අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විපස්සනා භාවනා

ශීලයෙන් කායවාග්ද්වාරයන් මනා කොට සංවර කරගත් කල්‍යාණ පෘථග්ජන තෙම, චිත්ත භාවනා වශයෙන් කසිණ, අශුභ, අනුස්සති, බ්‍රහ්මවිහාර, ආරුප්‍ය, සංඥා, වවත්‍ථාන යනාදී වූ සතළිස් කමටහන් අතුරෙන් යම් කිසි කමටහනක් වඩා, උපචාර, අර්පණාදී වශයෙන් ප්‍රභේද ගත සමාධියෙන් සිත සමාහිත වූ කල්හි චතුස්සත්‍ය ධර්මාවබෝධය පිණිස ප්‍රඥා භාවනාව වැඩිය යුතු ය.

මෙහි කුසල චිත්ත සම්ප්‍රයුක්ත විපස්සනා ඤාණයට ප්‍රඥාව යයි කියනු ලැබේ. එනම් කුසල් සිත්හි යෙදුණු විදර්ශනා ඤාණය යි.

අරමුණු, නීල - පීතාදී වශයෙන් හැඳින ගැනීම සංඥා නම් වේ. ඒ අරමුණු නීල - පීතාදී වශයෙන් හැඳිනීමත්, අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදී වශයෙන් ලක්‍ෂණ ප්‍රතිවේධ යන මොවුන්ගේ වශයෙන් විශේෂ දැන ගැනීමක් ඇති කල්හි එයට විඥානය යයි කියනු ලැබේ. අරමුණු නීල - පීතාදී වශයෙන් හැඳින ගැනීමත්, අනිත්‍යාදී වශයෙන් ලක්‍ෂණ දැනීමත්, උදයව්‍යය ඥානාදී පිළිවෙලින් ව්‍යායාම කොට මාර්ග පහළ කිරීමෙහි ද සමත් බවක් ඇති කල්හි නා නා ප්‍රකාරයෙන් ප්‍රභේද වශයෙන් දැන ගැනීම වන හෙයින් ප්‍රජානනාර්ථයෙන් ප්‍රඥාව යයි කියනු ලැබේ.

පඨවි ආදි රූප ධර්‍මයන්ගේ තද බවය, බැඳෙන බවය, පැසවන බවය, හම්මන බවය යනාදිය හා ස්පර්ශාදි අරූප ධර්‍මයන්ගේ අරමුණෙහි බැඳගැනීම් ස්වභාවාදි ඒ ඒ නාම - රූප ධර්‍මයන්හි පවත්නා විශේෂ ස්වභාවය හෝ අනිත්‍ය, දුක්ඛ, අනාත්මාදි සියලු නාම - රූප ධර්‍මයන්ට සාධාරණ ස්වභාවය හෝ අවිපරිතාකාරයෙන් අවබෝධ කිරීම ප්‍රඥාවේ ලක්‍ෂණය වේ. එ හෙයින් ධම්මසභාව පටිවෙධ ලක්ඛණා පඤ්ඤා යයි කියන ලදි.

නාම - රූප ධර්‍මයන්ගේ ස්වාභාවික ලක්‍ෂණය මුවහ කරන්නා වූ මොහාන්ධකාරය දුරලීම ප්‍රඥායෙහි කෘත්‍ය හෙවත් රසය වේ. එහෙයින් ධම්මානං සභාව පටිච්ඡාදක මොහන්‍ධකාර විධංසන රසා යන කියන ලදී.

අසම්මොහ පච්චුපට්ඨානා යයි කී හෙයින් ඒ ඒ නාම - රූප ධර්‍මයන්හි නො මුළාවීම් සඞ්ඛ්‍යාත ඵලය ප්‍රඥාවගේ පච්චුපට්ඨානය හෙවත් වැටහෙන ආකාර වේ.

සමාධි තස්ස පදට්ඨානා යනුයෙන් සමාධිය ප්‍රඥාවගේ ආසන්න කාරණය වේ.