලීමයි. නීවරණයෝ ධ්‍යානයට පූර්වභාගයෙහි ද, පසුභාගයෙහි ද වහා සිත නො මඩනාහු වෙති.
විදර්ශනාවට අවයව වූ ඒ ඒ ඤාණයෙන් ක්ලේශයන්ගේ ප්‍රහීණ කිරීම තදඞ්ග ප්රහාණය යි. මේ තදඞ්ග ප්රහාණය සීල විසුද්ධි ආදීන්ගේ වශයෙන් සිදුවේ.
නාම - රූප පරිච්ඡේදයෙන් පළමුකොට සක්කාය දිට්ඨිය ප්‍රහීණ වේ.
ප්‍රත්‍යය පරිග්‍රහයෙන් අහේතුක දෘෂ්ටි, විෂම හේතු දෘෂ්ටීන්ගේ ද, සොළොස් වැදෑරුම් කඞ්ඛා මලයන්ගේ ද ප්රහාණය වේ.
කලාප සම්මර්ශනයෙන් මම ය, මාගේ යයි සමූහ වශයෙන් ගැනීම ද ප්‍රහීණ වේ.
මාර්ග අමාර්ග ව්‍යවස්ථානයෙන් අමාර්ගයෙහි මාර්ගය යන සංඥාව ද ප්‍රහීණ වේ.
උදය දර්ශනයෙන් උච්ඡේද දෘෂ්ටිය ප්‍රහීණ වේ.
ව්‍යය දර්ශනයෙන් ශාශ්වත දෘෂ්ටිය ප්‍රහීණ වේ.
භයතුපට්ඨාන ඥානයෙන් භය සහිත පඤ්චස්කන්ධයෙහි අභය සංඥාව දුරු වේ.
ආදීනවානු දර්ශනයෙන් පඤ්චස්කන්ධයෙහි ආස්වාද වශයෙන් පැවති සංඥාව ප්‍රහීණ වේ.
නිබ්බිදානුපස්සනාවෙන්, වෘත්තයෙහි ඇලීම් සංඥාව ප්‍රහීණ වේ.
මුඤ්චිතුකම්යතා ඥානයෙන් නොමිදෙනු කැමැති බව ප්‍රහීණ වේ.
පටිසඞ්ඛාන ඥානයෙන් එයට ප්රතිපක්ෂ වූ මොහයාගේ ප්රහාණය වේ.
සඞ්ඛාරුපෙක්ඛා ඥානයෙන් අනුපේක්ෂණයෙක් වන නිත්යග්රාහයාගේ ප්රහාණය වේ.
අනුලොම ඥානයෙන් මාර්ගසත්යාධිගමයට විලොම් වූ නිත්‍යාදී ග්‍රාහයාගේ ප්රහාණය වේ.
තවද, අනිච්චානුපස්සනාදී අටළොස් විදර්ශනාවන්ගෙන් නිත්‍ය සංඥාදීන්ගේ ප්රහාණය වේ.
මේ සියල්ලම තදඞ්ග ප්‍රහාණ වශයෙන් සිද්ධ වේ.
ආර්‍ය්‍ය මාර්ග ඥානයෙන් සංයෝජනාදී ධර්මයන් නැවත නො පවත්නාසේ ප්‍රහීණවීම සමුච්ඡේද ප්රහාණය නම් වේ. අභිසමය කාලයෙහි නොහොත් ඥාන දර්ශන විසුද්ධියෙන් සමුච්ඡේද ප්රහාණය වේ.
එ හෙයින් ඒ යෝගීහට පූර්වභාගයෙහි තදඞ්ග විෂ්කම්භණ ප්‍රහාණයෝ ද, මාර්ගාවධියෙහි වන සමුච්ඡේද ප්‍රහාණයට උපකාර වේ. එ හෙයින් මේ ප්රහාණත්රයම මාර්ග ඥානයාගේම කෘත්‍යය යයි දත යුතු.
සාක්ෂාත් කිරීම ද, ලෞකික සාක්ෂාත් කිරීමය, ලොකොත්තර සාක්ෂාත් කිරීම යයි ද්විවිධ වේ. ලොකොත්තර සාක්ෂාත් කරණය ත්‍රිවිධ වේ.
ප්‍රථම ධ්‍යානය ලැබුවෙමි, වසඟ කෙළෙමි, එය මා විසින් සාක්ෂාත් කරන ලදැයි යනාදී වශයෙන් ප්‍රථම ධ්‍යානාදිය ස්පර්ශ කිරීම ලෞකික සාක්ෂාත් කිරීම නම් වේ. මෙහි ස්පර්ශ කිරීම නම් අධිගම කොට, මෙය මා විසින් අධිගත යයි ප්රත්යක්ෂයෙන් අරමුණු කිරීම් සඞ්ඛ්‍යාත ඥානයෙන් ස්පර්ශ කිරීමයි. චක්ඛූ, රූපාදී වූ සියලුම සාක්ෂාත් කළ යුතු ධර්ම ස්පර්ශ කිරීම් වශයෙන් සාක්ෂාත් කිරීම ලෞකික සාක්ෂාත් කිරීම නම් වේ.
ප්‍රථම වූ සෝවාන් මාර්ගක්ෂණයෙහි නිවන් අවබෝධ කිරීම දර්ශන සාක්ෂාත් කෘත්‍යය වේ. සෙසු සකෘදාගාමි ආදි මාර්ගක්‍ෂණයන්හි නිවන් අවබෝධ කිරීම භාවනා සාක්ෂාත් කෘත්‍යය වේ. භාවනා ද, ලෞකික භාවනාය, ලොකොත්තර භාවනා යයි විධ වේ.
ලෞකික සීල, සමාධි, ප්‍රඥාවන්ගේ ඉපදවිම ද, ඒ සීල, සමාධි, ප්‍රඥාවන්ගෙන් තමා සතන්හි පුරුදුවීම් වශයෙන් පැවති සන්තාන වාසනාව ද, ලෞකික භාවනා ය. යම් පමණෙකින් ලෞකික වූ සීල භාවනා, චිත්ත භාවනා, ප්‍රඥා භාවනාවෝ උපදන ලද්දාහු ද, එයින් ම සන්තානය ද පරිභාවිතය.
ලෝකොත්තර වූ සීල, සමාධි, ප්‍රඥාවන්ගේ ඉපදවීම ද, ඒ සීලාදීන්ගෙන් පැවති සන්තාන වාසනාව ද ලෝකොත්තර භාවනාය. මෙහි ඤාණදස්සන විසුද්ධියෙහි වූ ලෝකොත්තර භාවනාව කියන ලදී. ලොකොත්තර වූ සීලය නම් සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යයි. ලොකොත්තර සමාධිය නම් සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යයි.