අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රඥා භාවනායෙහි අනුසස්

ප්‍රඥා භාවනාවගේ නොයෙක් සියදහස් ආනිසංසයන් අතුරෙන් ප්‍රධාන වශයෙන් අනුසස් සතරෙක් වේ. එනම්:-

  1. සක්කායදිට්ඨි ආදී නොයෙක් කෙලෙස් නැසීම ය,
  2. ආර්‍ය්‍ය ඵල රස අනුභව කිරීම ය,
  3. නිරොධ සමාපත්තියට සමවැදීමට සමත් බවය,
  4. ආහුනෙය්‍ය භාවාදී සිද්ධිය ය.

1. පූර්‍වභාගයෙහිදී නාම - රූප පරිච්ඡේදයෙහි පටන් සක්කායදිට්ඨි ආදීන්ගේ වශයෙන් නා නා විධ ක්ලේශයන්ගේ දුරු කිරීම ලෞකික ප්‍රඥා භාවනායෙහි ආනිසංසය වේ.

ආර්‍ය්‍ය මාර්‍ගක්‍ෂණයෙහි සංයෝජනාදී නානාවිධ ක්ලේශයන්ගේ නැසීම ලොකොත්තර ප්‍රඥා භාවනායෙහි ආනිසංසය වේ.

2. ශ්‍රාමණ්‍ය ඵලය නම් වූ ආර්‍ය්‍ය මාර්‍ග ඵලයෙහි රසානුභවය තවත් ආනිසංසයකි. එය දෙවැදෑරුම් වේ.

  1. මාර්‍ග චිත්ත වීථියෙහි වූ ඵලය
  2. ඵල සමාපත්තියෙන් ප්‍රවෘත්ති කාලයෙහි ඵලරසානුභවය.

මාර්‍ගය උපදනා චිත්තවීථියෙහි මාර්‍ග චිත්තයට අනතුරුව ඵල සිත් දෙකක් හෝ තුනක් අකාලික විපාක වශයෙන් ද, ආනන්තරික සමාධිය වශයෙන් ද උපදනා සැටියට දක්වන ලදි.

ඵල සමාපත්තිය - ආර්‍ය්‍ය ඵලයාගේ නිරෝධයෙහි අර්‍පණාව පිහිටීම ඵල සමාපත්ති නම්. සියලුම ආර්‍ය්‍යයෝ තම තමන්ගේ ඵල සමවතට සමවදිති. මතු සකෘදාගාමි ආදී ආර්‍ය්‍යයෝ යට සෝවාන් ඵලාදියට සමනොවදිත්. යට සොවාන් ඵලාදියෙහි පිහිටියාහු මතු සකෘදාගාමි ඵලාදියට සම නො වදිත්.

රජකු රාජ්‍යසුඛය අනුභව කරන්නාසේ, දෙවියන් දිව්‍යසුඛය අනුභව කරන්නාසේ, ආර්‍ය්‍යයෝ ද ඉහාත්මයෙහි කෙලෙස් විඩා සංසිඳුවා සුවසේ වසනු පිණිස කාලය පිරිසිඳ කැමති කැමති කෙණෙහි ඵල සමවතට සමවදිත්.

ඵල සමාපත්තියට සමවැදීම දෙයාකාරයකින් සිදුවේ. එනම්:-

  1. නිවණින් අන්‍ය වූ අරමුණක් මෙනෙහි නො කිරීම ය.
  2. නිවණ මෙනෙහි කිරීම ය.

ඵල සමවතට සමවදනා කැමැති ආර්‍ය්‍ය ශ්‍රාවකයා විසින් රහසිගතව, නන් අරමුණෙන් වැළකී, උදයව්‍යයාදී වශයෙන් සංස්කාරයන් විදර්‍ශනාවට නැගිය යුතු. පැවති අනුපූර්‍ව විදර්‍ශනා ඇති ඒ යෝගිහුගේ, සංස්කාරයන් අරමුණු කොට ඇති වෝදාන සිතට අනතුරුව ඵල සමාපත්ති වශයෙන් නිවන් අරමුණු කොට සිත පිහිටයි. ඒ පුද්ගලයාහට ප්‍රථම ධ්‍යානික මාර්‍ගය අධිගතවී නම් ප්‍රථමධ්‍යානික ඵලයම උපදී. චිතියාදී ධ්‍යානයන් අතුරෙන් යම් කිසි ධ්‍යානයක් අධිගතවී නම් ඒ චිතිය ධ්‍යානිකාදී වූ ඵලයම උපදී. මෙසේ ඵල සමාපත්තිය සිදු වේ.

මේ ඵල සමාපත්තිය හෙවත් අනිමිත්ත චෙතො- විමුත්තිය නො සිඳ පැවැත්මට ප්‍රත්‍යයෝ තිදෙනෙක් වෙති. එනම්:-

  1. සංස්කාර නිමිති මෙනෙහි නො කිරීම ය,
  2. අනිමිත්ත ධාතුව (නිවණ) මෙනෙහි කිරීම ය,
  3. කාලය පිරිසිඳීම ය.

සමවතට සමවැදීමට ප්‍රථම අසුවල් කාලයෙහි සමවතින් නැගී සිටිමි යි පිරිසිඳියි. ඒ පිරිසිඳි කාලයෙහි සමවතෙහි සිටීම වේ.

ඵල සමවතින් නැගිටීමට ද කරුණු දෙකක් වෙති. එනම්:-

  1. සංස්කාර නිමිති මෙනෙහි කිරීම ය,
  2. අනිමිත්ත ධාතුව මෙනෙහි නො කිරීම ය.

මාර්‍ග වීථියෙහි ඵල චිත්තයට මාර්‍ග සිත අනන්තර ප්‍රත්‍යය වේ.

පූර්‍ව පූර්‍ව ඵල චිත්තය පසුව පසුව වූ ඵල චිත්තයට අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ඵල සමාපත්තියෙහි පළමු ඵල චිත්තයට අනුලොම ඥානය සඞ්ඛ්‍යාත වොදානය අනන්තර ප්‍රත්‍යය වේ.

රහතන් වහන්සේගේ අනුලොම ඥානය ඵල සමවතට අනන්තර ප්‍රත්‍යය වේ.

3. නිරොධ සමාපත්තියට සමවැදීම ද ප්‍රඥා භාවනාවගේ තවත් ආනිසංසයෙක් වේ. මේ පිළිබඳ විස්තරය යට දක්වන ලදී.

4. ආහුණෙය්‍ය භාවාදී සිද්ධිය ද ලොකොත්තර ප්‍රඥාවේ එක් ආනිසංසයකි.

ලොකොත්තර ප්‍රඥාව වැඩූ හෙයින් භාවිතප්‍රාඥා වූ පුද්ගලතෙමේ දෙවියන් සහිත ලෝකයාට ආහුණෙය්‍ය වේ හෙවත් දුරින් ගෙනැවිත් දෙන දානයට සුදුසු වේ. එසේ ම ආගන්තුක දානයට සුදුසු වන හෙයින් පාහුණෙය්‍ය ද වේ. පරලොව සඳහා දෙන දානයට සුදුසු හෙයින් දක්ඛිණෙය්‍ය නමුදු වේ. සියලු ලෝකයා විසින් දොහොත් මුදුනෙහි තබා කරණ අඤ්ජලිකර්‍මයට ද සුදුසු වේ. සියලු ලෝකයාගේ අනුත්තර පින් කෙතක් ද වේ.

මෙසේ සතර මග නුවණින් ආර්‍ය්‍යභාවයට පැමිණි පුද්ගලයන් අතුරෙන් සෝවාන් පුද්ගලයෝ තිදෙනෙක් වෙති. එනම්: එකබීජි, කොලංකොල, සත්තක්ඛත්තුපරම යන තිදෙනා ය.

තියුණු වූ විදසුන් වඩා තියුණු වූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇතිව සෝවාන් මාර්‍ග ඥානය උපදවා එකම ප්‍රතිසන්‍ධියක් ලැබ සසර දුක් කෙළවර කරන්නේ එකබීජි නම් වේ.

මධ්‍යම වූ විදර්‍ශනාවෙන් හා මධ්‍යම වූ ශ්‍රද්ධාදී ඉඳුරන් ඇතිව කුල දෙක තුනක හෝ සය දක්වා පිළිසිඳීම් වශයෙන් සසර සැරිසරා දුක් කෙළවර කරන්නේ කොලංකොල නම් වේ.

මද වූ විදර්‍ශනාවෙන් සෝවාන් බවට පැමිණ ශ්‍රද්ධාදී මෘදු වූ ඉඳුරන් ඇත්තේ ම දෙව්මිනිස් ලෝ වශයෙන් සත් සුගති භවයෙක ප්‍රතිසන්‍ධි වශයෙන් සසර ඇවිද දුක් කෙළවර කරන්නේ සත්තක්ඛත්තුපරම නම් වේ.

සකෘදාගාමි පුද්ගලයෝ පස්දෙනෙකි.

  1. සකෘදාගාමි ඵලය ලබා මෙහි ම පිරිනිවන්පාන පුද්ගලයා ය.
  2. මෙහි සකෘදාගාමිව දෙව්ලොව ඉපිද එහි පිරිනිවන්පාන පුද්ගලයා ය.
  3. දෙව්ලොවදී සකෘදාගාමීව එහිදීම පිරිනිවන්පාන පුද්ගලයා ය.
  4. දෙව්ලොවදී සකෘදාගාමීව මෙහි ඉපිද පිරිනිවන්පාන පුද්ගලයා ය.
  5. මෙහිදී සකෘදාගාමීව, දෙව්ලොව ඉපිද එහි ආයු ඇතිතාක් සිට නැවත මෙහි ඉපිද පිරිනිවන්පාන පුද්ගලයා ය.

අනාගාමි පුද්ගලයෝ ද පස්දෙනෙකි.

  1. අන්තරා පරිනිබ්බායි අනාගාමි - අවිභාදීන් අතුරෙන් යම් කිසි සුද්ධාවාසයක ඉපිද එහි ආයු ප්‍රමාණයෙන් මධ්‍යයට නො පැමිණ පිරිනිවන්පාන අනාගාමි පුද්ගලයා ය.
  2. උපහච්ච පරිනිබ්බායි අනාගාමි - එහි ආයු මධ්‍යය පසු කොට පිරිනිවන්පාන අනාගාමි පුද්ගලයා ය.
  3. අසඞ්ඛාර පරිනිබ්බායි අනාගාමි - නිරුත්සාහයෙන් අර්හත් මාර්ගය උපදවා පිරිනිවන්පාන අනාගාමි පුද්ගලයා ය.
  4. සසඞ්ඛාර පරිනිබ්බායි අනාගාමි - උත්සාහයෙන් අර්හත් මාර්ගය උපදවන අනාගාමි පුද්ගලයා ය.
  5. උඩංසොත අකණිට්ඨගාමි අනාගාමි - උපන් සුද්ධාවාස භූමියෙන් ක්‍රමයෙන් මතු මතු ලොකයට යමින් අකණිට්ඨාව තෙක් ගොස් පිරිනිවන්පාන පුද්ගලයා ය.

මේ අනාගාමි පුද්ගලයන් පස්දෙනා අතුරෙන් අන්තරා පරිනිබ්බායි පුද්ගලයෝ තිදෙනෙක් වෙති. එනම්: (1) අවිභයෙහි උපන් කෙණෙහිම රහත්ව පිරිනිවන් පාන එක් පුද්ගලයෙක්, (2) ආයු මධ්‍යයට නො පැමිණ පිරිනිවන්පාන එක් පුද්ගලයෙක, (3) ආයු මධ්‍යයෙහි පිරිනිවන්පාන එක් පුද්ගලයෙක.

උපහච්ච පරිනිබ්බායි එක් පුද්ගලයෙකි.

උඩංසොත අකණිට්ඨගාමි එක් පුද්ගලයෙකැයි පුද්ගලයෝ පස්දෙනෙක. මේ පස්දෙන ද අසංඛාර පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි වශයෙන් දසදෙනෙක මෙසේ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී යන සතර සුද්ධාවාසයන්ගේ වශයෙන් සතළිස් (40) දෙනෙක.

අකණිට්ඨයෙහි, උද්ධංසෝත අකණිට්ඨගාමි පුද්ගලයා හැර සතර දෙනෙක. ඒ සතර දෙනා ද අසංඛාර, සසංඛාර භේදයෙන් අටදෙනෙක. මෙසේ අනාගාමීහු සතළිස් අටදෙනෙක් වෙත්.

සතර වන අර්හත් මාර්ග ප්‍රඥාවෙහිදී කිසිවෙක් සද්ධාවිමුක්ත වෙයි, කිසිවෙක් ප්‍රඥාවිමුක්ත වෙයි, කිසිවෙක් උභතොභාග විමුක්ත වෙයි, කිසිවෙක් ත්‍රිවිද්‍යාප්‍රාප්ත වෙයි, කිසිවෙක් ෂඩභිඥාප්‍රාප්ත වෙයි, කිසිවෙක් සිව්පිළිසිඹියාපත් මහා ක්‍ෂිණාශ්‍රව වෙයි.

මෙසේ නුවණ ඇති පුද්ගල තෙමේ සසර දුකින් මිදෙනු පිණිස සමථ විපස්සනා වශයෙන් භාවනා කොට සප්ත විසුද්ධින්ගේ වශයෙන් සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මග සතර ඵලයන්ට පැමිණ දුක් කෙළවර කොට දෙවියන් සහිත ලෝකයා අතර අග්‍රදක්‍ෂිණෙය්‍ය භාවයට පැමිණ සසර දුකින් මිදී නිවණට පැමිණ වදාරණ සේක.

ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමින්‍ද්‍රයන්වහන්සේ විසින් සම්පාදිත අභිධර්‍මාර්ථ සංග්‍රහ නම් වූ අභිධර්‍ම ග්‍රන්‍ථයට අනුව යමින් එහි ඇතුළත් ධර්‍මයන් පිළිබඳ විස්තර විවරණයක් වශයෙන් කාණ්ඩ සතරකින් යුක්තකොට ධර්‍මාවබෝධය පිණිස සැදැහැයෙන් කළ අභිධර්‍මාර්ථ ප්‍රදීපිකා නම් වූ ග්‍රන්‍ථය මෙතෙකින් සමාප්තයි.