අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ප්‍රඥාවෙහි ප්‍රභේද

  1. නාම - රූප ධර්‍මයන්ගේ විශේෂ ස්වභාවය හා සාමාන්‍ය ස්වභාවය ද ප්‍රතිවෙධ කිරීම් වශයෙන් ප්‍රඥාව, එකවිධ වේ.
  2. ලෞකික ප්‍රඥා, ලෝකෝත්තර ප්‍රඥා යයි ප්‍රඥාව ද්විධ වේ. එයින් කාමාවචර, අරූපාවචර කුසල චිත්තයෙහි, විශේෂයෙන් දිට්ඨි විශුද්ධි, කඞ්ඛාවිතරණ විශුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විශුද්ධි, පටිපදා ඤාණ දස්සන විශුද්ධි යන සතර විශුද්ධින්හි යෙදෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥා නම්. සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් යන සතර මාර්‍ග සිත්හි යෙදෙන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥා නම් වේ.

3. සාශ්‍රව ප්‍රඥා, අනාශ්‍රව ප්‍රඥා යයි ද ප්‍රඥා ද්විධ වේ. කාමාදි ආශ්‍රවයනට හෝ ඒ හා සම්ප්‍රයුක්ත ධර්‍මයන්ට අරමුණු වූ ප්‍රඥාව සාශ්‍රව ප්‍රඥා නම්. කාමාදී ආශ්‍රවයන්ට අරමුණු නොවූ හෝ ආශ්‍රව සම්ප්‍රයුක්ත නොවූ ප්‍රඥාව අනාශ්‍රව ප්‍රඥා නම් වේ.

4. නාමව්‍යවස්ථාපන ප්‍රඥා, රූපව්‍යවස්ථාපන ප්‍රඥා යයි ද ප්‍රඥාව ද්විධ වේ. විදර්‍ශනා වඩන්නාහුගේ සතර නාම ධර්‍ම විභාග කිරීම් වශයෙන් පැවැති ප්‍රඥාව නාම ව්‍යවස්ථාපන ප්‍රඥා නම්. රූපධර්‍මයන් විභාග කිරීම් වශයෙන් පැවැති ප්‍රඥාව රූප ව්‍යවස්ථාපන ප්‍රඥා නම්.

5. සෝමනස්ස සහගත ප්‍රඥා, උපේක්ඛා සහගත ප්‍රඥා යයි ද ප්‍රඥාව ද්විධ වේ. සෝමනස්ස සහගත ඤාණ සම්ප්‍රයුක්ත සිත් දෙකෙහි යෙදෙන ප්‍රඥාව ද, රූපාවචර ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්‍ත්‍ථ ධ්‍යානයන් පිළිබඳ වූ ද සොළොස් මාර්‍ග සිත්හි ද යෙදුණු ප්‍රඥාව ද සෝමනස්ස සහගත ප්‍රඥා නම්. උපේක්ඛා සහගත ඤාණ සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් දෙසිතෙහි ද පඤ්චමධ්‍යානික සතර මාර්‍ග චිත්තයෙහි ද යෙදුණු ප්‍රඥාව උපේක්ඛා සහගත ප්‍රඥාය.

6. දස්සන භූමික ප්‍රඥා, භාවනා භූමික ප්‍රඥා යයි ද ප්‍රඥාව ද්විධ වේ. ප්‍රථම වරට නිර්‍වාණය දක්නා හෙයින් දස්සන නම් වූ සොවාන් මාර්‍ග චිත්තය හා යෙදුණු ප්‍රඥාව දස්සන භූමික ප්‍රඥා නම්. සකෘදාගාමි, අනාගාමි, අර්‍හත් යන අවශේෂ ත්‍රිවිධ මාර්‍ගය, ප්‍රථම මාර්‍ගයෙන් දුටු ධර්‍මයම භාවනා වශයෙන් වැඩීමෙන් ලැබෙන හෙයින් විදර්‍ශනා භාවනා භූමික ප්‍රඥා නම් වේ.

7. තවද, චින්තාමය ප්‍රඥා, ශ්‍රැතමය ප්‍රඥා, භාවනාමය ප්‍රඥා යයි ප්‍රඥාව ත්‍රිවිධ වේ. ප්‍රඥායෙන් යොදන ලද ජීවනෝපාය වූ කර්‍මාන්තයෙහි ද ප්‍රඥායෙන් යොදන ලද ශිල්පයන්හි ද, ප්‍රඥායෙන් නිපද වන ලද විද්‍යාවන්හි ද, කම්මස්සකත හෙවත් කර්‍මය ස්වකීය කොට ඇති බව දැනීමෙන් ද, සච්චානුලොමික හෙවත් චතුස්සත්‍යය ප්‍රතිවේධයට යොමුවූ විදර්‍ශනා ඥානයෙහි හෝ රූපය අනිත්‍යය, දුක්ඛය, අනාත්මය කියා ද; වෙදනා, සංඥා, සඞ්ඛාර, විඥාන, අනිත්‍ය, දුක්ඛය, අනාත්මය කියා හෝ මෙසේ හිත පිණිස නැමුණු මේ සියල්ල දැකිය හැකි හෙයින් ද, දක්නා හෙයින් ද, රුචි කරන හෙයින් ද, නුවණින් සලකන හෙයින් ද, තෙමේ ම ස්වභාවයෙන් ම වැටහේ ද, අනුන්ගෙන් නො අසා ප්‍රතිවේධය වේ නුයි චින්තාමය ප්‍රඥා නමි. මේ චින්තාමය ප්‍රඥාව බෝධිසත්ත්‍වයන්ට උපදනා ප්‍රඥා විශේෂයෙකි. අනුන්ගෙන් අසා හෝ උපදෙසකින් හෝ ලබන ප්‍රඥාව ශ්‍රැතමය ප්‍රඥා නමි. අසා හෝ නො අසා හෝ භාවනාවෙන් උපදවන ලද විදර්‍ශනා මාර්‍ග සම්ප්‍රයුක්තප්‍රඥාව භාවනාමය ප්‍රඥා නමි.

  1. පරිත්තාරම්මණ ප්‍රඥා, මහග්ගතාරම්මණ ප්‍රඥා, අප්පමාණාලම්බන ප්‍රඥා යයි ද ප්‍රඥාව ත්‍රිවිධ වේ. කාමාවචර ධර්‍මයන් අරමුණු කොට පැවති ප්‍රඥාව පරිත්තාරම්මණ ප්‍රඥා නමි. රූපාවචර අරූපාවචර ධර්‍මයන් අරමුණු කොට පැවැති ප්‍රඥාව මහග්ගතාරම්මණ ප්‍රඥා නමි. නිර්‍වාණය අරමුණු කොට පැවති ප්‍රඥාව අප්පමාණාලම්බණ ප්‍රඥා නමි.
  2. ආය කොසල්ල, අපාය කොසල්ල, උපාය කොසල්ල වශයෙන් ද ත්‍රිවිධ වේ, ආය නම් වැඩීම ය. එය දෙවැදෑරුම් වේ. අනර්‍ත්‍ථ නැසීම ය සහ අර්‍ත්‍ථය ඉපදවීම ය. එහි දක්‍ෂ බව ආය කොසල්ල නමි. මේ ධර්‍මයන් මෙනෙහි කරන්නා හට නූපන් අකුසල් නූපදී නම්, උපන් අකුසල් ප්‍රහීන වේ නම්, නූපන් කුසල් උපදී නම්, උපන් කුසල් වැඩීමට, මහත් බවට, භාවනායෙන් සම්පූර්‍ණ බවට යේ නම්, ඒ පිළිබඳ යම් දැනීමක්, ප්‍රකට කොට දැනීමක්, නුමුළා බවෙක්, ඒ ධර්‍ම විනිශ්චය කිරීමක් දක්‍ෂ බවෙක්, සම්‍යක්දෘෂ්ටියෙක් වේ නම් එය ආය කොසල්ල නම් වේ.

අපාය නම් පිරිහීමය-එය ද අර්‍ත්‍ථය පිරිහීමය, අනර්‍ත්‍ථය ඉපදීම ය යයි ද්විධ වේ. මේ ධර්‍මයන් මෙනෙහි කරන්නා හට නූපන් කුසල් නූපදී යනාදිය සිදුවේ. එය අපාය කොසල්ල යයි කියනු ලැබේ.

හිත-සුව ඉපදවීමට හේතු වූ ඒ ඒ ධර්‍මයන්ගේ ඉපදීමට හේතු කාරණයෙහි එකෙණෙහි පැවැති ස්ථානොචිත නුවණ හෙවත් දක්‍ෂ නිපුණ බව උපාය කොසල්ල නම්. එහි ප්‍රඥාව උපාය කොසල්ල ප්‍රඥා නම්.

10. අජ්ඣත්තාභිනිවෙසය, බහිද්ධාභිනිවෙසය, අජ්ඣත්තබහිද්ධාභිනිවෙසය යයි ද ප්‍රඥාව ත්‍රිවිධ වේ. තමා ගේ රූපාදී ස්කන්‍ධයන් නුවණින් අරමුණු කොට පටන් ගන්නා ලද විදර්‍ශනා ප්‍රඥාව අජ්ඣත්තාභිනිවෙසය නම් වේ. අන්‍යයෙකුගේ රූපාදී පඤ්චස්කන්‍ධයෙහි හෝ බාහිර අනින්‍ද්‍රියබද්ධ රූප හෝ නුවණින් මෙනෙහි කොට පටන්ගත් විදර්‍ශනා ප්‍රඥාව බහිද්ධාභිනිවෙසය නම් වේ. අධ්‍යාත්ම බාහිර දෙපක්‍ෂයෙහි ම නුවණින් ගෙන පිහිටු වන ලද්දේ අජ්ඣත්තබහිද්ධාභිනිවෙසය යි.

11. තවද, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං යයි ප්‍රඥාව චතුර්විධ වේ. දුක්ඛ සත්‍යය අරභයා පැවැති ප්‍රඥාව දුක්ඛෙ ඤාණං හෙවත් දුක්ඛ සත්‍යය දැනගන්නා ප්‍රඥාව ය, දුක්ඛ සමුදය අරභයා පවත්නා ප්‍රඥාව දුක්ඛ සමුදය සත්‍යය දැනගන්නා ප්‍රඥාව යි. දුක්ඛ නිරොධය අරභයා පැවැති ප්‍රඥාව දුක්ඛනිරොධ සත්‍යය දැනගන්නා ප්‍රඥාවයි. දුක්ඛනිරොධගාමිණි ප්‍රතිපදාව අරමුණු කොට පැවැති ප්‍රඥාව දුක්ඛනිරොධගාමිණි ප්‍රතිපදා සත්‍යය දැනගන්නා ප්‍රඥාවයි.

12. අත්‍ථපටිසම්භිදා ඤාණං, ධම්මපටිසම්භිදා ඤාණං, නිරුත්තිපටිසම්භිදා ඤාණං, පටිභාණ පටිසම්භිදා ඤාණං, යයි ද ප්‍රඥාව චතුර්විධ වේ. සංක්‍ෂෙපයෙන් වනාහි අර්‍ත්‍ථ යෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාය. ධර්මයෙහි ඤාණය, ධර්ම ප්‍රතිසම්භිදාය. අර්ථ, ධර්ම දෙක්හි වූ නිරුක්තියෙහි ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදාය. ඒ ත්‍රිවිධ ඤාණයෙහි ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදාය.

අර්ථය නම් ප්‍රත්‍යයෙන් නිපන් ඵල ධර්මය යි. හේතු අනුසාරයෙන් පමුණු වනු ලැබේනුයි හෝ අධිගමනය කරනු ලැබේනුයි හෝ අර්ථ නමි. ඵලය, නිර්වාණය, භාෂිත සඞ්ඛ්‍යාත වචනයා ගේ අර්ථය, විපාකය, ක්‍රියාය යන මේ ධර්ම පස අර්ථයෝ ය. ඒ අර්ථ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුගේ එහි ප්‍රභේදගත ඤාණය අර්ථපටිසම්භිදා නමි.

ධර්මය යනු ප්‍රත්‍යයට නමෙකි. ප්‍රත්‍යයෙන් ඒ ඒ දැය විධානය කෙරේ ද, පවත්වා ද, පමුණුවා ද, එහෙයින් එයට ධර්මය යයි කියනු ලැබේ. ඵලය නිපදවන්නාවූ හේතුය, ආර්ය මාර්ගය, භාෂිතය, කුසලය, අකුසලය යන මේ ධර්ම පස හේතුහු නම් වෙත්. ඒ හේතු සඞ්ඛ්‍යාත ධර්මය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නහුගේ එහි ප්‍රභේදගත ඤාණය ධර්ම ප්‍රතිසම්භිදා නමි.

තවද දුක්ඛ සඞ්ඛ්‍යාත ඵලයෙහි ඤාණය අර්ථ පටිසම්භිදාය.

දුක්ඛ සමුදය සඞ්ඛ්‍යාත දුක්ඛ හේතුවෙහි ඤාණය ධර්ම පටිසම්භිදාය.

දුක්ඛ නිරෝධයට කාරණා වූ නිර්වාණ සඞ්ඛ්‍යාත ඵලයෙහි ඤාණය අර්ථපටිසම්භිදාය.

දුක්ඛනිරෝධ සඞ්ඛ්‍යාත නිර්වාණයට හේතු වූ මාර්ගයෙහි ඤාණය ධර්මපටිසම්භිදාය.

මෙසේ හේතුවෙහි ඤාණය ධර්මපටිසම්භිදා යයි ද, ඵලයෙහි ඤාණය අර්ථපටිසම්භිදා යයි ද දත යුතු.

යම් ධර්ම කෙනෙක් හටගත්තාහු ද, වූවාහු ද, හේතු සමවායයෙන් හටගත්තාහු ද, උපන්නාහු ද, විශේෂයෙන් උපන්නාහු ද, පහළ වූවාහු ද, මේ ඵල ධර්මයෙහි ඤාණය අර්ථපටිසම්භිදා නමි.

යම් හේතු ධර්‍මයකින් ඒ ඵල ධර්‍මයෝ හටගත්තාහු ද, නිපන්නාහු ද, විශේෂයෙන් නිපන්නාහු ද, පහළවූවාහු ද, ඒ හේතු ධර්‍මයෙහි ඤාණය ධර්‍ම පටිසම්භිදා නමි.

ජරා මරණ දෙක්හි ඤාණය අර්ථ පටිසම්භිදා නම් වේ. එයට ප්‍රත්‍ය වූ ජාතියෙහි ඤාණය ධර්‍ම පටිසම්භිදා නමි.

කර්‍ම භවයෙන් නිපන් ජාතියෙහි ඤාණය අර්ථ පටිසම්භිදාය. ඒ ජාතියට හේතු වූ කර්‍මභවයෙහි ඤාණය ධර්‍ම පටිසම්භිදාය.

උපාදාන, තණ්හා, වෙදනා, ඵස්ස, ෂඩායතන, නාමරූප, විඥාන; සඞ්ඛාර යන මේ ඵලයෙහි ඤාණය අර්ථ පටිසම්භිදාය. එයට ප්‍රත්‍ය වූ ධර්‍මයෙහි ඤාණය ධර්‍ම පටිසම්භිදාය.

එසේම ජරා මරණ නිරොධයෙහි ඤාණය අර්ථ පටිසම්භිදාය. ජරා මරණ නිරොධගාමිණි ප්‍රතිපදායෙහි ඤාණය ධර්‍ම පටිසම්භිදාය.

මෙසේ සංස්කාර නිරොධයෙහි ඤාණය අර්ථපටිසම්භිදාය. සංස්කාර නිරොධගාමිණි ප්‍රතිපදායෙහි ඤාණය ධර්‍ම ප්‍රතිසම්භිදාය.

එසේම සුත්ත, ගෙය්‍ය, වෙදල්ලාදී වූ ධර්‍මය දනී ද ඒ දැනීම ධර්‍මප්‍රතිසම්භිදාය. ඒ ඒ භාසිතයාගේ අර්ථය දැනීම අර්ථපටිසම්භිදාය.

ඒ ඒ කුසලාදී ධර්‍මයන්ගේ ප්‍රභේද ගත ඤාණය ධර්‍ම ප්‍රතිසම්භිදාය. ඒ කුසලාකුසලයන්ගේ විපාක පිළිබඳ ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාය.

ඒ අර්ථ, ධර්‍ම දෙක්හි අවිපරිත ස්වභාවය වූ මාගධි භාෂා සඞ්ඛ්‍යාත ස්වභාවය, නිරුක්ති නමි. ඒ අනුව මේ ස්වභාව නිරුක්තිය, මේ ස්වභාව නිරුක්තිය නොවේ යයි, ඒ ස්වභාව නිරුක්තිය වූ මාගධි භාෂායෙහි ප්‍රභේද ගත ඤාණය නිරුක්ති ප්‍රතිසම්භිදා නමි.

අර්ත්‍ථ, ධර්ම, නිරුක්ති යන මේ ඤාණයන්හි ඤාණය ප්‍රතිභාන ප්‍රතිසම්භිදා නමි. එනම්, ඒ තුන් ආකාර ඥානයන්හි, මේ ඤාණයට මෙ නම් ගෝචර කෘත්‍යාදියක් ඇතැයි විස්තර වශයෙන් දැනීම ය. මේ සතරවිධ ඤාණයට සිව්පිළිසිඹියාවෝ යයි කියනු ලැබේ.

මේ සිව්පිළිසිඹියාවෝ දෙතැනෙක ප්‍රභේද ගතවෙති. එනම්, ශෛක්‍ෂ භූමිය, අශෛක්‍ෂ භූමි යන දෙතැන ය. ශෛක්‍ෂ භූමි නම් සෝවාන් මාර්ග, සොවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අර්හත් මාර්ග යන සප්ත ස්ථානයෝ යි. අශෛක්‍ෂ භූමි නම් අර්හත් ඵලයයි. අග්‍රශ්‍රාවක, මහා ශ්‍රාවකයන්ගේ සිව්පිළි සිඹියාවෝ අශෛක්‍ෂ භූමි නම් වූ අර්හත් ඵලයෙහිදී ම ප්‍රභේදගත වේ. ආනන්‍ද ස්ථවිර, චිත්ත ගහපති, ධම්මික උපාසක, උපාලි ගහපති, ඛුජ්ජුත්තරා උපාසිකා ආදීන් ගේ සිව්පිළිසිඹියාවෝ ශෛක්‍ෂ භූමියෙහි ප්‍රභේද ගත විය.

මෙසේ මේ ද්විභූමියෙහි සිව්පිළිසිඹියාවෝ ප්‍රභේද ගත වන්නාහු ද එය පස් ආකාරයකින් විසද වන්නාහ. ඒ පස් ආකාරයෝ නම්:-

  1. අධිගමයෙන්
  2. පර්‍ය්‍යාප්තියෙන්
  3. ශ්‍රවණයෙන්
  4. පරිපුච්ඡායෙන්
  5. පූර්වයෝගයෙන් යන ආකාර පස වේ.

1. මෙයින් අධිගමයෙන් විසද වන්නේ යයි කියනුයේ අර්හත් ඵලයට පැමිණීමේ දී සිව්පිළිසිඹියාවෝ ඉතා ප්‍රකට බවට විසද බවට පැමිණෙන හෙයිනි. ශෛක්‍ෂයන්ගේ සිව්පිළිසිඹියාවෝ මේ අර්හත් ඵලයට පැමිණිවිට සාතිසය බවට පත්වේ.

  1. පර්‍ය්‍යාප්තිය නම් ත්‍රිපිටක බුද්ධ වචන යයි. ත්‍රිපිටක බුද්ධ වචනය ප්‍රගුණ කිරීමෙන් සිව්පිළිසිඹියාවෝ විසද භාවයට පැමිණෙති.
  2. ශ්‍රවණය නම් මනාකොට, අර්ථවත් කොට සද්ධර්මය ශ්‍රවණය කිරීම ය. මෙසේ අර්ථවත් කොට ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ සිව්පිළිසිඹියාවෝ විසද බවට පැමිණෙති.
  3. පරිපුච්ඡා නම් පෙළ අටුවා ආදීන්හි ගැටපද, අර්ථපද, ආදිය පිළිබඳ විනිශ්චය කථාව විචාරීම ය. පෙළෙහි ආ ධර්මයන් පිළිබඳ නො වැටහෙන තැන් වටහා ගැනීමට උපකාර වන ගැටපද ආදිය විචාරීමෙන් ද සිව්පිළිසිඹියාවෝ විසද බවට පැමිණෙත්.
  4. පූර්‍වයෝගය නම් පෙර බුදුවරයන්ගේ ශාසනයන්හි ගතපච්චාගතාදි වශයෙන් භාවනා වඩා, අනුලොම -
  5. ගොත්‍රභූ ඤාණයන් ලැබීමට පෙර ඒ සමීපයෙහි වූ සඞ්ඛාරුපෙක්ඛා ඤාණය තෙක් විදර්ශනාවෙහි උත්සාහවත් වීම ය. මෙසේ සකස් කරණ ලද විපස්සනායෝග සඞ්ඛ්‍යාත පූර්‍වයෝගය ඇති කල්හි ද සිව්පිළිසිඹියාවෝ විසද බවට පැමිණෙත්.

ඇතැම් ආචාරීහු, කරුණු අටක් සිව්පිළිසිඹියාවන් විසද බවට පැමිණීමට උපකාරක වෙත් යයි කියති. එනම්:-

  1. පූර්‍වයෝගය
  2. බහුශ්‍රැත භාවය - (බාහුසච්චය)
  3. දේශභාෂා දැනීමය
  4. ත්‍රිපිටක ධර්මය දැනීමය - (ආගම)
  5. ත්‍රිපිටකාර්ථ විචාරීමය - (පරිපුච්ඡා)
  6. සතර ඵලය - (අධිගමය)
  7. බහුශ්‍රැත ගුරුන් සෙවීම ය - (ගුරුසන්නිශ්‍රය)
  8. මිත්‍ර සම්පත්තිය - ප්‍රතිභාන ඇති කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමය.

මේ කාරණා අට සිව්පිළිසිඹියාවන්ගේ විශද බවට උපකාරක ධර්මයෝ වෙති.

  1. පූර්‍වයෝගය - යට විස්තර කරන ලදී.
  2. බාහුසච්චය හෙවත් බහුශ්‍රැත බව නම් - ඒ ඒ නිරවද්‍ය ශාස්ත්‍රයන්හි හා ශිල්පයන්හි දක්‍ෂ භාවයයි.
  3. දේශභාෂා නම් එකල ව්‍යවහාර වන භාෂා දැනීම ය. විශේෂ වශයෙන් මාගධි භාෂාවෙහි දක්‍ෂ බව ය.
  4. ආගම නම් ත්‍රිපිටක ධර්මයයි. යටත් පිරිසෙයින් මැදුම්සඟිය මූලපණ්ණාසකයෙහි ඔපම්ම වග්ගයවත් ධර්මය පිරවීම ය. නැතහොත් ධම්මපදයෙහි යමකවග්ගයෙහි ඔපම්මකවග්ගය දක්වා පිරිය යුතු.
  5. පරිපුච්ඡා නම් එක ගාථාවෙක්හිවත් අර්ථවිනිශ්චය පිළිවිසීම ය.
  6. අධිගමය නම් සොවාන්, සකෘදාගාමි, අනාගාමි, අර්හත් ඵලයයි.
  7. ගුරුසන්නිශ්‍රය නම් බහුශ්‍රැත, ප්‍රතිභාන සම්පන්න ආචාර්‍ය්‍යයන් වෙතින් දුෂ්කර තැන් විචාරමින් ඇසුරු කිරීම ය.
  8. මිත්‍ර සම්පත්තිය නම් එබඳුවූ ම කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ය.

මේ පස් ආකාරයන් හෝ අට ආකාරයන් හෝ අතුරෙන් බුදුවරයෝ ද, පසේබුදුවරයෝ ද, පුබ්බයොග අධිගමයන් නිසා සිව්පිළිසිඹියාවන්ට පැමිණෙති. බුද්ධ ශ්‍රාවකයෝ මේ සියලු කාරණයන් නිසාම සිව්පිළිසිඹියාවන්ට පැමිණෙති.

මේ සිව්පිළිසිඹියාවන්ට පැමිණීම සඳහා වෙනම කමටහන් වැඩීමක් නැත. ශෛක්‍ෂයන්ගේ ශෛක්‍ෂ ඵල අවසානයෙහි ද අශෛක්‍ෂයන්ගේ අර්‍හත්ඵල අවසානයෙහි ද සිව්පිළිසිඹියාවට පැමිණීම ද වේ.

මෙසේ ප්‍රඥාවගේ ප්‍රභේදය දත යුතු.